Print this Article


මෛත්‍රී ධ්‍යානයට සමවැදී පිඬු සිඟා වැඩි සුභූති මහ රහතන් වහන්සේ

මෛත්‍රී ධ්‍යානයට සමවැදී පිඬු සිඟා වැඩි සුභූති මහ රහතන් වහන්සේ


සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් තුන් කොටසකි. ඒ අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක හා ප්‍රකෘති ශ්‍රාවක වශයෙනි. සැරියුත් මහ රහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත්, අග්‍ර ශ්‍රාවකයෝ ය. උන්වහන්සේ සමඟ රහතන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේ ලා ය. සෙසු පිරිස සෙසු ශ්‍රාවකයෝ ය. මෙලෙස ශ්‍රාවක භේදය ඇතිවන්නේ ඒ උත්තමයන්ගේ අතීත පාරමිතා බල මහිමය නිසා ය.

මෙවර ලිපියෙන් සඳහන් කරන්නේ අසූමහා ශ්‍රාවකයන් අතර බැබළෙන තවත් රහතන් වහන්සේ නමක් ගැන ය. ඒ නික්ලේශී විහාරී භික්ෂූන් අතුරෙන් ද, දක්ෂිණාර්හ භික්ෂූන් අතරෙහි ද අග්‍රස්ථානය ලැබූ සුභූති මහරහතන් වහන්සේ ගැන ය. මෙහි දී නික්ලේශී යනුවෙන් සඳහන් වෙන්නේ ධර්ම දේශනා කිරීමේ ලෝභ ආදී ක්ලේශයක් ඇති නොවන අන්දමින් දේශනා පැවැත්වීමට ඇති හැකියාව යි. රහතන් වහන්සේ සියලු කෙලෙසුන් නැති කර තිබුණ ද , උන්වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී අසා සිටින ඇතැමුන්ගේ සිත් තුළ නොදැනීම කෙලෙස් ඇති විය හැකි යි. මේ තත්ත්වය සුභුති රහතන් වහන්සේගේ දේශනා තුළින් සිදු නොවීම අන් රහතන් වහන්සේලාට වඩා විශේෂත්වයක්. තව ද උන්වහන්සේ අග තනතුර ලැබීමට හේතුවන දෙවන ගුණාංගය වන්නේ දක්ෂිණාර්හ භික්ෂූන් අතුරින් අග්‍ර වීම යි. එනම් , පිඬු සිඟා වැඩම කිරීමේ දී , මෛත්‍රී ධ්‍යානයට සම වැදී ඉන් නැඟිට පිඬු පිණිස නිවෙස් වෙත වැඩම කිරීම යි. සෑම නිවසකින් ම පිඬු ලබා ගැනීමට පෙර මෙලෙස ධ්‍යානයට සම වදින වෙනත් භික්‍ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු යි. මේ අන්දමට පිණ්ඩපාතය ලැබීමට පෙර ධ්‍යානයට සම වැදීමෙන් දානය පූජා කරන දායකයාට ද ලැබෙන්නේ මහත් ආනිසංසයක්.

මෙලෙස අසූමහා ශ්‍රාවකයන් වහන්සේ අතර බැබළෙන තවත් රහතන් වහන්සේ නමක් වීමට සුභූති මහ රහතන් වහන්සේ අතීත සසර මඟ කළ පින් දහම් අපමණ යි. ඒ කල්ප ලක්ෂයකට පෙර එනම්, පියුමතුරා බුදුන් වහන්සේ ලොවේ පහළ වීමටත් පෙර කතා පුවත මෙසේ ය. හංසවතී නුවර මොහු උපත ලැබුවේ ධනවත් බමුණු කුලයක නන්ද මානවක නාමයෙනි. ත්‍රිවේදය පරතෙරට ඉගෙන ගත්ත ද එහි පලක් නොමැති බව වැටහී ගියේ පෙර පිනකට මෙනි. මේ නිසා තම පිරිවර සතළිස් සතර දහසක් සමඟ පැවිදි වූයේ ඍෂි ප්‍රවෘජ්‍යාවෙනි. මෙලෙස කාලය ගත වෙද්දී සියලු දෙනාම හිමාලයට පැමිණ පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්හ.

