Print this Article


ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය

ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය

අවරට යන හිරු අස්ථාන වන අයුරු මෙම පුදබිමේ දක්නට ඇති සුලබ දසුනකි.එලෙස හිරු අස්ථාන වීම පසු කාලීන ව ආස්ත ගිර වී අස්ගිරි වූ බවට මතයක් ද වෙයි.

අහස් කුසට එසැවී ගිය බෝධි රාජයාණන් වහන්සේ දුටු පමණින් ඇති වන ශ්‍රද්ධාව වචන වලට පෙරළිය නොහැකි තරම් ය. බඳ වටා ඇති විශ්කම්භය මෙම බෝධීන් වහන්සේගේ වයස සඟවා ඇතැ යි දකින සැදැහැවතකු ට සිතෙයි.ඊට නුදුරින් සමාධි සුවයෙන් වැඩ සිටිනා බුදු පිළිම වහන්සේ ගේ දසුනින් සිත් නිවි සැනසෙ යි.

එදවස භාවනා යෝගී භික්ෂුන් වහන්සේ උදෙසා පුද ලද කටාරම් ලෙන නිසොල්මනේ සියල්ල දරා සිටිමින් එක් ඉසව්වක ය.ඊට යාබද ව ඇති ඉපැරණි කතරගම දේවාලයේ දසුන බැතිය උපදවන සුලු ය.මේ සියල්ල මැදිව හාත්පස මවන දසුන දකින්නට නෙත් පින්කර ඇතුවායැයි සිතෙයි.

පොල් රුප්පාවෙන් මෙන්ම ඝන වනාන්තරයට මැදිව ඇති වෙල් ඉපැනැලි ද ඒ අතරින් ඉහළට එසැවුණු ගොඩනැගිලිද මේ දසුනේ චමත්කාරයන් ය.

මේ සියනෑ කෝරළයට අයත් අස්ගිරි පුරාණ ගල්ලෙන් රාජ මහා විහාර පින් බිමේ සීමා අඩවියයි.

ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ මල්වත්ත හංදිය පසුකර ඉදිරියට පැමිණ බුලත්කඩේ හංදියෙන් දකුණට හැරි දොරණගොඩ මාර්ගයේ මීටර් පන්සියයක් ගිය තැන මෙම විහාර පින් බිමට පැමිණිය හැකි ය.

දෙවනපෑතිස් රජ සමය දක්වා දිවෙන ඉතිහාසයක් මෙහි ඇති බවට සාක්ෂි සපයනුයේ කටාරම් සහිත ව ඇති ගල්ලෙන් ය.

මහින්දාගමනයත් සමඟ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයත් සමඟ සැදැහැවතුන් විසින් කටාරම් ලෙන් කරවා භික්ෂුන්ට පූජා කරනු ලැබ ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ඉතා රමණීය උස් භූමි භාගයක් පුරා විසිර ඇති අස්ගිරි රාජ මහා විහාර පින්බිමේ පහත අවට පරිසරය පුරා ඇත්තේ සශ්‍රික කුඹුරු යායන් ය.මෙහි කඳු මුදුනත සිට අවට බලන සැදැහැවතුනට අවරට යන හිරු අස්ථාන වන අයුරු දක්නට ඇති සුලඹ දසුනක්‍ ය.එලෙස හිරු අස්ථාන වීම පසු කාලීන ව ආස්ත ගිර වී අස්ගිරි වූ බවට මතයක් ද වෙයි.

විහාර පින් බිමේ ඇති පැරණි ප්‍රතිමා ගෘහය පිටුපස ඇති යෝධ නා වෘක්ෂය කාලයේ ඉපැරැණි බව මැනවින් මවා පායි.ඒ අසල ඇති සෙල්ලිපිය හෙලිකරනුයේ ද අපූරු කතාවක් ය.එහි සටහන්ව ඇති “අශ්වයකුගේ” සිතුවම නිසා අශ්ව රුව ඇති කන්ද පසුකාලීන ව අස්ගිරිය ලෙස ජනප්‍රවාදයේ සඳහන් කරුණක් බව අස්ගිරි රාජමහා විහාරාධිකාරී කරපික්කඩ ජිනරතන නා හිමියෝ පවසති.

