Print this Article


අටවිසි බෝධි පුරාණය 10: පාරිභෝගික චෛත්‍යය වූ බෝධීන් වහන්සේ

පාරිභෝගික චෛත්‍යය වූ බෝධීන් වහන්සේ

ඉපැරැණි පුරාණ ග්‍රන්ථ තුළ අස්සත්ථ වෘක්ෂය පිළිබඳව ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව තොරතුරු සඳහන්ව ඇත.

යම් අඥානවන්ත පුද්ගලයකු එම වෘක්ෂය විනාශ කිරීමට කටයුතු කළහොත්, එම පාපයෙන් මිදීම පිණිස, කළ හැකි කිසිම කර්මයක් සසර නොමැති බවත්, අස්සත්ථ වෘක්ෂ රාජයා විෂ්ණු මූර්තියක් ලෙස ප්‍රකට බවත්, පුරාණ ග්‍රන්ථ තුළ කරුණු සඳහන් කර ඇත. මෙම ගස බහුලව ම වැඩෙන ප්‍රදේශ වශයෙන් ආසියාවේ හිමාලයානු වනාන්තර, චීනය, පකිස්ථානය හා උතුරු තායිලන්තය අවට බෝ ශාඛයෙහි නිජබිම් වන බවත්, එය ශ්‍රී ලංකාවේ ස්වභාවිකව වැවෙන්නේ කලාතුරකින් බවත්, තවදුරටත් මේ පිළිබඳව සඳහන් වේ. විශේෂයෙන් ම අස්සත්ථ බෝධිය පිළිබඳව උද්භිත විද්‍යාත්මක කරුණු රාශියක් මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇති බවත්, ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතියෙහි සඳහන් වේ. ඒ අනුව බෝ වර්ග කිහිපය අතරින් ජ්ඪජභඵපතඪඨඪධඵච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බෝ වර්ගය පමණක් පූජනීයත්වයට පත්ව ඇති බවද පැහැදිලි වේ.

එබැවින් කවුඩු බෝ, කාක බෝ, පුලිල බෝ වැනි නම්වලින් හැඳින්වෙන වෙනත් බෝ වර්ගවලට වඩා මෙම උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වර්ගයට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇති බව උද්භිත විද්‍යාඥයෝ පවසති. ඒ අනුව අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපිත පූජනීය වර්ගයේ බෝ රුක සදාහරිත සෙවණකින් හෙවත් වදුලකින් සෝභමාන වන්නේ ය. එහි පත්‍ර සර්පිලාකාරව හැඩ ගැසී ඇත. දිගින් සෙන්ටිමීටර් 25 ක් සහ පළලින් සෙන්ටිමීටර් 15 ක් පමණ පත්‍ර රිකිල්ලට සම්බන්ධ වන්නේ සෙන්ටිමීටර් 15 ක් පමණ වන දික් වූ නටුවකිනි.

බෝ පත්‍රයේ කෙළවර සෙන්ටිමීටර් 10 ක් පමණ දිග ය. බෝ රුකට සුවිශේෂී වටිනාකමක් හිමිවීමට එකම හේතුව ආගමික අගය බවත්, උද්භිද විද්‍යාත්මක අගයක් හෝ සමාජාර්ථක අගයක් හෝ ඊට නොමැති බව මහාචාර්යතුමා පෙන්වා දී ඇත. සුවිශේෂී පූජනීය බෝ රුකට ආවේණික සුවිශේෂී ලක්ෂණ කාක බෝ වැනි වෙනත් බෝ රුක්වල දක්නට නොමැත. එම වර්ගවල බෝ රුක වසරකට වරක් කොළ හළා නව දළු ලතත්, පූජනීය වර්ගයේ බෝ රුක් සදාහරිතව පවතී. ගල් කුහර, බිත්ති පමණක් නොව, ඇතැම් ශාඛ තුළ පවා කාක බෝ වැඩෙතත්, ඉහත කී බෝ එසේ නොවැඩෙන බව ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය ග්‍රන්ථයේ තවදුරටත් සඳහන්ව ඇත. උද්භිද විද්‍යාත්මක පදනම එසේ වුවත්, පාලි භාෂාවෙන් අස්සත්ථ, සංස්කෘත භාෂාවෙන් අශ්වත්ථ සිංහලයෙන් ඇහැටු, ඇසතු යනුවෙන් හඳුන්වනු ලබන වෘක්ෂය බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට පිට දුන් නිසා බෝධි යන අර්ථය භාවිත කර ඇත.

