Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 14: දුටුගැමුණු රජතුමා ගිලන් වෙයි

ලංකාවේ බෞද්ධ ස්තූප 14:

දුටුගැමුණු රජතුමා ගිලන් වෙයි

ස්වර්ණමාලී මහා සෑයේ ඡත්‍රය පැළඳවීමත්, සුණු පිරියම් කිරීමත් අවසන් නොවී තිබිය දී දුටුගැමුණු මහ රජතුමා ගිලන් බවට පත්විය. එම අවස්ථාවේ දී දුටුගැමුණු මහ රජතුමා තම මළණුවන් වන තිස්ස කුමරු දීඝවාපියෙන් අනුරාධපුරයට කැඳවූයේ ය.

තිස්ස කුමාරයා අනුරාධපුරයට පැමිණ තම සහෝදර දුටුගැමුණු මහ රජතුමා බැහැ දුටුවේ ය. එම අවස්ථාවේ දී දුටුගැමුණු මහ රජතුමා තමන්ට අවසන් කිරීමට නොහැකි වූ මහා සෑයේ සියලු කටයුතු අවසන් කරන්නට යැයි තම මළණුවන්ට භාර කරමින් පැවසී ය. තම සහෝදර දුටුගැමුණු මහ රජතුමා රෝග තත්ත්වය හේතුවෙන් ඉතා ම දුර්වල ව සිටින බව දැක ගන්නට ලැබිණි. මහා සෑයේ ඉතිරි වැඩ කටයුතු කරන්නට කාලය කෙසේ වේදැයි නොසිතා, හැකි ඉක්මනින් මහා සෑයේ කටයුතු සිදු කර දුටුගැමුණු රජතුමාට දැක ගන්නට සැලැස්විය යුතු යැයි සිතා රෙදි වියන්නන් ලවා පිරිසුදු වස්ත්‍ර කඤ්චුකයක් කරවන ලදී. එයින් සුණු පිරියම් නොකළ මහා සෑය අලංකාරව පෙනෙන ආකාරයෙන් ආවරණය කළේ ය. සිත්තරුන් ලවා එහි වේදිකාව අලංකාර කළේ පුන් කළස් පෙළ හා පස් ආකාර මුදු පෙළත් කරවමිනි.

එලෙස ම උණ ගසෙන් කැටයම් කරන ශිල්පීන් ලවා ඡත්‍රය උණ ලීයෙන් කරවන ලදී. මහා සෑයේ දේවතා කොටුවේ ගොරෝසු කොළවලින් සඳ හිරු පෙනෙනා ආකාරය නිර්මාණය කෙරුණි. මහා සෑය සිතුවමින් සැරසුවේ ලාකඩ හා කොකුම්වලිනි.

ඉන් අනතුරුව මහා සෑයේ කළ යුතු සියලු වැඩ සම්පූර්ණ කළා යැයි තිස්ස කුමරු විසින් දුටුගැමුණු මහ රජතුමාට දැනුම් දෙන ලදී.

දුටුගැමුණු රජතුමාගේ අසනීප තත්ත්වය හේතු කොට එතුමා දෝලාවක සතපවාගෙන මහා සෑය ඉදිරියට රැගෙන ගියහ. රජතුමා දෝලාවේ සිටිය දී ම මහා සෑය පැදකුණු කළේ ය. වන්දනා කළේ ය. මහා සෑයේ දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක දුටුගැමුණු මහ රජතුමා සැතපවී ය. එම අවස්ථාවේ දී රජතුමා දකුණු ඇලයෙන් සැතපී උත්තම මහා සෑය දැක සතුටු වූයේ ය. ඉන් අනතුරුව වම් ඇලයෙන් සයනය කොට උත්තම ලෝවාමහාපාය දැක ගනිමින්, ඉතා සතුටට පත්වූයේ ය.