අස්ගිරි විහාර පින් බිම කරවීම පිළිබඳ ඇත්තේ ද විවිධාකාර කතා ප්‍රවෘත්තීන් ය.කැලණි තිස්ස රජ දවස උත්තිය කුමරු මෙම විහාරය කරවූ බව එක් පුරාණෝක්තියකි.එමෙන්ම ක්‍රි.පූ 103 දී ඇතිවූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා රජරටින් මයා රටට පලා ආ වලගම්බා රජු තැනින් තැන සැඟව සිටි ස්ථාන අතර ආරක්ෂිත ව සිටින්නට අස්ගිරි කන්ද තෝරාගෙන ඇති අතර සොලීන් පරදා ජයගත් රජු මෙම ස්ථානය විහාර පින්බිමක් කරන්නට ඇතැයි මතයක් ද වෙයි.

එමෙන්ම සකල කලා වල්ලභ විසින් මෙම විහාර පින් බිම ඉදිකළේ යැයි ද තවත් මතයකි.

ඉහළට එසැවුණු ඉපැරණි චෙත්‍යය ඝන්ඨාකාර හැඩයෙන් නිමවා තිබේ.නටඹුන් ව ගිය පැරණි ස්තූපයක් මෙහි තිබී ඇති අතර, 1909 වර්ෂයේ දී එය මැදිකොට වර්තාමනයේ දක්නට ඇති චෛත්‍යය ඉදිකොට ඇති බැව් ජිනරතන නා හිමියෝ පෙන්වා දෙති.

අතීතයේ දී භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා විසින් භාවිත කරන ලද පොකුණක් ද මෙම විහාර පින් බිමේ දැක ගත හැකි ය.ලංකා සිතියමේ හැඩය ඇති එහි දැඩි නියං කල වුව ද ජලය නොසිඳෙන බව ගැමියෝ සඳහන් කරති.

ඉපැරණි චෙත්‍යය වගේම ක්‍රි.ව හතර හා පහ සියවසට අයත් ඓතිහාසික සෙල්ලිපිය ද, ඉපැරණි සිරිපතුල ද මෙහි අභිමානය මොනවට කියාපාන අතර ඉතිහාසයේ බොහෝ සාධක හෙලිකරනු ඇත.

අස්ගිරිය රාජ මහා විහාර පින්බිමේ ඇති ඓතිහාසික ඝණ්ටාර කුළුණ ද අපූරු දසුනකි. ය.භාවනා යෝගීව විසූ රහතන් වහන්සේලා උදෙසා පුද ලද කටාරම් කෙටු ගල්ලෙන මෙන් ම ඒ තුළ ඉදිව ඇති විහාර මන්දිරය මෙන්ම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද සිතට ගෙනෙනුයේ අපමණ ශාන්තියකි. ඉපැරණි සිතුවමින් නිර්මාණය වී ඇති විහාර සිතුවම් මහනුවර යුගයට අයත් ව ඇති අතර හෙළ කලා කරුවාගේ ප්‍රතිභාව මැනවින් දැක ගත හැකි ය.

අස්ගිරි රාජමහා විහාර පින් බිමේ කඳු මුදුනත ඇති අවට දසුන මනහර ය.එහි කඳු මුදුනට පිවිසීම සඳහා ගල් පඩි දෙසීයක් පමණ තරණය කළ යුතු ය.කඳු මුදුනෙහි ඇති ඓතිහාසික නටබුන් එකල ශ්‍රී විභූතියේ දක්නට ඇති නෂ්ටාවශේෂයන් ලෙස දක්නට ලැබෙන අතර විහාර පින් බිමේ වූ ගල් ලෙනක සිට පිලිකුත්තුව හා වාරණ රාජ මහා විහාර දක්වා විහිදෙන උමං මාර්ගයක් ද පැවතී ඇති බවට සාධක දක්නට හැකිය.හෙළ රජ දරුවන්ගෙන් හා රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශයෙන් පෝෂිත ඓතිහාසික අස්ගිරි පුරාණ රාජ මහා විහාර පින්බිම මෙරට ඉතිහාසය තුළ විරාජමාන ව ඇති තවත් එක් පුණ්‍යවන්ත භූමීයක් වනුයේ මේ වටිනාකම් නිසාය.