Print this Article


දෙව්ලොවට යන පාර කැපූ හැටි: මඝ මානවකගේ කතාව

දෙව්ලොවට යන පාර කැපූ හැටි

මඝ මානවකගේ කතාව

විශාලා මහනුවර මහලී නම් ලිච්ඡවි රජ කෙනෙක් සිටයා. බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳු ගේ රජසැප පිළිබඳ ව පැවසූ කරුණු ඇසු මහලී රජු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සක් දෙවිඳුන් පිළිබඳ වැඩිදුරටත් විස්තර දැන ගැනීමේ අදිටනින්, ”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සක් දෙවිඳු පිළිබඳ ඉතා පැහැදිලි ව විස්තර කරනවා. ඔබ වහන්සේට සක් දෙවිඳු හමුවෙලා තිබෙනවා ද?”

”රජතුමනි, සක් දෙවිඳු මට උපස්ථාන කිරීමට දිනපතා පැමිණෙනවා. ඔහු ගැන සියලු තොරතුරු මම දන්නවා”

” එසේනම් ස්වාමිනි, ඔබ වහන්සේ මට ඒ පින්වත් සක් දෙවිඳුන් ගැන තොරතුරු වදාළ මැනව“

”මහලී රජතුමනි, සක් දෙවිඳු පෙර ආත්මයේ මිනිස් ලොව ඉපදී සිටිය දී මඝ නමින් ප්‍රසිද්ධ ව සිටියා. බොහෝ පින් දහම් කළා. සක් දෙවිඳු වූ පසු විවිධ නම්වලින් ඔහු ප්‍රසිද්ධ වුණා. සැමට පෙර දන් දුන් නිසා ‘පුරින්ද’ නමින් ද, දෙන දේ යහපත් සිතින් දුන් නිසා ‘ශක්‍ර’ නමින් ද, නිවාස අවශ්‍ය අයට නිවාස තනා දුන් නිසා ‘වාසව‘ නමින් ද, ලොව සියලු දේ දැකිය හැකි ඇස් ඇති නිසා ‘නුවණ’ නමින් ද, ඇස් දහසක් ඇති යන අරුතින් ‘සහශ්‍රාති’ නමින් ද, සුජාතා අග මෙහෙසිය සිටි බැවින් ‘සුජම්ිපති’ නමින් ද, හඳුන්වනු ලැබුවා.

මෙසේ දෙවියන්ට නායක වී, සක් දෙවිඳු ලෙස ඉපදීමට මිනිස් ලොව දී ඔහු දිවි හිමියෙන් සමාදන් වූ වෘත හතක් තිබුණා. ඒ මව්පියන්ට උපස්ථාන කිරීම, කුල දෙටුවන් පිදීම, මිහිරි වචන කතා කිරීම, කේළමින් වැළකීම, මසුරුමළ දුරුකළ සිතින් වාසය කිරීම, සත්‍ය වචන කතා කිරීම හා මෙත් සිතින් වාසය කිරීමයි.

'ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒ පින්වතාණන් පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට මම කැමැතියි'.

එවිට භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුගේ අතීත කතාව මෙසේ වදාළ සේක.

අතීතයේ මගධ රට මච්ඡල නම් ගමක් තිබුණා. එහි මඝ නම් තරුණයෙක් වාසය කළා. මොහු ගමේ යම් වැඩක් සිදු කරනවා නම් එතැනට ගිහින් බලා සිටියා. තමා සිටින වටපිටාව අපිරිසුදු නම් ඒ ස්ථානය පිරිසදු කිරීම ඔහුගේ පුරුද්දක්. ටික දිනකින් ඒ ස්ථානය වෙනත් කෙනෙක් අයිති කර ගන්නවා. කිසිවක් නො කී මේ තරුණයා එතැතින් එහාට වෙන්න තවත් ස්ථානයක් පිරිසුදු කරනවා. පසුව දා එතැන ද තවත් අයෙක් අල්ලා ගන්නවා. නමුත් ඔහු කෝප වන්නේ නැහැ.

