ලංකාවේ බෞද්ධ ස්තූප
13:
මහරහතන් වහන්සේගේ
බුදුගුණ සජ්ඣායනා මැද
මහා සෑයේ ධාතු පූජෝත්සවය සිදුවෙයි
එකල්හි මාරයාගෙන් සිදුවන බාධා මැඬලීම පිණිස මහා ඍද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහ රහතන්
වහන්සේ සක්වලට ම සෙවණ සැලසිය හැකි මහත් ලෝහමය ඡත්‍රයක් මැවූ සේක.
ධාතූන් වහන්සේලා පෙරටුකොට පස් ස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සූත්‍ර පිටකයෙහි
තිබෙන දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන
පංච නිකායන්ට අයත් සූත්‍ර දේශනා වෙන් වෙන් ව සජ්ඣායනා කළ සේක.
අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු මහ රජතුමා එතැනට පැමිණියේ ය. තමන් හිස මත
වැඩමවාගෙන පැමිණි රන් ධාතු කරඬුව වඩා හිඳුවා විස්කම් දෙව්පුතු මැවූ ආසනයෙහි
පිහිටුවා ධාතු පුජා කොට වැඳ වැටුණේ ය. ඒ මොහොතෙහි රජතුමා මෙසේ පවසා සිටියේ ය.
“පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු
රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතු පූජාව කරන්නා වූ මේ මහා පින්කමේ
දී ස්වාමීනි, සර්වඥ ධාතූන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත්‍රයන්
මට පෙනෙන්නේ ය. දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය. දිව්‍යමය සුගන්ධයන් හාත්පස
විහිදෙන්නේ ය. දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නා වූ
දෙවියන්, බ්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස,
මෙසේ දිව්‍යමය වූ ඡත්‍රය ද, මානුෂික ඡත්‍රය ද, විමුක්ති ඡත්‍රය ද දරා වැඩ සිටින්නා
වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අරහත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ
ලංකා රාජ්‍ය මම පූජා කරන්නෙමි.
එසේ පවසා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා
ඉදිරියේ ගෞතම බුදු සසුන උදෙසා ලංකා රාජ්‍යය පූජා කළේ ය.
අනතුරුව දෙවියන් විසිනුත්, මිනිසුන් විසිනුත් එම ධාතූන් වහන්සේලාට පූජා පවත්වමින්,
දුටුගැමුණු මහ රජතුමා සක් දෙවිඳු වැඩමවා ගෙන ධාතූන් වහන්සේලා බහාලූ රන් කරඬුව හිස
මත තබා ගත්තේ ය. අනූහය කෝටියක් රහතන් වහන්සේලා උතුම් බුදු ගුණ සජ්ඣායනා කරමින් දෑත්
බැඳ මහා සෑය වටකොට ගෙන වන්දනා කරමින් වැඩ සිටි සේක.
ධාතූන් වහන්සේලා නිසා ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇති දුටුගැමුණු රජතුමා ධාතු ගැබට
පැමිණ එහි පනවා තැන්පත් කරන ලද සුන්දර වූ මහානීය ආසනයෙහි ධාතු කරඬුව තැන්පත්
කරන්නෙමි යැයි සිතූ කල්හි ඍද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩ සිටි ඒ ධාතු කරඬුව
රජතුමාගේ හිසෙන් අහසට පැන නැංගේය. තල් ගස් හතක් උසට අහසේ වැඩ සිටියහ. එසේ අහසේ
වැඩහිඳ, ඍද්ධි බලයෙන් ම ධාතු කරඬුව විවෘත විය. ධාතූන් වහන්සේලා පිටතට වැඩම කළ සේක.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයෙන් සෝභාමාන වූ පරම සුන්දර වූ
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ඩබ්බ
වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමාමහ ප්‍රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි එම ධාතූන්ගෙන් නිර්මිත ශ්‍රී සම්බුද්ධ
ශරීරයෙන් එක මොහොතේ ම සියුම් ගිනි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට වූ සේක. මෙම
විශ්මය ජනක ප්‍රාතිහාර්ය දර්ශනය දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා එකඟ වූ සිත් ඇතිව එතැන
සිටි දෙව් මිනිසුන් දොළොස් කෝටියක් අරහත් ඵලයට පත් වූ සේක. අනෙක් මාර්ගඵලයන්ට පත්
වූ දෙව්, මිනිසුන් පිරිස ගණන් කිරීම ඉක්මවා ගියේ ය.
