Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 18 කොටස: පදුමකිත්ති හිමියෝ ලෑලි මඩුවේ රැය පහන් කරති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 18 කොටස:

පදුමකිත්ති හිමියෝ ලෑලි මඩුවේ රැය පහන් කරති

" නා හිමියන් නාවික හමුදා කණ්ඩායමේ ප්‍රධානියා කැඳවී ය. ‘‘දවසට සැරයක් දෙකක් ඇවිත් පන්සල ගැන බලල ගියහම ඇති. දූපත පුරා කරක් ගහන්න ගියහම මේ මිනිස්සු කලබල වෙනවා.‘‘

උතුරේ හමුදා නිලධාරියකු ඇතුළු සෙබළුන් 13 දෙනකු ඝාතනයත් සමඟ දකුණේ කළු ජූලිය ආරම්භ විය.

එහි උණුසුම නාගදීපය දක්වා ද පැතිර ගිය අතර දිනක් ළිඳ වත්තෙන් ස්නානය කළ පදුමකිත්ති හිමියන් රාමචන්ද්‍ර මුදලාලිගේ තේ කඩය අසලින් වැඩම කරද්දී කඩයට පැමිණි දෙමළ ජාතික තරුණයකු පදුමකිත්ති හිමියන් දෙස ඔරවා බැලුවේ ය. ඔහු කන්නන් ය.

‘‘අපේ මිනිස්සු අරහෙ මරලා දානවා, උඹලා මෙහේ හොඳීන් ඉන්නවා. හිටපල්ලකො උඹලවත් පාර්සල් කරලා කොළඹට යවන්න ‘‘

පදුමකිත්ති හිමියන්ගේ කෝපය ඉහවහා යන්නට විය. තමන් වහන්සේට බැණ වැදීමටත් වඩා උන් වහන්සේ කෝප වූයේ බුදු දහමට කළ නිගරුවට ය.

‘‘මොකක්ද යකෝ උඹ කිව්වෙ‘‘ අසමින් බුදු දහමට කළ නිගරුව වෙනුවෙන් පදුමකිත්ති හිමියෝ අඩියක් දෙකක් ඉදිරියට වැඩම කළහ. තමා සතුව තිබූ බාල්දියේ ලනුව අතින් ගෙන තම හිස වටා දෙතුන් වරක් කැරකැව්වේ කන්නන්ගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට ය. රාමචන්ද්‍රන් මුදලාලිගේ දියණියක වන ‘කඩේ අක්කා‘ මේ සිදුවීම දැක ක‍ඩයෙන් දිව ආවා ය. ඇය දෙමළ බසින් කන්නන්ට බැණ වැදුණා ය. ඇගේ දෝස්මුරය හමුවේ කන්නන් පැන දිව්වේ ය.

‘‘සාමි පන්සලට යන්න ඌට පිස්සු‘‘ කඩේ අක්කා සමඟ කතා බහෙන් පසුව පදුමකිත්ති හිමියෝ පන්සලට වැඩම කළහ.එහෙත් දවල් දානය වැළඳීමෙන් පසුව උදෑසන තේ කඩය අසල වූ සිදුවීම ගැන ධම්මකිත්ති නා හිමියන්ට ආරංචි වී තිබුණු අතර උන් වහන්සේ ඒ ගැන පදුමකිත්ති හිමිගෙන් විමසූහ.

‘‘එතන එච්චර දෙයක් වුණේ නැහැ නායක හාමුදුරුවනේ. මිනිහ මට දොස් කිව්වා, මාත් දොස් කිව්වා, එච්චරයි‘‘ පදුමකිත්ති හිමියන් එය එතරම් ගණන් ගත් බවක් නොපෙනුණි.

