Print this Article


සීලයෙහි පිහිට

සීලයෙහි පිහිට

මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පැවති කාලයේ කතාවකි. එකල, එක් ගමක වැසියන් විසින් ලුහුබඳිනා ලද සොරුන් පස් දෙනෙකි. ඔවුහු සැඟවීමට තැනක් හෝ අන් පිහිටක් හෝ නොමැති ව වනයෙහි ගල්තලාවක් මත වැඩ විසූ එක්තරා ආරණ්‍යයක භික්ෂූන් වහන්සේ නමක් දැක උන්වහන්සේ වෙත පැමිණ වැඳ වැටුණා හ. “ස්වාමීනි”, අපට පිහිට වනු මැනවි’යි ඉල්ලා සිටියෝ ය.” භික්ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූහ. "නුඹලාට සීලයට වඩා පිහිට වන දෙයක් වෙන නැත. එම නිසා හැමදෙනා ම පන්සිල් සමාදන් වන්න". හාමුදුරුවන්ගේ වචනය පිළිගෙන සොරු පන්සිල් සමාදන් වූහ. භික්ෂූන් වහන්සේ ඒ සොරුන්ට මෙසේ අවවාද කළහ. “පින්වතුනි, දැන් ඔබ සිල්වත්. මේ සීලය ජීවිතය සේ උතුම් කොට ආරක්ෂා කරන්න. මෙතැන් පටන් ඔබගේ ජීවිතය නසන්නට තැත් කරන අයට ද්වේශ නො කරන්න”. සොරු, හාමුදුරුවන්ගේ අනුශාසනය පිළිගත්හ.

සොරු සොයා පැමිණි ජනපද වැසියෝ ඔවුන්ට පහර දුන්හ. භික්ෂූන් වහන්සේගේ අවවාද පිළිගත් සොරු පන්සිල් ගත් පින නිසා ඔවුන් සැම මියගොස් කාමාවචර දෙවිවරුලෙස උපත ලැබීය . කාමාවචර දෙව් ලොව දී සොරුන්ගේ ප්‍රධානියා දෙටුවා ම විය. සෙසු අය මොහුගේ පිරිවර වූහ. දිව්‍ය ලෝකයෙහි අති දීර්ඝ කාලයක් ගෙවා අප බුදුන් වහන්සේගේ කාලයේ මිනිස් ලොව ඉපදුණහ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා, පැවිදි ව මහණ දම් පුරා සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් දුටුවහ.