[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය ක්‍රියාවේ යෙදවීම බෞද්ධයාගේ පරම යුතුකමයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය ක්‍රියාවේ යෙදවීම බෞද්ධයාගේ පරම යුතුකමයි

සම්බුද්ධ ශාසනයේ හා සිංහල ජාතියේ උන්නතිය උදෙසා ජාතිවාත්සල්‍යයෙන්, ආගමික මාමකත්වයෙන් හා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය පසුගිය 17 වැනි දිනට යෙදී තිබුණි.

සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතියේ පුනරුදය සඳහා අමරණීය, අමිල මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමාගේ සදූපදේශ සේ ම ආදර්ශය ද එකලට සේ ම වර්තමානයට ද, අනාගතයට ද මිණි පහනක් ම වන්නේ ය.

අනුබුදු මිහිඳු මා හිමියන් විසින් ආරම්භ කරන ලද මෙරට සම්බුද්ධ ශාසනය මහනුවර සමය වන විට අන්ත පරිහානියට පත්ව තිබුණි. එවැනි වකවානුවක වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ බලවත් උත්සාහයත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නිසාත් ලක්දිවින් රැගෙනගිය උපසම්පදාව ම සියම් රටේ සිට නැවත මෙරටට ගෙන ඒමට හැකි විය. එම උපසම්පදාව මුල්කරගෙන කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා විසින් ස්වකීය මල්වත්ත ම සම්බුද්ධ ශාසනයට පූජා කළේ ය. ඒ හා සහ සම්බන්ධ ව අනෙකුත් ඉඩකඩම්, ඉපැරණි වෙහෙර විහාරස්ථාන ද පුද කරමින් සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට කරන ලද උදාරතර මෙහෙවර නිසා ම වසර 260ක් මුළුල්ලෙහි මහා විහාර ස්‍යාමෝපසම්පදාව පවත්වාගෙන ඒමට හැකි විය. එය සකල බෞද්ධ ජනතාවගේ අපමණ සතුටට හේතු වන්නකි.

මේ වන විට භාරතදේශයේ ද සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් පිරිහී තිබුණි. එකම උපසම්පදා භික්ෂුවක්වත් නොවූ අවස්ථාවක අනගාරික ධර්මපාලතුමා (සිරි දේවමිත්ත ධම්මපාල හිමි) ඉන්දියාවට ගොස් බරණැස ඉසිපතනාරාමයත්, බුද්ධගයාව හා කල්කටා ධම්රාජික විහාරය ද හින්දු භක්තිකයන්ගෙන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. ඒ අනුව එහි නැවත සම්බුද්ධ ශාසනය පිහිටුවා 1931 ජූලි 13 දින පැවිදි දිවියට පත්ව 1933 ජනවාරි 16 දින උපසම්පදාව ලබා ගත්තේ ය. ඒ බව (අනගාරික ධර්මපාලතුමා) සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ අත්සනින් ම 1933 ජනවාරි 17 කුජ දින ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක මා හිමියන් ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව වෙත එවා තිබූ ලිපිය ජාත්‍යාලයෙන් යුතු, ශාසන හිතකාමී කවරකුගේ වූවද, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇප කැපවීමේ අභිලාෂය වඩා වර්ධනය කරනු ඇත. එම ලිපියෙන් උපුටා ගත් කොටසක් මෙලෙස පළ කරන්නේ අනගාරික ධර්මපාලතුමාගේ පරම අභිලාෂය පිළිබඳව යම්තාක් දුරකට හෝ වත්මන් බෞද්ධයිනට අදහසක් ලබාදෙනු පිණිස ය.