‘‘ඔය වගේ ප්‍රශ්න ඇති කර ගන්න එපා, නාගදීපෙ දෙමළ අය ඇවිස්සුණොත් අපි මොකද කරන්නෙ, දකුණෙ විස්තර මේ අයට ආරංචි වෙලානෙ ඔය හිතේ අමාරුවට අරව මේව කියන්නෙ. ඒව ඒ තරම් ගණන් ගන්න එපා‘‘

පදුමකිත්ති හිමියෝ නිහඬව එය අසා සිටියහ. පසු දිනම පදුමකිත්ති හිමියන්ට කතා කළ නා හිමියෝ කරෙයිනගර් නාවික හමුදා කඳවුරට ගොස් එන ලෙස දැනුම් දුන්හ.

‘‘ඒත් කාටවත් කියන්න එපා යන්නෙ කොහෙද කියලා‘‘ නාහිමියෝ අවවාද කරමින් නාවික ප්‍රධානියාට ලිපියක් ද ලබා දුන්හ.

පදුමකිත්ති හිමියන් නාගදීපයේ සිට කයිට්ස් දක්වා ගියේ දෙමළ ජාතිකයකුට අයත් බෝට්ටුවකිනි. පදුමකිත්ති හිමියන්ගෙන් යන්නේ කොහේදැයි විමසූ විට උන් වහන්සේ පවසා සිටියේ නාගදීපයේ විදුලි ජනක යන්ත්‍රය (ජෙනරේටරය) අක්‍රිය වී ඇති හෙයින් එය සාදා ගැනීමට කරෙයිනගර් ‘මල්ලි බාස්‘ නැමැති විදුලි කාර්මිකයා හමුවට යන බව ය. කයිට්ස් සිට පාලම්පාරුවේ කරෙයිනගර් දක්වා ගිය පදුමකිත්ති හිමියන් දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි. කරෙයිනගර් නාවික කඳවුර දක්වා තල් ගස් අතුරින් පදුමකිත්ති හිමියන් ගමන් කරන අතර තුර ඉදිරියට පැනගත් අවිගත් නාවික හමුදා සෙබළු උන් වහන්සේ වෙත පැමිණ ‘‘කොහෙද යන්නෙ‘‘ යැයි විමසූහ.

ත්‍රස්තක්‍රියා නිසා දැඩි ආරක්ෂාවක් නාවික හමුදා කඳවුරට සපයා තිබුණු අතර පදුමකිත්ති හිමියන් තවත් පැයක් හෝ දෙකක් පමා වී පැමිණියා නම් එම සෙබළුන්ගේ වෙඩි ප්‍රහාරයකට පවා ලක් වීමට තිබුණි. ඒ ගමන එතරම් භයානක ය.පදුමකිත්ති හිමියෝ කරෙයිනගර් නාවික හමුදා ප්‍රධානියාට නා හිමියන් ලබා දුන් ලිපිය දුන්හ. නාවික ආරක්ෂාව වැඩි කරන ලෙස එයින් ඉල්ලා තිබුණි.

නාහිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන බව නාවික ප්‍රධානියා විසින් දැනුම් දීමෙන් පසුව පදුමකිත්ති හිමියන් යළිත් නාගදීපය බලා ඒමට සැරසුණි.

‘‘අපේ හාමුදුරුවනේ මේ වෙලාවෙ ලංකාව පුරාම ඇඳීරි නීතිය දාලා තියෙන්නෙ, අපේ නේවි ජීප් එකක් දෙන්නම් ඒකෙ වඩින්න. අපේ සේරම බෝට්ටු මේ වෙලාවෙ මූදෙ තියෙන්නෙ. ‘‘

‘‘එපා මම නේවි ජීප් එකක ගියොත් මිනිස්සු බයවෙයි. අපේ ලයිට් එන්ජින් හදන බාස් උන්නැහෙ කෙනෙක් ඉන්නවා මේ කිට්ටුව, මම එහේ ඉඳල යන්නම්, කෑම්ප් එකේ ඉන්න එකත් හොඳ නැහැ.‘‘ පදුමකිත්ති හිමියෝ පවසාගෙන ගියහ.

