[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සකුණ ජාතක කතාව: පණ්ඩිතයෝ නම් මරණය ජය ගනිති

සකුණ ජාතක කතාව:

පණ්ඩිතයෝ නම් මරණය ජය ගනිති

" මිතුරනි, අප ඇසුරු කරන මෙම වෘක්ෂය යම් මොහොතක ගිනි ඇවිළෙයි. ඒ නිසා අප මෙතැනින් නික්ම යාම සුදුසු වෙනවා. අපට පිහිට වූ වෘක්ෂයෙන් ම ගිනි ඉපැදී මහත් විනාශයක් සිදුවෙයි. ඒ නිසා එන්න මා සමඟ. අන් තැනකට ඉගිළ ගොස් සතුටින් සැප සේ ජීවත් වෙමු."

බුදුරාජණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයේ පිටිසර ගමක බවුන් වැඩූ එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ පන්සලක් ගිනිගෙන දැවුණි. එම සිදුවීම මුල් කරගෙන මෙම ජාතක කතාව වදාළ සේක.

එක් භික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන කොසොල් රාජ්‍යයට ම අයත් ඈත පිටිසර ගමක පන්සලක වැඩවාසය කළා. එම භික්ෂුව පිටිසර ගමට වැඩම කොට පළමු මාසයේ දී ම එම පන්සල ගින්නෙන් දැවුණා. පසුව ඒ භික්ෂුව “මගේ පන්සල ගින්නෙන් දැවුණා. ඒ නිසා දැන් මම දුක සේ ම වාසය කරමියි” කියා මිනිසුන්ට දන්වා සිටියා. මිනිසුන් ද පන්සල හදන්නට විවේකයක් නැතැයි කියමින් කල් යැව්වා. “දැන් අපගේ කෙත වියළී ඇත. එයට දිය බැඳ පසුව කර දෙන්නම්, දැන් සී සෑම ට ඇත. ඉන්පසුව කර දෙන්නම්, දැන් වැට බැ¼දීමට ඇත. වැට බැ¼දීමෙන් පසු පන්සල සාදා දෙන්නම්, දැන් බීජ වැපිරීමට ඇත. දැන් අස්වනු නෙළීමට ඇත. පසුව සාදා දෙන්නම්.” මේ විදියට අස්වනු නෙළන කාලය එනතුරුත් පන්සල නොහදා ම කල් යැව්වා. ඉතින් මේ නිසා භික්ෂුන් වහන්සේට වස් තුන් මාසය ම එළිමහනේ බොහෝ දුක් කම්කටලු වලට මුහුණ දෙමින් වාසය කිරීමට සිදු වුණා. බුදුන් වහන්සේගෙන් ලබාගෙන ආ කමටහන් වැඩීමටවත්, එයින් කිසියම් විශේෂයක් උපදවාගන්නට වත් උන්වහන්සේට නොහැකි වුණා.

තුන් මාසය ගෙවී ගියා. වස් පවාරණයෙන් පසු සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් නමස්කාර කොට එකත්පස් ව වැඩ සිටියා. සර්වඥයන් වහන්සේත් එම භික්ෂුව සමඟින් පිළිසඳර කතා කොට “කිමෙක් ද මහණ සැපසේ වස් කාලය ගෙවුවේ ද? නුඹගේ කමටහන් මස්තකප්‍රාප්ත නොවූයේ ද?” යනුවෙන් විචාළා.

ඒ භික්ෂුව තමන්ට වස් කාලයේ දී සිදු වූ විපත ගැන තථාගතයන් වහන්සේට කිව්වා. “ස්වාමීනි, මට සෙනසුන් අහිමි වීම නිසා කමටහන් වඩන්නට අපහසු වුණා. එපමණක් නොවෙයි. යම් ආධ්‍යාත්මීය වෙනසක් ද ලබා ගැනීමට නොහැකි වුණා.

“ පෙර ජාතියක දී තිරිසන්ගත සත්වයෝ පවා වාසයට සුදුසු නුසුදුසු තැන් දැක දැනගත්තා. ඔබ වහන්සේ කුමන කරුණක් නිසා ඒ බව නොදැනගත්තේ ද ?” භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාරා භවයෙන් වැසී ගිය අතීත කථාව දේශනා කොට වදාළා.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කළා. ඒ කාලයේ අප මහ බෝසතාණෝ තිරස්චීන පක්ෂි ජන්ම යෙහි පක්ෂි රාජයෙක් ව ඉපදුණා. පක්ෂි සමූහයා පිරිවරාගෙන, වනගත ප්‍රදේශයක අතුපතරින් ගැවසී ගත් මහා වෘක්ෂයක සතුටින් වාසය කළා.