"මහා නායක හාමුදුරුවන් වහන්සේගේ සන්දේශ පත්‍රයෙහි සඳහන් වූ පරිදි සංඝරාජ පරිවෙණාධිපති මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන ස්‍යාමොපාලි මහා නිකායේ අනුනායක ස්ථවිරපාදයන් වහන්සේ ප්‍රධාන විද්‍යොදය පරිවෙණාධිපති කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේ හා විද්‍යාලංකාර පරිවෙණාධිපති ලුණුපොකුණේ ධර්ම කීර්ති ශ්‍රී ධම්මා නන්දාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේත් ඇතුළු සතළොස් නමක් ස්‍යාමෝපාලි වංශික භික්ෂු සංඝයා වහන්සේ මහාබෝධි සමාගමේ නියමය පිට රාජා හේවාවිතාරණ මහත්මයා ප්‍රධාන උපාසක පිරිසක් විසින් ගෞරවයෙන් මෙහි වැඩම කරගන එන ලදුව පළමුකොට කල්කටා ධර්මරාජික විහාරයෙහි දී ද ඉන්පසු බරණැස් නුවර ඉසිපතන මූල ගන්ධකුටි විහාරයෙහිදී ද අපි ගෞරවාදරයෙන් පිළිගනිමු.

මහා සංඝයා වහන්සේ මෙම දුරුතු මස අව ජලවක ලත් රිවිදින (ජනවාරි 15 දා) ඉසිපතනයට වැඩි සේක. පසුදින පස්වරු කාලයෙහි සීමාව සම්මතකොට එදිනම රාත්‍රියේ සිරිදේවමිත්ත ධම්මපාල සමනුද්දෙස නැමැති මා උපසම්පදා සංඛ්‍යාත අධිශීලයෙහි පිහිටුවා වදාළ සේක. ඒ ශාසනික ගරු විනය කර්මයන් ඉතා හොඳින් ගරු අන්දමින් සිද්ධවීම නිසා මට දැන් අප්‍රමාණ පී‍්‍රතියි 40 අවුරුද්දක් මුළුල්ලෙහි දඹදිව ශාසනික කටයුතු ගැන මම දුක්වින්ඳෙමි. ඒ පිළිබඳ මගේ මනොරථය මේ උතුම් කටයුතු නිසා සම්පූර්ණ වූයේ ය. ඒ ගැන හිතාධ්‍යාශයෙන් ප්‍රතිෂ්ඨාධාරීවූ මල්වතු විහාරයේ අපේ මහානායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවට මගේ ගෞරවාදර නමස්කාරය පූජා කරමි.

තවද මම බොහෝ කාලයක් බොහෝ වෙහෙස මහන්සි වී දඹදිව ශාසනය පිහිටුවීමි. කලිකතා ධර්ම රාජික විහාරය ද බරණැස් නුවර ඉසිපතන මූල ගන්ධකුටි විහාරය ද විශාල ධනයක් වියදම් කොට තැන වීමි. මා දැන් වයෝවෘද්ධ ව සිටින හෙයින් ඒවා නිසි සේ පාලනය කරමින් ඉදිරියට දඹදිව ශාසනික කටයුතු දියුණු කිරීමට ශක්තියක් නෑ. ඒ නිසා ඒ සියල්ලම මම ශාසනයට පූජා කරමි.

එබැවින් මහනුවර මල්වතු විහාරයෙහි කාරක මහා සංඝ සභාව ප්‍රධාන කොට, මහා බෝධි සමාගමේ සභාපති ධුරන්ධර විද්‍යොදය පරිවෙණාධිපති කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේ හා විද්‍යලංකාර පරිවෙණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ ද, කොළඹ විද්‍යොදය පිරිවෙනේ අධ්‍යක්ෂව වැඩසිටි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හෙයියන්තුඩුවේ සිරිදෙවමිත්ත නායක මහා ස්ථවිරපාදයන් වහන්සේගේ, ප්‍රධාන ශිෂ්‍යවූ, මගේ ආචාර්ය බොරුග්ගමුවේ සිරි රෙවතාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේ ප්‍රධාන එම ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටත් පවරා දුනිමි. එබැවින් මහානායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා ලෙස යටකී සතර පක්ෂයේ මහ තෙරුන් වහන්සේලා විසින් එකී විහාරස්ථාන බාර ගෙන ඒවා මතු කාලයේ නිසි සේ පාලනය වන යහපත් පිළිවෙළක් යොදා මා විසින් දුකසේ ඇති කළ, දඹදිව ශාසනය දියුණු කරන ලෙස ගෞරවයෙන්, සැළ කරමි."