බුදුරදුන් ලෝකයේ පහළ වීමට පෙර විමුක්ති සුවය පතා බවුන් වැඩූ තවුස් පිරිස අපමණ ය. ඇතැම් උත්තමයන් සිත දියුණු කර අභිඥා සහ සමාපත්ති උපදවා ගත්තේ බවුන් වැඩීමෙනි. මේ සඳහා කදිම නිදසුනක් වන්නේ අසිත, ආලාර කාලාම වැනි තවුසන් ය. ඒ අතරින් ද අභිඥා පහ උපදවා ගැනීම ප්‍රාග් බෞද්ධ යුගයෙහි සැලකෙන්නේ ඉතා උසස් ගෞරවනීය තත්ත්වයක් ලෙස යි. අහසෙන් ගමන් කිරීම, නොපෙනීයාම ආදී දේ සිදු කිරීමට සමත් වන සෘද්ධිවිධ ඥානය අභිඥා පහෙන් එකක්. දිව්‍ය ශ්‍රෝත්‍ර ඥානය නමින් දැක්වෙන ඥානයෙන් අපේ සාමාන්‍ය කනට නො ඇසෙන ඉතා දුර වූත්, ඉතා සියුම් වූත් ශබ්ද ඇසීමට සමත් වනවා. එක් එක් පුද්ගලයන්ගේ සිත්වල ඇතිවන රාග, දෝස, මෝහ සහිත තත්ත්වයන් දැන ගැනීමට සමත් වන්නේ පරචිත්තවිජානන ඥානය යි. සිව්වැන්න පූර්වේ නිවාසානුස්මෘතිඥානය යි. එයින් මෙයට පෙර ආත්මවල කවර ආත්මයන් ලබා, කවර ආකාරයෙන් ජීවත් වූයේ දැයි දැනගත හැකි යි. පස්වැන්න සාමාන්‍ය ඇසට නොපෙනෙන ඉතා ඈත තිබෙන නොයෙක් දේ දැක ගැනීමට සමත් ඥානය යි. එනම් දිව්‍යංචක්ෂුරභිඥානය යි. මෙයටත් වඩා සිත දියුණු කිරීමෙන් උපදවා ගන්නේ අෂ්ටසමාපත්ති ඥානය යි.

මෙලෙස සිත දියුණු වූ තවුස් පිරිසගේ වාසනා මහිමය පියුමතුරා බුදුන් වහන්සේ දුටුවේ මහා කරුණා සමාපත්ති ඥානයෙනි. බුදු කෙනකුගේ මහා කරුණා සමාපත්තිය ගැන රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ සූවිසි මහ ගුණය පොතේ මෙසේ සඳහන් ය. ‘මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දිනකට දෙවරක් මහා කරුණා සමාපත්තියෙන් නැඟී ලොව බලා වදාරන්නා හ. අලුයම චක්‍රාවාටාන්තයේ පටන් ගඳකිලි දොරකඩ දක්වා නුවණ පතුරවා ලොව බලන සේක. සවස් කාලයේ ගඳකිලි දොරකඩ පටන්, චක්‍රාවාටාන්තය දක්වා ලොව බලා වදාරන්නාහ. එසේ බලා වදාරා ඒ, ඒ දිනයෙහි උපකාර කළ හැකි පුද්ගලයන්ට කොතෙක් දුර වුව ද ගොස් උන්වහන්සේ උපකාර කරන සේක’ යනුවෙනි.

ඒ අනුව පියුමතුරා බුදුන් වහන්සේ ද වැඩම කළේ නන්ද තාපසතුමාගේ තපස් අසපුව වෙත ය. එහිදි තාපසතුමා ඇතුළු පිරිවර තවුසන් මල් අසුන් පිළියෙළ කර බුදුන් වහන්සේ වෙත පිරිනැමුවේ මහත් ශ්‍රද්ධාවෙනි. මල් අසුන් මත වැඩ සිටි බුදුන් වහන්සේ ඇතුළු පිරිස සතියක් මුළුල්ලේ ම වැඩ සිටියේ නිරෝධ සමාපත්ති සුවයෙනි.

