Print this Article


මෙවර ජයග්‍රාහී කවිය

බුදු මඟ

මෙත් කරුණාව හා මුදිතා නම් ගුණය
මැදහත් බව සමඟ සිව් බඹ විහරණය
වඩවනු නිතින් දුරු වෙයි සිත අසහනය
බුදු මඟ එය යි රැස්වන පින අපමණය


මිනිස් සිත

සාමය සදාචාරය මෙහි ඇති වේවා
සෙලවෙන සිතට බල පෑමක් නොම වේවා
ලක්වැසි සැවොම රට රැකුමට එක් වේවා
තම සිත ඉන්ද්‍රඛීලය මෙන් පව තීවා


පියුම

සිරිපා පියුම අබියස පුද දෙන පියුම
සුවඳින් සුවඳවත් වී ඇති බව දැනුම
පැහැය ද මනස තුළ දී පැහැ සම වීම
සැමවිට තබා ගමු සිත පැහැ ලෙස පියුම


සිත

සඳ වියන යට හිඳ
සිසිල් නා අරනේ
ගල්තලාවේ
එකඟ වූ සිත
බැහැරලයි
එකිනෙක
කෙලෙස් මළ
සසරේ නිමේෂය
සොයා යන්නට
වෙහෙසෙයි
ප්‍රභාස්වර වූ සිත
නිසල කයට ද නොකියා


අනිත්‍ය

ගොරෝසු මුහුණ
කිළිටි වූ නුඹෙ දෙපා
පිළිවෙළක් නැති වත
අපට කියා දුන් පාඩම්
ජීවිතයට අනිත්‍ය
කියා දෙද්දී
කඳුළු වැටුණා
මහ වරුසාවක් මෙන්


පැවිද්ද

සැම දෙයක් ම අස්ථිර බව තේරුම් ගත් මම
මිට මොලවන් සිටි සැමදේ අත හැරියා මම
මගේ කියා කිසිවක් නැත තේරුම් ගත් මම
බුදු සසුනේ පැහැදි සිතින් පැවිදි වුණා මම


මෙතේ බුදුන්

පිපී පරව යන නොයෙක් වූ වන මල් ඉති පොකුරු වනේ
අනියත දුක යන අනත තිලක්ෂණ ලෝ තල විහිද වුණේ
එකල බුදුන් දැක නිවන් මගේ ඵල ලැබ ගන්නේ
සසර ගමනෙ දී මෙතේ බුදුන් දැක්මට වාසනා ගෙනේ


නිවන වෙත

මනුසත් භවයක් ලැබුමත් දුලබ ම දෙයකි
බෞද්ධයකු වීම ම පෙර පින් කමකී
නොගතොත් නිසි ඵලය තම දෝතින් ම මෙකී
තරණය නොහැක සමුදුර සංසාර සකී

සිව් අසූ දහසකුත් දම් කඳ දෙසුව එදා
තුන් ලොවටම යන්න තිරසර පහුර හදා
දුන් ඒ සමිඳු නිති හද බැතින් පුදා
එතෙරට පදිමු රුපු දුක් ජල කඳෙන් සදා


තෙරුවන් නමදිමි

බුදු දම් සඟ යන තෙරුවන් නමදිමි
තෙරුවන් ගුණයට දාසව මම වෙමි
බුදු හිමි ගුණයන් හද තුළ රඳවමි
මාගේ සිරසෙහි තෙරුවන් පිහිටමි

තිසරණ ගුණයන් හද තුළ රඳවමි
තිලකුණු හද තුළ බැතියෙන් නමදිමි
නිවන් සුවය මම නිතරම සමරමි
මතු මත්තේ මම නිවනින් සැනසෙමි


අද දවස

ගම්මානේ අඳුරක් වී සිටි දවස
අඳුර මකා ගම්මානෙට ආ දවස
මිනිස් සමූහය සිල්වත් වූ දවස
බුදුන් දැකීමට නම් අද වී දවස


සසුනඹර සඳ

හිස මුඩුකර ගත සළු පිළි පොරවා
සන්සුන් ගමනින් පා නඟනා
මා කුස හොත් පුත
අද නුඹ ඈතයි
අහස පොළොව සේ දුරස් වෙලා
සිතට දැනුන දුක ඉහළ ගොසින් අද
සක්විති රජකම උරුම වෙලා
නෙතගේ කඳුළැලි දෝරෙ ගලා යයි
සසුනඹරේ සඳ එළිය වෙලා


සම්බුදු සසුන

සම්බුදු ගුණ නිති සිහි වේවා
සම්බුදු දහමින් හද සැන සේවා
සංඝ භේද හැර සසුන රකීවා
සසුනේ දූ පුත් සම ව වැඩේවා

හෝකන්දර සුදිත්තා මෙහෙණින් වහන්සේ


වට්ටාරමරාජ මහා විහාරය

ගෝඨාභය රජුන් දවස
ඉතිහාසයෙ ලියැවෙන්නේ
වටේම ආරාම නිසා
වට්ටාරම නම වන්නේ
මලියදේව මහ රහතුන්
වැඩ සිටි පුද බිමකි එදා
වට්ටාරම විහාරයේ
වැලි කැට පෑගුණත් හොඳා

දේවාලේගම රුවන්ති මුරුතවල


ඇසේවා සදහම්

දොවා දොවා කරුණා සිසිලෙන්
නිවා නිවා දැවෙනා කෙලෙසුන්
දෙවා දෙවා නිතිනා සැනසුම්
ඇසේ අසේවා ශ්‍රී සදහම්

හරසුන්, සසරින් එතෙර දකින්නට
විදසුන් නුවණින් බවුන් වඩන්නට
සුපසන් සමාධි සුව විඳ ගන්නට
ඇසේ අසේවා ශ්‍රී සදහම්