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පවත්නේ උපසම්පදා විනය කර්මය නිසාම යැයි සැලකූ අනගාරික ධර්මපාලතුමා ද මහනුවර මල්වතු මහා විහාරයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවා උපසම්පදා වූ බව සඳහන් වේ. උක්ත ලේඛනය අනුව භාරතදේශයේ ද වර්තමාන සම්බුද්ධ ශාසනය පිහිටුවීමට අනගාරික ධර්මපාලතුමා හා මහනුවර මල්වතු මහා විහාරය මුල්වී විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙකත්, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම අතුල රජමහ විහාරයත් සම්බන්ධ වූ බව මැනවින් පැහැදිලි වේ. සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්නේ උපසම්පදාව නිසාම ය. එකී උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සකල ලාංකික ජනතාවගේ මෙන්ම බෞද්ධ ලෝකයාගේ පරම යුතුකම වන්නේ ය.

අනගාරික ධර්මපාලතුමා දඹදිව බෞද්ධාගමික සිද්ධස්ථාන මිථ්‍යා

දෘෂ්ඨිකයන්ගෙන් මුදාගෙන, ආරක්ෂාකොට බෞද්ධයින් අතට පත් කිරීමට කටයුතු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. ඒ ගමන් මග ඉතා කටුක වූවකි. අතිශය දුෂ්කර වූවකි. එකල හින්දු භක්තිකයන්ගේ මතය වූයේ බුදුරජාණන් වහන්සේ ශිව භක්තිකයකු බව ය. ඒ අනුව ඔවුහු බුද්ධගයා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට පුද පූජා කළේ හින්දු ආගමික වත් පිළිවෙත් අනුව ය. එම මතය තථාගතයන් වහන්සේට කරන අපහාසයක් බව පෙන්වා දෙන්නට එතුමා නොබිය ව, එඩිතර ව කටයුතු කළේ ය. දඹදිව බෞද්ධාගමික සිද්ධස්ථාන බේරාගෙන ඒවා ආරක්ෂා කරදීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූයේ ය.

එදා පටන් අප තථාගත බුදුපියාණන් වහන්සේට පූජෝපහාර දක්වනු පිණිස බුද්ධගයාවේ තේවා කටයුතු සියල්ල ලාංකේය භික්ෂූන් වහන්සේ වෙතින් සිදු කෙරිණි. එහෙත් වර්තමානය වන විට ඒ තත්ත්වය ගිලිහී යමින් තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. දැන් බුද්ධගයාවේ තේවා කටයුතු සිදු කෙරෙන්නේ ඉන්දීය ජාතික භික්ෂූන් වහන්සේ වෙතිනි. එය අනගාරික ධර්මපාලතුමාගේ අපේක්ෂාව නොවන්නට ඇත. මේ නිසා රට දැය සමය වෙනුවෙන් කැපවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණන්ට කෘතගුණ දැක්වීම සඳහාත්, අපගේ බෞද්ධ උරුමයන්හි ආරක්ෂාව, සුරක්ෂිත බව තහවුරු කරනු පිණිසත් අපට වගකීමක් පැවරේ. බුද්ධගයාව බෞද්ධයාගේ පරම පූජනීය සිද්ධස්ථානයකි. එහි තේවා කටයුතු කිරීම සඳහා වසරක් හැර වසරක් හෝ ලාංකේය භික්ෂූන් වහන්සේට ද අවස්ථාව ලැබීම මාහැඟි පුණ්‍ය කටයුත්තක් බව දක්වමි. එහෙයින් ජනාධිපතිතුමා ඇතුළු රජයටත්, වගකිවයුතු මහා සංඝරත්නයටත් මේ

පිළිබඳව සොයා බලා යහපත් පියවරක් ගැනීමට කටයුතු කරන්නේ නම් එය අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ට කරන ගෞරවනීය කෘතෝපහාරයක් වන බව අපගේ විශ්වාසයයි.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]