”මම උත්සාහයෙන් පිරිසුදු කළ සියලුම තැන් මේ අය අල්ලා ගත්තා. ඔවුන් ඒ තැන්වලට පි‍්‍රය ඇති. එනිසා මෙයින් මට පිනක් රැස් වෙනවා. ඒ නිසා මෙහෙම පිරිසුදු කරගෙන යාම දිගට ම කරගෙන යන්න ඕන” මඝ සිතුවා. ඊට පසුදා ඔහු කමතක් වගේ කොටසක් උදලු ගා උස් තැන් සම කර පිරිසුදු කර ගත්තා. එය දුටු නගරවැසියන් කොටසක් එතැන බෙදා ගත්තා. රාත්‍රි කාලයේ දී සීතල දැනුණ විට ඔහු ගිනි මැලයක් ගසා පිරිසට උණුසුම දුන්නා.

”සිත් ගන්නා ස්ථාන පිරිසුදු කිරීම මහඟු පිනක්. එනිසා පහසුවෙන් මිනිසුන්ට ගමන් කිරීමට මාර්ගයක් ඉදිකළොත් එයින් මට දෙව් ලොව යන මාවත විවර වේවි. මඝ සිතුවා. දිනපතා කැලෑ එළි කරමින් මාර්ග ඉදිකළා. මඩ වලවල් පස් දමා ගොඩ කළා. ගංගාවලට ඒදඬු දමා ගමන් කිරීම පහසු කළා.

එය දුටු ගම් වැසියන් පුදුම වුණා. “මානවකය, ඔබ මේ කුමක් කරනවා ද? මෙ තරම් වෙහෙස මහන්සි වී මෙලෙස වැඩ කරන්නේ ඇයි? මෙයින් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?

ඔහු පිළිතුරු දුන්නේ ”මිත්‍රවරුනි, මම දෙව් ලොවට යන පාර කපා ගන්නවා” යනුවෙන් පමණයි.

මඝ මානවකගේ මේ යහපත් වැඩ දුටු ගමේ තරුණයන් ද ස්වේච්ඡාවෙන් එයට එකතු වුණා. සියල්ලෝ ම උදලු, පොලු, කැති ආදිය ගෙනවිත් මිනිසුන්ට පහසුවෙන් ගමන් කළ හැකි ආකාරයට මාර්ගය සැකසුවා. අද මෙන් එදත් හොඳ දෙයට අකුල් හෙළන පිරිස් සිටියා. ඒ ගමේ ගම් ප්‍රධානියා යි. මේ මානවක කරන වැඩ දැක, අසා මහත් බියට පත් වූ ඔහු සිතනවා,

"මේ තරුණයන් නිකරුණේ කාලය කා දමනවා. දඩයම් කර හෝ මසුන් මරා හෝ රා පෙරා හෝ මුදල් උපයනවා නම් එයින් අඩක් මටත් ලැබෙනවා. නමුත් දැන් මේ මාර්ගය සුද්ද කිරීමෙන් මට මොනවාද ලැබෙන්නේ? ඒ නිසා මොවුුන්ට අවවාද කළ යුතුයි"

ඔවුුන් වෙත ගොස් "ළමයිනේ, නිකරුණේ ගම පුරා ඇවිදිමින් මේ කරන වැඩේ කුමක් ද?

”ගම්පතිතුමනි, අප දෙව් ලොව යන්නට පාරක් තනනවා".

