Print this Article


පොළොන්නරුවේ රන්කොත් වෙහෙර

කවරයේ කතාව:

පොළොන්නරුවේ රන්කොත් වෙහෙර

පොළොන්නරුවේ රන්කොත් වෙහෙරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එක් පැත්තකින් රන්කොත් වෙහෙර පොළොන්නරු රාජධානිය හැඩ කළා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. බොදු දනන් තුළ ශ්‍රද්ධාව වඩවන රන්කොත් වෙහෙර ලංකාද්වීපයේ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑය සිහිකැඳවීමක් යැයි සිතේ. පොළොන්නරු රාජධානියේ සාඩම්බරය ඔසවා තැබීමක් ලෙසින් නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ස්තූපයක් යැයි ඉතිහාසයේ සඳහන් වේ.

‘රන්කොතක් සහිත දාගැබ’ රන්කොත් වෙහෙර වශයෙන් හඳුන්වා ඇත. ක්‍රි. ව. 1187 - 1196 අතර ලක්දිව රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ලාංකේය රාජ වංශයේ කීර්තිමත් රජකෙනකු වශයෙන් හඳුනාගැනීමට හැකි සිහිවටන රාශියක් නිමවා තිබේ. ඒවා අතරින් ප්‍රධාන වන්නේ රන්කොත් වෙහෙරයි. මෙය පොළොන්නරු රාජධානියේ ඉදිවී ඇති විශාලතම ස්තූපය ද වේ.

රන්කොත් වෙහෙරෙහි උස මීටර් 54.9 ක් පමණ වෙයි. වෙහෙර වටා වාහල්කඩ හා පිළිම ගෙවල් දක්නට ලැබේ. ස්තූපය ඉදිරියෙන් ඇති නිශ්ශංකමල්ල ගල් ආසනය ශිලා ලේඛනයට අනුව පැවසෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා එම ගල් ආසනය මත හිඳගෙන රන්කොත් වෙහෙරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ බවයි.

ප්‍රාකාර බැම්ම සාදා ඇත්තේ ගඩොල් සහ බදාමයෙනි. මිටි ප්‍රාකාර බැම්මේ ඉහළ කොටස කැටයමින් සහ වතුර මලින් සමන්විත වේ. වේදිකාවට එකතුවන වැසි ජලය පිටතට ගලායෑමට සලස්වා තිබෙයි.

දා ගැබෙහි හතරැස් කොටුව ඇති මුදුනේ පැති හතරෙහි සූර්යයා සංකේතවත් කරන චක්‍ර කීපයක් දකින්නට ලැබේ. සිව් දිශාවේ වාහල්කඩ ගඩොලින් නිමවා තිබේ. වාහල්කඩහි උස අඩි 22 ක් පමණ වෙයි. මෙය පංචාවාසයකට අයත් අංගයක් වූ ස්තූපයක් වශයෙන් හඳුනා ගැනීමට සමත් සාධක රන්කොත් වෙහෙර පරිශ්‍රරයේ දී දැක ගැනීමට ලැබෙයි.