Print this Article


 අටවිසි බෝධි පුරාණය -11: ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ වගයි

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ වගයි

"දේවානම්පියතිස්ස රජතුමා තම බෑණනුවන් වූ අරිට්ඨ ඇමැතිවරයා දඹලුතොටින් නැව් නංගවා දඹදිව පැළලුප් බලා පිටත් කරවීයැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දම්සෝ නිරිඳු මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව රත්‍රන් භාජනයක රෝපණය කොට එකොළොස් නමක් සමඟ සඟමිත් තෙරණිය හා පිරිස ලක්දිවට වැඩම කරවීය."

බෞද්ධ ලෝකයේ අසහාය පූජ්‍යස්ථාන තෙවැදෑරුම් වේ. එනම් ශාරීරික, පාරිභෝගික, උද්දේශික යනුවෙනි. මෙම ත්‍රිවිධ චෛත්‍යස්ථානයන් ගෙන් බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍යය වෙයි.

ඒ අනුව අප මහ බෝසත්හු යම් ගසක් මුල වැඩ සිටිමින් බුද්ධත්වයට පත් වූ සේක් ද? එම වෘක්ෂය “බෝධි” නමින් වහරනු ලැබේ.

බුධ අවගමනෙ යන ධාතූන් කෙරෙහි ප්‍රත්‍යය යොදා ගොඩනඟා ගනු ලබන “බෝධි” ශබ්දයෙහි විවිධ අර්ථ ගැබ්ව ඇත. මේ පිළිබඳ ආවාර්ය වැලමිටියාවේ සිරි ධම්මරක්ඛිත නා හිමියෝ ස්වකීය “ශ්‍රී මහා බෝධීන් වහන්සේ” යන ග්‍රන්ථයෙහි බෝධි ශබ්දයේ අර්ථය සංක්ෂිප්ත කොට දක්වා ඇත්තේ මේ ආකාරයෙනි.

'බෝධි' යන්නෙන් ගම්‍යවන ධ්වනිතාර්ථ පද්ධතිය මීට වඩා පුළුල්, එමෙන්ම විස්තෘත ද, දාර්ශනික ද වේ. සත්‍ය වශයෙන් ම එම සූක්ෂම අර්ථ පද්ධතිය තුළ බුදු දහම මඟින් පෙන්වා දී ඇති සිද්ධාන්තමය අර්ථ රාශියක් අන්තර්ගත වී ඇත. එහිලා විස්තරවන බෝධි, සම්බෝධි, සම්මා සම්බෝධි, අභිසම්බෝධි යන සමානාර්ථ පදවලින් සිදුහත් තාපස තුමන් විසින් සාක්ෂාත් කළ යථාභූත ඤාණ දර්ශනය සංඛ්‍යාත බුද්ධ ඥානය ද එහි ප්‍රතිවේධ කරනු වස් ප්‍රගුණ කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද ඒ මගෙහි ගමන් කොට සාක්ෂාත් කරගත් සොතාපත්ති, සකදාගාමී, අනාගාමී අරහන්ත යන චතුර්විධ මාර්ගඥානය හා නිර්වාණය ද එම කර්තව්‍යය සඳහා ආධාරභූත ගයාවේ පිහිටි අපරාජිත “බෝධි” නම් වූ අශ්වත්ථ වෘක්ෂය ද යන අරුත් රාශියක් අන්තර්ගත ය. “බෝධි” ශබ්දය පිළිබඳ පෙළෙ, අටුවාටීකා පාලි, නිඝණ්ඩු ආදී ප්‍රාමාණික ග්‍රන්ථ තුළ ඉහත විස්තෘත විවරණ සපයා ඇති බව පෙනේ. අප තථාගත සම්මා සම්බුදු අමාමෑණි ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ “ආනන්ද බෝධි රෝපණය” බෝධි සංකල්පය ව්‍යාප්තවීමට බලපෑ තවත් සාධකයකි.

පාලි ජාතකට්ඨ කථාවේ අන්තර්ගත කාලිංග බෝධි ජාතකය ආනන්ද බෝධියේ ආදිම මූලාශ්‍රය වෙයි. එය ම විචිත්‍ර ලෙස සිංහල බෝධිවංසයේ ද සඳහන් වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන්හට සැමදාම උන්වහන්සේ මුණ නොගැසෙයි. එවැනි අවස්ථාවලදී කණස්සල්ලට පත් ඔවුන් මල්, පහන්, සුවඳ දුම් ආදී පුජා ද්‍රව්‍ය ගඳකිලියේ දොරකඩ දමා යති. එබඳු අවස්ථා දුටු අනේපිඬු මහ සිටුතුමා මේ සඳහා පිළියමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ආනන්ද තෙරුන් වහන්සේට පවසයි. ඒ අනුව ගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බීජයකින් රෝපණය වූ අංකුරයක් සැවැත්නුවර ජේතවනාරාමයේ දොරටුව සමීපයෙහි රෝපණය කෙරේ.

