කලණ මිතුරන් නොමැති නම්
තනිව විසීම යහපත්
හැවිලොක් සිටි සාමවිහාරාධිපති
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ
ආනන්ද හිමි
චරං චෙ නාධි ගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිස මත්තනෝ
එකචරියං දල්හං කයිරා – නත්ථි බාලේ සහායතා
(ධම්ම පදය)
උතුම් නුවණැති කෙනෙක් ඇසුරට නො ලැබේ නම්,
හුදකලාව විසීම යෝග්‍ය වේ
තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයා නිර්වාණගාමී පිළිවෙත පිළිබඳ ව නැඹුරු කිරීමට පමණක්
නොව, පුද්ගල සාර්ථකත්වය සඳහා ද ලබා දී ඇති මඟ පෙන්වීම අසාමාන්‍ය වූවකි.
මෙහිදී මූලික වශයෙන් ම තම ඇසුරට පත්කර ගත යුතු අය සහ නොගත යුතු අය පිළිබඳ විවිධ
අවස්ථාවන් හි දී දේශනා කොට ඇත.
උන්වහන්සේගේ මූලික පෙන්වාදීම වන්නේ සුදුසු පුද්ගලයකු නොවන්නේ නම්, හුදකලාව හෙවත්
තනිව ජීවත්වීම වඩා යහපත් බවයි.
මෙහි ‘සෙය්‍යං’ යන්නෙන් දැක්වෙන්නේ ‘ඉතා උතුම්’ යන්නයි. වඩාත් විමසිලිමත් ව මෙම
‘ඉතා උතුම්’ යන යෙදුම පිළිබඳ විමසා බැලීමේ දි සිල්වත් බවින්, සමාධි ගුණයෙන් මෙන්ම
ප්‍රඥා මහිමයෙන් යුක්ත වු යන අදහස අර්ථවත් වේ. ‘
සදිසං’ යන්නෙන් ප්‍රකාශ වන්නේ සමාන බව සීල, සමාධි, පඤ්ඤා යන ගුණයන්ගෙන් තමා හා සමාන
වූවකු පිළිබඳ යන අදහසයි. ඇසුරු කිරීම සඳහා තෝරා ගන්නා කලණ මිතුරා තමාට වඩා උසස්
ගුණයන්ගෙන් යුතු පුද්ගලයකු විය යුතු අතර, නො එසේ නම් තම ගුණයන් හා සමාන ගුණයන්ගෙන්
හෙබි පුද්ගලයෙකු විය යුතුයි. ‘සහායතා’ යන්නෙන් පැහැදිලි කෙරෙන මිතුරු බව හෙවත්
යහළුකම බාලයකු සමඟ ඇතිකර ගන්නේ නම්, එය ඉතා දරුණු ගණයේ විපත් සඳහා හේතු වනවා. එමෙන්
ම දෙලොව පරිහානියටත්, සසර දිගු වීමටත් හේතු වනවා.
මිතුරාගෙන් යමක් ලබා ගැනීමේ අදහසින් ම ඇසුරු කරන අය සිටිනවා. අවශ්‍යතාවයක දී
වචනයෙන් පමණක් සංග්‍රහ කරන අය සිටිනවා. එබඳු අවස්ථාවලදී ඉක්ම ගිය දෙයින් හෙවත්
අතීතයෙන් සංග්‍රහ කරන්නන් ද සිටිනවා. මිතුරන් සේ පෙනී සිටින මෙවැනි අය බොහෝ දෙනාට,
බොහෝ විට හමු වී නැතැයි කිව නොහැකි යි. දහමින් ප්‍රතික්ෂේපිත මෙම පාප මිත්‍රයන්
ඇසුරු කිරීමෙන් පුද්ගලයා පිරිහීමට පත්වනවා. ‘කාලපක්ඛේව චන්දිමා’ අවපස සඳමෙන් දිනෙන්
දින පිරිහීමට පත්වනවා. ඒ බව දහමින් අවධාරණය කොට තිබෙනවා. එසේම භාග්‍යවතුන් වහන්සේ
විසින් ඇසුරු කළ යුතු මිතුරන් ද පෙන්වා දෙනවා.