කරෙයිනගර් නාවික හමුදා කඳවුරෙන් පිටත් වූ පදුමකිත්ති හිමියන් මල්ලි බාස්ගේ බෝට්ටු හදන ස්ථානයට වැඩම කළහ. කුඩා ලෑලි කාමරයක් වූ මල්ලි බාස්ගෙ නවාතැනේ තිබුණේ එක් බූරු ඇඳක් පමණි. පදුමකිත්ති හිමියන්ට තම බූරු ඇඳ ලබා දුන් මල්ලි බාස් බිමට පැදුරක් එළා ගෙන නිදා ගත්තේ ය. මුහුදේ දැඩි ඝෝෂාව වැඩියෙන් දැනෙන්නට වූ අතර මදුරුවන්ගේ දැඩි දෂ්ඨ කිරීම් හමුවේ පදුමකිත්ති හිමියන්ට සැතපෙන්නට හැකියාවක් නොවුණු තරම් ය. දැඩි නිදිමත මධ්‍යයේ වුව ද රාත්‍රියේ නිරාහාර ව සිට උදෑසන ගිලන්පස පවා ලබා ගැනීමකින් තොරව පදුමකිත්ති හිමියෝ නාගදීපයට වැඩම කරන විට දැඩි සේ හාමත්ව සිටියහ.

පසු දිනම නාවිකයන් පුරවාගත් නාවික හමුදා බෝට්ටු කිහිපයක් නාගදීපයට පැමිණුනි. නාගදීපයේ ප්‍රධාන කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වී සිටි දෙමළ ජනතාව කළබල වූහ. ඔවුහු කඩිනමින් නිවෙස් බලා ගියහ. කෝවිල ද වසා දැමුණි. නාවික හමුදාවේ සෙබළුන් දූපත පුරා විපරම් කරන්නට විය. පැයක් දෙකක් යන විට නාගදීපය මීයට පිම්බාක් මෙන් විය. කිසිවෙක් දැකගත නොහැකි විය. සියලු දෙනා නිවාසවලට වී දොර ජනෙල් වසා ගන්නට වූහ.

රාමචන්ද්‍රන් මුදලාලි විහාරස්ථානයට පැමිණියේ ය.

‘‘නායක හාමුදුරුවනේ, අපේ මිනිස්සු කළබල වෙලා නේවි එකෙන් ආවට. ගෙයින්වත් එළියට බහින්නෙ නැහැ‘‘ ඔහු කරුණු පැහැදිලි කෙළේ ය.

නා හිමියන් නාවික හමුදා කණ්ඩායමේ ප්‍රධානියා කැඳවී ය.

‘‘දවසට සැරයක් දෙකක් ඇවිත් පන්සල ගැන බලල ගියහම ඇති. දූපත පුරා කරක් ගහන්න ගියහම මේ මිනිස්සු කළබල වෙනවා.‘‘

නාවික හමුදා නිලධාරීන් ඒ අනුව කටයුතු කරන්නට විය. මේ වන විට දකුණේ ගිනි ඇවිලීම දිවයින පුරාම පැතිරී තිබුණි. නාගදීපයට ද යුද උණුසුම දැනෙමින් පැවතුණි. ධම්මකිත්ති නාහිමියන්ගේ ඉල්ලීම වූ ස්ථිර නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම ඉටු වන බවක් නොපෙනුණි. පසුව ධම්මකිත්ති හිමියන් තම හිතවතුන් මාර්ගයෙන් ජනාධිපති ආර්යාව වන එළීනා ජයවර්ධන මැතිනියට ඒ බව දන්වන ලදී. ඇය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට වහාම ඒ සම්බන්ධව ම දන්වන ලද්දේ නාගදීපය යනු උතුරේ ප්‍රධානතම බෞද්ධ පුදබිම බැවින් එය ආරක්ෂා කිරීමට වහාම කටයුතු කළ යුතු බව පවසමිනි.