Print this Article


බුදුරජාණන් වහන්සේ දැක ගනිමු

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු

තථාගත බුදුරජාණන් වහන්සේ් පිරිනිවන් පා වදාළේ වූව ද අප ජීවත්වන්නේ බුද්ධෝත්පාද කාලයේ ය. බුදුරදුන් ජීවමාන ව පියවි ඇසින් දැකගත හැකි නොවූණ ද අප සියලු දෙනාට ම භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මික ව දැක ගත හැකිය. එනම්, දහම් ඇස පහළ කර ගැනීමෙන් දැක ගැනීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඝාටිකණ්ණ නම් සූත්‍ර දේශනාවට අනුව ඒ පිළිබඳ මෙසේ විස්තර දැක්වෙනවා.

යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට හිතවන්තයි, සෙනෙහෙවන්තයි, ගරුකරනවා, පූජා කරනවා යන අදහසින් සිවුරේ කොනක් අල්ලාගෙන භාග්‍යවතුන් වහන්සේ තබන පියවර මත ම පියවර තබමින් ගමන් කරනවා. එහෙත් ධර්ම විනයෙහි නියුක්ත නැහැ. ලෝභාදී කෙලෙස්වල සංසිඳීමක් ඒ නිසා ඇති වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එවැනි අයෙක් භාග්‍යවතුන් වහන්සේට නියම ආකාරයෙන් හිතවන්ත නොවන බව. සෙනෙහෙවන්ත නොවන බව. ගරුකරන්නේ නැති බව. පූජා කරන්නේ ද නැති බව.

නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන සිට යොදුන් සියයක් දුරින් සිටිනවා. එහෙත් ධර්ම විනය අනුගමනය කරනවා. ලෝභාදී කෙලෙස්වල සංසිඳීමක් ඇති කර ගන්නවා. ඒ දහම් මඟ අනුගමනය කිරීම නිසා සසරගත සියලු දුකින් නිදහස්වනවා. ප්‍රඥාව ලැබ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්නවා. නිවන් මඟ උරුම කර ගැනීමට හැකියාවක් ලබනවා. යොදුන් සියයක් ඈතක සිටින කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරේ කොනක් අල්ලාගෙන සිටින අයට වඩා සමීප ව සිටිනවා. ගරු කරනවා. සෙනෙහෙවන්ත වනවා. හිතවන්ත වනවා. පූජා කරනවා. යනුවෙන් ධර්ම කතාවේ විස්තර කරනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ එසේ දේශනා කළා නම්, ඒ දේශනාව අද දවසටත් එකසේ ගලපා බලන්නට පුළුවන්. යොදුන් සියයක් ඈතක සිටින ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව, පියවි ඇසින් නොදැක, පියවි කන් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ මුවකමලින් පිට වූ දහම් හඬ නො අසා ධර්ම මාර්ගය අනුගමනය කොට කෙලෙස් බැහැර කිරීමෙන් සසර ගමනින් නිදහස් වුණා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු දෙදහස් පන්සිය හැට හතර වර්ෂයක් අවසන්. එහෙත් අප හැම ජීවත් වන්නේ බුද්ධෝත්පාද කාලයකයි. අපට බුදු දහම පිළිපදින්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කළා සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුබව. ඒ නිසා අප වහා අප්‍රමාදී ව කුසල් දහම් පිරිය යුතුයි. උන්වහන්සේගේ ධර්ම අවවාදය, අනුශාසනය, අනුගමනය කළයුතුයි. සම්‍යග් ප්‍රඥාව පහළ කර ගත යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් කෙලෙසුන්ගෙන් මුළුමනින් ම නිදහස් විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් මඟෙහි ඉතා උතුම් වදන් තුනක් සඳහන් වෙනවා. අප්පමත්තා, ආතාපිනො, පහිතත්තා යනුවෙන්.

අප අප්‍රමාදී විය යුතුයි. හේතූන් ප්‍රත්‍ය කරගෙන හටගන්නා යමක් වේ ද? ඒ හේතූන්ගේ ම විසිර යෑමෙන් ඒ හටගන්නා දෙයෙහි ඵල විපාක ද නැතිව යනවා. එනම් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. ත්‍රිලක්ෂණයට යටත්. මේ බව විදර්ශනා නුවණින් දැකගත යුතුයි. සම්මුතිය තුළ මම, මගේ කියා පැවැතුම් ඇති කර ගත්තත්, පරමාර්ථ වශයෙන් හෙවත් විදර්ශනා නුවණින් දැක, ඒ කිසිදු අරමුණක හෙවත් සංස්කාරයක උපාදානයක් සිදු නොවීමට සිත පුරුදු කිරීම අවශ්‍යයයි.