අවශ්‍ය විටෙක ඉදිරිපත් ව උපකාරි වන දුක් සැප දෙකෙහි දී, අත් නො හැර සිටින, යහපත
පිණිස ක්‍රියා කරන, සානුකම්පිත ව පිහිට වන සැබෑ කලණ මිත්‍රයන් ද අඩු ප්‍රතිශතයකින්
හෝ වත්මන් සමාජය තුළ දී ඇසුරට ලැබී ඇතිවාට ද සැකයක් නැත. මෙබඳු කලණ මිතුරන්ගේ ඇසුර
‘සුක්ඛ පක්ඛේව චන්දිමා’ පුරපස සඳ මෙන් මහත් දියුණුවට පත්වන බව දහමින් පෙන්නුම්
කෙරේ. තථාගත දේශනය වන්නේ මෙබඳු මිතුරන්ගේ ඇසුරක් හෝ සීල, සමාධි, ප්‍රඥා යන ලෝකෝත්තර
ගුණයන්ගෙන් ඉහළ පරිපූර්ණත්වයක් හෝ එම ගුණයන්ගෙන් තමන්ට සමාන වන්නකු මිතුරකු ලෙස
ඇසුරු කිරීම සඳහා නො ලැබෙන්නේ නම් මිතුරන්ගෙන් තොරව තනි තනිව විසීම දෙලොව දියුණුව
සඳහා හේතුවන බව ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳ දේශනය සඳහා හේතු වී
ඇති සිදුවීම වන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අතවැසි නො හික්මුණු භික්ෂුවකගේ
අශික්ෂිත ක්‍රියාවක් පිළිබඳ සිදුවීමකි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වැඩවසන ලද්දේ රජගහනුවර පුලිලලෙන නම් ඉතා සුන්දර
සෙනසුනක යි. එහි උන්වහන්සේ සමඟ ශිෂ්‍ය භික්ෂූන් දෙදෙනකු විය. ඉන් එක් නමක්,
සැදැහැති ය. ගුරු බැතියෙන් යුතුව වත් පිළිවෙත් නිසි සේ පුරන්නෙකි. අනෙක් නම ගුරු
බැතියෙන් තොර ය. සැදැහැති බවින් තොරය. කිසිදු වත් පිළිවෙතත් නොපුරන කුසීතයෙකි. දානය
වළඳා නිදා ගනී. අනෙක් භික්ෂු නම විසින් සිදුකරන ලද වත් පිළිවෙත් තමන් විසින්
සිදුකරන ලද ඒවා ලෙස ගුරු හිමියන්ට හඟවයි. එම භික්ෂුවගේ වංචා සහගත නිසරු හැසිරීම ඉතා
මැනවින් දැන සිටි ගුරු හිමියන් එක් දිනක් අවවාද කරනු ලබන්නේ තමා විසින් නොකරන ලද
වත්පිළිවෙත් තමා විසින් සිදුකරන ලද්දේ යැයි ප්‍රකාශ කිරීම නො කළ යුතු බවයි.
නිවැරැදිව මහණ දම් පිරීම කළ යුතු බවයි. මින් කෝපයට පත් මෙම නො හික්මුණු භික්ෂුව මහ
කසුප් තෙරුන්ගෙන් පළි ගැනීමේ අදහසින් උන්වහන්සේගේ ඉතා කුළුපග දායක නිවසකට ගොස් තම
ගුරු හිමියන් අසනීප බව පවසා තමා කැමැති ආහාර පිළියෙළ කරවාගෙන එම ආහාර ගෙන නිහඬව
සිටියා. පසු දින මෙම පුවත දැනගත් මහකසුප් මහරහතුන් වහන්සේ පැවිද්දන් විසින්
දායකවරුන්ගෙන් අවශ්‍යතා කියා ඉල්ලා වැළඳීම නුසුදුසු බවත්, එබඳු දේ නොකළ යුතු බවත්
අවවාදාත්මක ව ප්‍රකාශ කළා.
පසුව එම භික්ෂුව මහත් කෝපයට පත් වුණා. ගුරු හිමියන්ගෙන් පළිගැනීමට
පෙළඹුණා. පසු දින මහකසුප් මහතෙරුන් වහන්සේ අනෙක් භික්ෂුව සමඟ පිඩු පිණිස වැඩම කරන
ලද අතර කෝපයට පත්ව පළිගැනීමේ අපේක්ෂාවෙන් සිටි දඩබ්බර භික්ෂුව පොලු මුගුරු වලින්
ගසා විහාරස්ථානයෙහි තිබූ සියලු භාණ්ඩ විනාශ කර දැමුවා. විහාරස්ථානයට ද ගිනි තබා පලා
ගියා. මෙම සිදුවීමෙන් පසු ආසන්න දිනක රජගහනුවර සිටි භික්ෂු පිරිසක් සැවැත්නුවර
දෙව්රම් වෙහෙරට වැඩමවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ දැක වැඳපුදා ගැනීම සඳහා යි.
තථාගතයන් වහන්සේ සිරිත් පරිදි එම භික්ෂූන් සමඟ පිළිසඳරෙහි යෙදීමන් රාජගහනුවර
පිප්පලී ගුහාවෙහි වැඩවසන මහකසුප් මහතෙරුන් පිළිබඳ තොරතුරු විචාළා. එහිදී එම
භික්ෂූන් විසින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට උන්වහන්සේගේ අතවැසි ශිෂ්‍ය
භික්ෂුවකගෙන් සිදු වු පාපකාරි ආරාම විනාශය පිළිබඳව ප්‍රකාශ කරන ලැබුවා. මෙම
බිහිසුණු සිදුවීම පාදක කොටගත් තථාගතයන් වහන්සේ එම භික්ෂූන් අමතමින් “එක්ව විසීම
සඳහා තමාට වඩා ගුණ දහමින් වැඩී හෝ සමාන වූ කලණ මිත්‍රයකු සොයාගත නොහැකි විට තනිව ම
ජීවත්වීම ඉතා යහපත් බව“ දේශනා කොට වදාළා. |