“ළමයිනේ, ගිහි ගෙදර ඉන්නවා නම් ජීවත්වෙන්න මුදල් ඕනේ. මේ වැඩවලින් බඩ පිරෙන්නේ නැහැ. රා පෙරා හෝ, මසුන් මරා හෝ නුඹලා මුදල් ඉපයීම කරන්න. එවිට ගිහි ජීවිතය සැප සේ වසන්නට පුළුවන්” යි ගම් ප්‍රධානියා යෝජනා කළා. නමුත් තරුණයන් කිසිවෙක් එයට කන් යොමු කළේ නැහැ. ඔවුන් සුපුරුදු මංමාවත් තැනීම, පොකුණු තැනීම දිගටම කරගෙන ගියා. එයින් කිපුණු ගම් ප්‍රධානියා කෝපයට පත් ව, රජතුමා බැහැ දැක “ස්වාමිනි, ගමේ සංචාරය කරන එක් සොර මුලක් සිටිනවා. රාජ පුරුෂයන් ලවා ඔවුන් අල්ලාගනු මැන” කිව්වා. ගම් දෙටුවාගේ බස් ඇසු රජු වැඩිදුර නො සොයා මඝ මානවක ඇතුලු පිරිස අල්ලා ගත්තා. සිර භාරයට ගෙනත් කරුණු නො විමසා ගම් පාලකයාගේ වචනයට ඔවුන් ඇතුන්ලවා පාගවා මරණයට පත් කිරීමට තීරණය කළා. මේ තීරණය ඇසු මඝ මානවක තම පිරිසට මෙසේ පැවසුවා,

”මිත්‍රවරුවනි, දැන් අපට ඇත්තේ මෛත්‍රී බලයේ පිහිට පමණයි. එනිසා බියට පත් වෙන්න එපා. අසාධාරණ ව දඬුවම් නියම කළ රජුටත් , අප මෙසේ විපතට පත් කළ ගම් ප්‍රධානියාටත්, අප පාගා මැරීමට සිටින ඇතුටත් අහිතක් නො සිතා අප සම සිතින් මෛත්‍රිය, කරුණාව දක්වමු.”

එය පිළිගත් සෙසු පිරිස ද එසේම කළා. ඒ පිරිසගේ මෙත් සිත බලවත් වුණා. ගිනි මැලයක් අසලට එන මැස්සා ඉවත් වන්නේ යම් වේගයකින් ද එලෙස ඒ ඇතාද පිරිස අසලින් ඉවත් වුණා. නෙයෙක් උපක්‍රම කළ ද පිරිස පෑගීමට ඇතු සමත් වුණේ නැහැ. එනිසා රජතුªමා නැවත මඝ මානවක තමන් වෙත කැඳවූවා.

“පුරුෂය, මම මේ රට හොඳින් පාලනය කරනවා. රට වැසියාට අවශ්‍ය දේ දෙනවා. නමුත් නුඹලා මෙසේ සොරකම් කරමින් හැසිරෙන්නේ ඇයි? රජතුමා ඇසුවා.

”රජතුමනි, ඔබ වහන්සේට කවුරුන් හෝ මුසාවක් කියා තිබෙනවා. සොරකමින් වන්නේ අපායට යන මාවතට වැටීම යි. අප කරන්නේ දෙව් ලොවින් නිවන් පුරයට යන මාවත එළිපෙහෙළි කර ගැනීම යි.

සිදු වූ සියලු විස්තර ඇසු රජු සිදු වූ දේ පිළිබඳ සිත් වේදනාවට පත්ව “නුඹලාගේ ගුණය තිරිසන් සතකුට පවා වැටහුණා. නමුත් මට වැටහුණේ නැහැ. එනිසා මම නුඹලාගෙන් සමාව අයදිනවා”! කී රජු ඔවුුන්ට බොහෝ තෑගි බෝග පිරිනැමුවා. ගම් ප්‍රධානියා බොරු ප්‍රචාර කර රජු රැවටූ නිසා සිර දඩුවම් නියම කළා.

තමන් කළ පිනෙන් ලත් මහත් වූ ප්‍රතිඵලයෙන් පී‍්‍රතියට පත් මඝ ඇතුළු පිරිස වඩ වඩාත් පහන් සිතින් පින් දහම් කළා. මරණින් මතු දෙ දෙව් ලොව සක්දෙවිඳු ලෙස ඉපදුණා.