එනම් මගේ ය, මම වෙමි, මගෙ ආත්මය යැයි සලකා නො ඇලිය යුතුයි. නො ගැටිය යුතුයි. මුළාවෙන්නට සිත පුරුදු කර නො ගත යුතුයි. සිත එමඟින් මුදවාගත යුතුයි. එය අප්‍රමාදයයි. ඒ සඳහා දක්වන වීර්යය “ආතාපිනො” යනුවෙන් හඳුන්වනවා. එනම් කෙලෙස් තවන වීර්යයක් හැටියට දක්වනවා. එය සතර සම්‍යග් ප්‍රධන් වීර්යයයෙන් ආරම්භ කොට සතර ඍද්ධිපාදවල දක්වන ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන තැන පුරුදු කර ගත යුතුමයි. “පහිතත්තා” කියන වචනයෙන් අදහස් කරන්නේ, කෙලෙස් මුළුමනින් ම බැහැර කිරීමට උපකාරී වන “පටිනිස්සග්ග“ හෙවත් අත්හැරීම නම් වූ අදහසයි.

එසේ නම් තථාගත බුදුරජාණන් වහන්සේ අද දවසේ ජීවමානව දකින්නට වැඩ සිටින්නේ නැති වූවත්, ධර්ම මනසිකාරයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දැක ගත හැකියි. මෙනෙහි කර ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ් අපට මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දේශනා කළේ කුමක් ද? ත්‍රිපිටක ධර්මයට අනුව ධර්ම සාකච්ඡාවක් ලෙසින් අපේ සිතට ම අපි කතා කර ගනිමු. තථාගත බුදුරජාණන් වහන්සේට හමු වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සිතෙහි හෙවත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීම පිළිබඳව බලනවා. එසේ බලන්නේ ,දකින්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ථ ඤාණයෙන් හා චේතෝපරියත්ති ඤාණයෙන් නම් වූ ඥණයන්ගෙනුයි. තමන් වහන්සේ ඉදිරියට පැමිණෙන පුද්ගලයන්ගේ සිතේ පවත්නා කෙලෙස් සංසිඳීමක් පවතින්නේ ද? කෙලෙස් සංසිඳුවා ගැනීමට ඉන්ද්‍රිය ධර්ම දියුණු වී ඇත්තේ ද? බල ධර්ම දියුණු වී ඇත්තේ ද? යනුවෙන් විමසා බලනවා. ඉන්ද්‍රිය ධර්ම හෙවත් බල ධර්ම නම් ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා නම් වූ බල ධර්මයන්.

ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා නම් වූ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම මේ පුද්ගලයන් තුළ මනාකොට වැඩී ඇත්තේ නම් පරමාර්ථ දේශනාව හෙවත් සාමුක්කංසිඛ දේශනාව සිදු කිරීමට සුදුසුයි. එනම් මේ පුද්ගලයන්ට අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත්කොට දැක ඒ අරමුණු වෙනුවෙන් සකස්වෙන රාග, ද්වේෂ, මෝහ මුළුමනින් ම බැහැර කිරීමට තරම් ශක්තියක්, තිබෙනවා. ඒ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා නම් වූ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයන්ගේ දියුණු වීම නිසයි. මේ අවස්ථාව හඳුන්වනවා තික් ඉන්ද්‍රිය හැටියට.

භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. මේ සත්වයා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට උරුමකම් කියන්න තරම් ශක්තියක් හැකියාවක් තමා තුළ පහළ කර ගන්නා බව. එනම් සතර සතිපට්ඨානය, සතර සම්‍යග් ප්‍රදානය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංචබල , සප්තබෝජඣංග ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මෙසේ සඳහන් කළත් ශ්‍රාවකයා විසින් තික් ඉන්ද්‍රිය නම් වූ ස්වභාවයට මනස පුරුදු කරගෙන සිටීම නිසා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ම ඒ ඒ තැන, ඒ ඒ සිතිවිල්ලෙහි මනා කොට පිහිටුවා ගැනීමට තරම් හැකියාවක් ඇති ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් බවට පත්වෙනවා.

මේ සඳහා සසර ගමනේ පටන් සම්පූර්ණ කරන ලද පාරමී ගුණ ඉවහල් වෙනවා. බෝධිසත්ව චරිතයක පාරමී ධර්ම එනම් දස පාරමී සමතිස්සක් ධර්මය හැටියට සම්පූර්ණ කළ යුත්තේ සිතෙහි මෙම දක්ෂතාවය අවබෝධය ඇති කර ගැනීම පිණිසයි. එනම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් හි අවබෝධය ඇති කර ගැනීම පිණිසයි.

එකවිට ම මම මගේ කියන දෘෂ්ඨිය බැහැර කර ගැනීමට සිත පුරුදු කිරීමට නොදන්නා වූ අය, නොහැකි අය සිටිනවා. නමුත් දාන, සීල, නෙක්ඛම්ම වශයෙන් අනුක්‍රමයෙන් පාරමී ධර්ම සම්පූර්ණ කර ගන්නා විට මගේ ය. මම වෙමි මගේ ආත්මය හෙවත් මගේ වසඟ යේ පවතින්නේ යන අදහස සියුම් ලෙස බැහැර කර ගන්නවා. මම හෝ මගේ කියා කිසිවක් නොමැති බවත් නාමරූප ධර්මයන්ගේ එකතුවක් බවත් එය සංස්කාර ලෙසින් හඳුන්වා වහා නැසෙන බවත් මේ ශ්‍රාවකයා අවබෝධ කර ගන්නවා.