බෝධියට පර්යාය නාමයන් දෙසියයක් පමණ තිබෙන බවත් ශ්‍රී ලංකා බෝධීන් වහන්සේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය නම්, පර්යේෂණාත්මක ග්‍රන්ථයෙහි කර්තෘ ආචාර්ය වැලිමිටියාවේ ධම්මරක්ඛිත මා හිමියෝ පවසති.

උන්වහන්සේ උප මාතෘකා හයක් යටතේ වැදගත් නාමයන් විස්තර කර ඇත.

1. සමාජානුගත ආගමික සංකල්ප

2. ඓතිහාසික හා සංස්කෘතිය

3. වෘක්ෂයේ ව්‍යුහගත ස්වරූප

4. ඖෂධීය ගුණාත්මක තත්ත්වය

5. ගරු සම්භාවනා පූර්වක

6. වෙනත් ඵල ප්‍රයෝජන

වශයෙන් අර්ධ නාමපද දෙසීයය වර්ගීකරණය කර ඇත. අස්සත්ථ බෝධිය සඳහා පරියාය නාම දෙසීයය මොහොන්දොජාරෝ හරප්පා යුගයේ සිට වෛදික යුගය දක්වාම භාවිත වූ බව සඳහන් වේ.

අර්ක වෘක්ෂ (මෙම වචනයෙන් පූජාර්හ සූර්යයා යන නම ගසට ආරෝපණය කර ඇත.) චෛත්‍යධ්‍ර, චෛත්‍ය වෘක්ෂ, දමනක, කල්ප වෘක්ෂ, කෘශ, කේසාවාස, සෝමලතා, ධර්ම වෘක්ෂ, පුණ්‍ය, සංසාර වෘක්ෂ, ධනු වෘක්ෂ, මංගල්‍ය, වෛශ්‍රවන වාස, සීමා වෘක්ෂ ආදී වශයෙන් මේ වෘක්ෂ සඳහා නම් දෙසීයය ගණනක් පවතින බව සඳහන් වේ. ඒවායෙහි අර්ථ කථන ද ඉදිරිපත් කර ඇත්තේ පර්යේෂණාත්මක වශයෙනි. බෝසතාණන් වහන්සේගේ පහළවීමටත් පෙර සිට අස්සත්ථ වෘක්ෂය පූජාර්හ වෘක්ෂයක් වශයෙන් ප්‍රචලිත ව පැවති බව සඳහන් කළ හැකි ය.

ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ ලෝකයේ පහළ වීමත් සමඟ අස්සත්ථ නාමය අහෝසි වී බෝධි යන නාමය ව්‍යවහාර වූ බව පැහැදිලි ය. විශේෂයෙන්ම “අභිධානත්ප්‍රදීපිකාව“ යන ග්‍රන්ථයෙහි “බෝධි” වචනයෙහි අර්ථ හතරක් දක්වා ඇත. එනම්, සර්වඥතාඥානය, ආර්යමාර්ගය, පැනවීම සහ ඇසතු රුක යනුවෙනි. එතැන් පටන් සියලු සත්ත්වයන් ගේ කායික මානසික සහනය පිණිස බෝධීන් වහන්සේගේ මහානුභාව සම්පන්න භාවය ජන සමාජයෙහි පැතිරෙන්නට විය.