එක් දවසක් ඒ ගසේ අතු එහෙ මෙහෙ ගැටෙන වෙලාවෙහි අතු අතරින් දුම් නැඟෙනවා දැක්කා. බෝධිසත්වයන් වහන්සේ ‘මේ ශාඛාවෝ දෙදෙනා එකිනෙක ගැටීමෙන් යම් මොහොතක ලැව්ගිණි ඇතිවේවි. මේ මහා වෘක්ෂය ද දැවී යයි. එබැවින් අප මෙහි වාසය කිරීම නුසුදුසුයි . වහා මෙතැනින් ඉවත්ව යා යුතුයි’ යනුවෙන් සිතුවා. අනතුරුව තම පක්ෂි සමූහයා කැඳවූවා. එම වෘක්ෂය හැර දා වෙනත් තැනකට යාමට සුදුසු බව කියා සිටියා. “මිතුරනි, අප ඇසුරු කරන මෙම වෘක්ෂය යම් මොහොතක ගිනි ඇවිළෙයි. ඒ නිසා අප මෙතැනින් නික්ම යාම සුදුසු වෙනවා. අපට පිහිට වූ වෘක්ෂයෙන් ම ගිනි ඉපැදී මහත් විනාශයක් සිදුවෙයි. ඒ නිසා එන්න මා සමඟ. අන් තැනකට ඉගිළ ගොස් සතුටින් සැපසේ ජීවත් වෙමු.”යි කිව්වා. බෝධිසත්වයන් වහන්සේගේ වචනය ගරු කළ නුවණැති පක්ෂීන් උන්වහන්සේ සමඟ එක්ව අහසට නැඟී වෙනත් වාසස්ථානයක් සොයා ගෙන ගියා.

නුවණ නැති අඥාන පක්ෂීන් එම වචනය පිළි නොගෙන එතැන ම වාසය කරන්නට වුණා. එතැන සිටි අඥාන පක්‍ෂියෙක්

“එක් දිය බිංදුවක කිඹුලන් දැක්කා” යැයි කියමින් බෝධිසත්වයන්ගේ වචනය ගර්හාවට ලක් කළා. “අපට ජීවයක් වූ මේ මහා වෘක්ෂය ගිනි ගන්නවා යැයි කීම බොරුවක්, ඒ නිසා අප ඔබ සමඟ එන්නේ නෑ. මෙතන ම ඉන්නවා” යැයි කියමින් මුරණ්ඩු සිත් උපදවා වෘක්ෂය අතහැර ගියේ නෑ.

මෙයින් ටික කලකට පසුව බෝධි සත්වයෝ සිතූ විලසින් ම ශාඛා දෙක එකට ගැටී එතැනින් ගින්නක් හටගෙන ඒ මහා වෘක්ෂය ගිනි ගත්තා. දුම් ද, ගිනිදැල් ද එකවර ම නැගී ගිය නිසා දුම් වැදීමෙන් අන්ධ වූ පක්ෂීන් අන් තැනකට ඉගිළ යා ගත නොහැකි ව ගින්නෙහි ම වැටී විනාශයට පත් වුණා.

බුදුරජාණන් වහන්සේ එම අතීත කතාව වදාරා “මහණ පෙර තිරිසන් සතුනුත් මහා ගස් මුදුන් වල වාසය කිරීම තමන්ට සුදුසු නුසුදුසු බව දැනගත්තා. නුඹ කවර හෙයකින් නුඹට කැප වාසස්ථාන සහ අකැප වාසස්ථාන පිළිබඳ නොදැනගත්තේ දැ? යි කියා ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනා කොට වදාළා. චතුරාර්ය සත්‍ය දේශනාව කෙළවර ඒ භික්ෂුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියා. බුදුරජාණන් වහන්සේ ද එම අතීත කථාවේ සහ නිධාන කථාවෙහි පූර්වාපර සන්ධි ගළපා සකුණ ජාතකය නිමවා වදාළා.

“එ සමයෙහි බෝසතාණන් වහන්සේ අවවාද කළා වූ, පක්ෂීන් දැන් මේ බුදුපිරිස ය. නුවණැති පක්ෂි රාජ ව උපන්නෝ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජු මම් ම නොවේදැ”යි තමන් වහන්සේ දක්වා වදාළා.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]