ඉන් අනතුරුව එම ධාතූන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ වැඩ සිටි සේක. අහසින්
වැඩි ධාතු කරඬුව රජතුමාගේ සිරස මතට වැඩි සේක. දුටුගැමුණු රජතුමා ඉන්ද්‍රගුප්ත රහතන්
වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද ධාතු
ගර්භය ප්‍රදක්ෂිණා කරමින් ධාතු කරඬුව රුවන් ආසනය මත වඩා හිඳවන ලද්දේ ය. ඉන් අනතුරුව
දුටුගැමුණු රජතුමා සුවඳ දියෙන් දෑත් සෝදා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ආදර,
ගෞරවයෙන් යුක්තව සුවඳ වර්ග සතරකින් ලබාගත් සුවඳ ධාතු කරඬුවේ ගල්වන ලද්දේ ය. එම
ධාතූන් වහන්සේලා මත තම දෑත තබා ධාතු කරඬුව විවෘත කරමින්, දුටුගැමුණු රජතුමා මහජනයාට
යහපත කැමතිව මේ අයුරින් අධිෂ්ඨානයක් සිදු කළේ ය.
"ඒකාන්තයෙන් ම මෙම ධාතූන් වහන්සේලා ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටිනා සේක.
එහෙයින් මෙම ධාතූන් වහන්සේලා පනවන ලද මේ මහානීය වූ සයනය මත අපගේ තථාගත බුදුරජාණන්
වහන්සේ එදා පිරිනිවන් මඤ්චකයේ සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා" යැයි පවසා
උතුම් යහන මත දුටුගැමුණු මහ රජතුමා ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය.
එකෙනෙහි ම භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ එදා පිරිනිවන් මඤ්චකයේ සැතපෙන ඉරියව්වේ
හැඩයට ධාතූන් වහන්සේලා ඍද්ධි බලයෙන් තැන්පත් වූ සේක. ඇසළ පුන් පොහෝ දා උතුරුසල
නැකැත පිහිටි අවස්ථාවේ දී මේ ආකාරයට ධාතූන් වහන්සේලා මහා සෑ ගර්භයේ පිහිටා වදාළ
සේක. ධාතූන් වහන්සේලා මහා සෑයේ පිහිටනවාත් සමඟම පෘථිවි තොමෝ කම්පා වී ගියහ. නොයෙක්
ආකාරයෙන් බොහෝ අද්භූතජනක ප්‍රාතිහාර්යයෝ හාත්පසින් දිස්වූහ. පහන් සිතැති දුටුගැමුණු
රජතුමා රාජ සේසතින් ද ධාතූන් වහන්සේලා ට පූජා පැවැත්වූයේ ය. ලංකා රාජ්‍යයෙන් සත්
දවසක් ම පූජා පැවැත්වූයේ ය. දුටුගැමුණු රජතුමාගේ කයේ පැළද සිටි කහවණු තිස් ලක්ෂයක්
වටිනා සියලු රාජාභරණ ධාතු ගර්භයෙහි ම පූජා කළේ ය.
ඒ ආකාරයෙන් ම අමාත්‍යවරු ද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද දෙව්පිරිස ද තම
ආභරණයන්ගෙන් ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වූහ. තුන්යම රාත්‍රිය මුළුල්ලේ ම භික්ෂූන්
වහන්සේලා සූත්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියහ. පසුදා වැසියාගේ යහපත කැමති දුටුගැමුණු
රජතුමා මේ සත්දින මුළුල්ලේ සියලු රටවැසියන් සිත් සේ ධාතූන් වහන්සේලා වන්දනා කර
ගනිත්වා! කියා නුවර පුරා අඬබෙර ගැස්සවූයේ ය.
ලංකා ද්වීපවාසීහු මනුෂ්‍යයන් අතරින් යමෙක් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දැක
බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔවුහු වහා පැමිණ ධාතූන් වහන්සේලා දැක වන්දනා
කරත්වා යැයි විධාන කරන ලද්දේ ය.
සත් දවසක් පුරා සිදු කරන ලද ධාතු පූජාවෙන් සහ ඒ සඳහා වැඩම කොට වදාළ මහා සංඝයා
වහන්සේ උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප්‍රමුදිත වූ දුටුගැමුණු මහ රජතුමා භික්ෂු
සංඝයා වහන්සේ වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය.
“පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියලු කටයුතු සම්පූර්ණ කරන ලද්දේ
ය. එකල්හි ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරු කුරු දිවයිනෙන් ගෙනෙන
ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය.
ඒ මොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. “අපගේ
ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේලා උදෙසා පූජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො
මැළවෙත්වා. මෙහි පූජා කළ සුවඳ වියළී නොයාවා. හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම
ප්‍රදීපයෝ නොනිවෙත්වා. මෙහි පූජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතිත්වා. මෙම මේඝවර්ණ පාෂාණයෝ
එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා“ මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමඟ
ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ ධාතු පූජෝත්සවය නිමාවට පත් වූයේ ය.
දීපා පෙරේරා |