දුටුගැමුණු මහ රජතුමාගේ අසනීප තත්ත්වය පිළිබඳව අසන්නට ලැබුණු අනූහය කෝටියක් පමණ භික්ෂූන් වහන්සේලා ඒ ඒ රටෙන් ලංකාද්වීපයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේලා සමූහ වශයෙන් එක්ව සූත්‍ර සජ්ඣායනා කළ සේක. දුටුගැමුණු මහ රජතුමා මේ මහා භික්ෂු සංඝයා වහන්සේලා අතර වැඩ නොසිටි ථේරපුත්තාභය තෙරුන් වහන්සේ පිළිබඳ ව මෙසේ සිතුවේ ය. “මම එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් සිදු කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මා සමඟ ම ජීවිත පරිත්‍යාගයෙන් එක්ව සිටියේ ද? මරණය සමඟ මා අද යුද වැදෙන මේ මොහොතේ, මා පරදින බව දැක විය හැකිය ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මා සමීපයට නො එන්නේ “.

එම සිතිවිල්ල සිතන මොහොතේ ම කිරිඳී ඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩසිටි ථේරපුත්තාභය රහතන් වහන්සේට දුටුගැමුණු මහ රජතුමාගේ සිතිවිල්ල දැනුණේ ය. පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරා ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් අහසෙන් පැමිණ දුටුගැමුණු රජතුමා වට කොට වැඩ සිටි සේක. දුටුගැමුණු රජතුමා උන්වහන්සේ දැක මහත් වූ සතුටට පත්විය. රජතුමා ථේරපුත්තාභය රහතන් වහන්සේ තමන් ඉදිරියේ ම වඩා හිඳුවා ගත්තේ ය.

“ස්වාමීන් වහන්ස පෙරදා දස මහා යෝධයන් ව සිටි ඔබ වහන්සේලාත් සමඟ මා යුද්ධයට ගොස් අප සැවොම එකට යුද්ධ කළා. නමුත් අද මා තනිව ම යුද වැදෙනවා. ඒ මාරයා සමඟ යුද්ධයකයි. ඒ මාරයා නැමැති සතුරා පරාජය කරන්නට මට නොහැකි බව දැනෙනවා”.

එම අවස්ථාවේ දී ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මෙසේ වදාළා. මහ රජතුමනි, බිය වෙන්නට එපා. කෙලෙස් සතුරන් පරදවන්නේ නැතිව මාරයා නැමැති සතුරා පරාජය කළ නොහැකියි. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති සෑම දෙයක් ම තමාගේ වසඟයෙහි පවත්වන්නට බැහැ. බි¼දී යනවා. අප සැමගේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍ය යැයි වදාළේ ද ඒ නිසයි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. දුකයි. අනාත්මයි යැයි සිතනු මැනවැ”යි වදාළ ‍සේක.

“රජතුමනි, ඔබ මීට පෙර ආත්මයේත් සාමණේර නමක් ව සිටිය දී කුසල ධර්මයන් කෙරෙහි මහා කැමැත්තක් තිබුණා. ඊළඟ ආත්මයේ දෙව්ලොව ඉපිද වින්දනය කළ හැකිව තිබූ මහත් වූ දිව්‍ය සැප අත්හැර, මිනිස් ලොව මේ රජ පවුලේ උප්පත්තියක් ලැබුවා.

නොයෙක් ආකාරයෙන් බොහෝ කුසල් එක් රැස් කර ගත්තා. දුටුගැමුණු මහ රජතුමනි, ඔබතුමා විසින් ලංකා රාජ්‍යය එක් ඡත්‍රයක් යටතට පත්කළේ බුද්ධ ශාසනය බැබළවීම පිණිස ම ය. මහ රජතුමනි, රජ වූ දවසේ සිට ඔබ විසින් කරන ලද සියලු කුසල් සිහි කළ මැනැව. එහි සැප විපාක ඔබතුමාට වහ වහා ලැබේවි”.

ථේරපුත්තාභය තෙරුන් වහන්සේගේ වචන අසා දුටුගැමුණු මහ රජතුමා ඉතාමත් සතුටු සිතකින් යුක්ත විය.

“ස්වාමීනි, ඔබ වහන්සේ මට මේ මාරයා සමඟ වන යුද්ධයේදීත් බොහෝ උපකාර වූයේ යැයි උන්වහන්සේට පැවසී ය. ඒ අවස්ථාවේ දී සතුටු සිතින් යුත් දුටුගැමුණු රජතුමා තමාගේ පින් පොත ගෙන්වාගෙන ලියන්නාට එය කියවන්නට යැයි ආරාධනා කළේ ය.