මේ ආකාරයට ව්‍යාප්ත වූ බෝධි සංස්කෘතිය අශෝක රජු දවස අප රටට ද දායාද වූයේ ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ මැද භාගයේ දී ය. ධර්මාණ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන් ම නික්මෙන්නා වූ රශ්මි කදම්බයක් හා සමාන වූ රශ්මිජාලා විහිදුවන්නා වූ, බෝධීන් වහන්සේ මෙහි පිහිටි යැ යුතුයැ. එසේ හෙයින් තොපගේ සබඳ වූ ධර්මාශෝක රජ්ජුරුවන්ට “යම් සේ සංඝමිත්‍රා නම් ස්ථවිරාව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ මහා ශාඛාව ගෙන ඒ නම්, ඒ පරිද්දෙන් හසුන් යවවු” යනුවෙන් උන්වහන්සේ වදාළ බව සිංහල බෝධිවංසයෙහි අන්තර්ගත වේ.

මේ අනුව දේවානම්පියතිස්ස රජතුමා තම බෑණනුවන් වූ අරිට්ඨ ඇමැතිවරයා දඹලුතොටින් නැව් නංගවා දඹදිව පැළලුප් බලා පිටත් කරවීයැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දම්සෝ නිරිඳු මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව රත්‍රන් භාජනයක රෝපණය කොට එකොළොස් නමක් සමඟ සඟමිත් තෙරණිය හා පිරිස ලක්දිවට වැඩම කරවීය. දඹුලු තොටින් පිටත් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගත් අසිරිමත් පෙරහර ඒ ඒ ස්ථානයන්හි පුදසත්කාර පිණිස නවතමින් වැඳුම් පිදුම් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ මහත් හරසරින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව මහමෙවුනා උයනෙහි රෝපණය කළේ බුද්ධ වර්ෂයෙන් 236 උඳුවප් මස පුර තුදුස්වක දා සන්ධ්‍යාවෙහි රෝහණ නැකතින් උදාවූ වේලාවෙහි බව ස්ථිර ලෙසම බෝධි වංසයේ විස්තර කර ඇත. මේ අවස්ථාවේ ලක් දෙරණෙහි ආශ්චර්යමත් සිද්ධීන් බොහෝ සිදු විය.

එසේ දෙවනපෑතිස් රජතුමා සියලු ලංකාද්වීප රාජ්‍යයම බෝධීන් වහන්සේ වෙත පිදුවේ ය. රාජ්‍යයත්වයේ සංකේතය බවට පත් වූයේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. විශේෂයෙන්ම බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙහි දී එහි ආරක්ෂාවට මෙන්ම නිතිපතා ක්‍රමානුකූල පුදසත්කාරයන් සඳහා පුහුණු අටළොස් කුලයක පිරිස් ද එවනු ලැබූ බව වංශකතා ආදී මූලාශ්‍ර ග්‍රන්ථයෝ සාක්ෂි දරති. සමන්තපාසාදිකා නම්, විනය අටුවාවේ සඳහන් පරිදි දෙවනා කුල 18 ක්, අමච්ච කුල, බ්‍රාහ්මණ කුල, කුටුම්බක කුල, ගොපක කුල, නරච්ච කුල, කාලිංග කුල 8 බැගින් ද පැන් ඉසීමට රන් ඝට 8 ක් ද, ලංකාවට එවා ඇත. මේ සංඛ්‍යාත්මක විස්තරය දීප වංශය, මහාවංසය, බෝධි වංසය වැනි ග්‍රන්ථයන්හි සුළු සුළු වෙනස්කම්වලින් යුක්තව එකිනෙකට වෙනස් ව සඳහන් ව ඇත. කෙසේ වුවත්, සිංහල බෝධි වංසයෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සපයයි. සඝමිත් තෙරණිය මහ බෝ දකුණත් ශාඛාවක් සමඟ ආරක්ෂාව සඳහා අටළොස් (18) කුලයක පිරිසක් ද එවනු ලැබූ බව සඳහන් වේ.