සත්වන දින නිරෝධ සමාපත්තියෙන් නැඟී සිටි බුදුන් වහන්සේ මල් අසුන් අනුමෝදනාව කරන ලෙස නියම කළේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ය. එම භික්ෂූන් වහන්සේ සදහම් දෙසන අවසන් මොහොතේ නන්ද තාපසතුමා හැර සතළිස් සතර දහසක් තවුසෝ රහත් ව පැවිදි බව ලැබුවේ ඒහි භික්ෂු භාවයෙනි.

නන්ද තාපස තුමා සදහම් අසමින් නිබඳව ම සිතූ තම පැතුම පදුමුත්තර බුදුන් වහන්සේ හමුවේ පැවසුවේ ශ්‍රී පාද මූලයේ වැඳ නමස්කාර කරමිනි. ඒ අනාගත බුදුන්වහන්සේ නමකගේ ශාසනයේ අග්‍ර භික්ෂූන් වහන්සේ නමක් වීමට ය. සම්බුදු ඥානයෙන් එය දුටු පදුමුත්තර බුදුන් වහන්සේ නන්ද තාපසට විවිරණ දුන්නේ තම පැතුම ගෞතම බුද්ධ ශාසනයේ ඉෂ්ට සිද්ධ වන බවට ය. ඒ නික්ලේශී විහාරී භික්ෂූන් වහන්සේ අතුරින් ද,දක්ෂිණාර්හ භික්ෂුන් වහන්සේ අතුරෙන් ද අග්‍ර භික්ෂූන් වහන්සේ නමක් ලෙස ය. පසුව බොහෝ පින් දහම් කළ තාපසතුමා නැවත උපත ලැබුවේ බඹලොව ය.

නැවතත් සසරේ අවසන් ආත්ම භාවයේ දී එනම්, ගෞතම බුද්ධ ශාසනයේ දී උපත ලැබුවේ සැවැත් නුවර සුමන සිටුවරයාගේ පුතු ලෙස ය. සෞම්‍ය රූප ස්වභාවයකින් බැබළුණු මොහු හැඳීන්වූයේ ‘සුභූති’ නාමයෙනි.

ගෞතම බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරද්දී අනේපිඬු සිටු තුමා සමඟ සුභූති සිටුතුමා ජේතවනාරාමයට සදහම් අසන්නට ගියේ නිබඳව ය. දිනක් බණ ඇසූ සුභූති සිටුවරයාට ඇති වූයේ පැවිදි වීමේ සිතකි. ඒ අනුව පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ නොබෝ කලකින් විදර්ශනා වඩා, මෛත්‍රී ධ්‍යානය වඩා, රහත් ව දහම් දෙසුවේ බුදුන් වහන්සේ වදාරන ලෙස ය. සුභූති මහ රහතන් වහන්සේ නිවෙසක් පාසා පිඩු සිඟා වැඩියේ මෛත්‍රී ධ්‍යානයට සම වදිමිනි. පිණ්ඩපාතය ලැබෙන මොහොතේ සමාපත්තියෙන් නැඟී සිටින උන්වහන්සේ දන් පිළිගන්වන්නාට මහත් වූ පිනක් ලැබේවා’ යි සිතන්නේ ඉමහත් කරුණාවෙනි.

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ‘බෞද්ධයාගේ අත්පොත’ ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් ය. ‘මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද, තථාගතයන් වහන්සේ වදාරා ඇති බව ය’.

සුභූති මහ රහතන් වහන්සේගේ මෙවැනි ගුණාංගයන් සලකා භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට ලබා දුන් තනතුර ශ්‍රේෂ්ඨ ය. ඒ නික්ලේශී විහාරී භික්ෂූන් වහන්සේ අතරෙන් ද, දක්ෂිණාර්හ භික්ෂුන් වහන්සේ අතරින් ද අග්‍ර වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ලෙස ය.