Print this Article


දුටුගැමුණු රජතුමා - 08: 'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය '

දුටුගැමුණු රජතුමා - 08:

'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය' විහාර මහා දේවිය කුමරුට අවවාද කරයි

“පුතාට තියෙන වැඩි ආදරේ නිසයි එහෙම කරන්නේ. පර සතුරන්ගෙන් රට ජාතිය ආගම බේරා ගැනීමට පුතාට අවශ්‍ය පසුබිම සකස්කර දීමටයි එතුමා වෙහෙසෙන්නේ. පුතාගෙන් ඒ මෙහෙය ඉටුවන බව පියරජතුමා දන්නවා. ඒ නිසායි වැඩි ආරක්ෂාවක් යොදවන්නේ.”

“එහෙත් මෑණියනි මම ඒකට කැමති නැහැ. මට අවශ්‍ය නිදහසේ හැසිරෙන්නයි. ඒ නිසා මෑණියනි, මා වටේ සිටින ආරක්ෂක සෙබලුන් අයින්කර ගන්න කියලා පියාණන්ට කියන්න.”

“පුතාගෙ ගමන්වලට අපේ කිසිම තහංචියක් නැහැ. අපේ ප්‍රාදේශීය රාජ්‍ය සියල්ලේම බලය අප සතුයි. ඒ නිසා අභ්‍යන්තර අරගලයක් නැති නිසා බියක් සැකක් ඇතිකර ගත යුතු නැහැ. ආරක්ෂක සෙනෙවියකු සමඟ ඔබට අවශ්‍ය තැනකට යන්න පුළුවන්.

එළාර රජුගේ චරපුරුෂයන් මාගම් රාජධානියේත් රජ මාළිගය වටාත්, සැරිසරන බව ගැමුණු කුමරුට දැනගන්නට ලැබිණි. පිය රජුට ඒ බව සැලකර සිටිය ද ඔහු එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනුණි. ඒ නිසා ඒ පිළිබඳ ව මවගෙන් විචාළේ ය.

“මෑණියන් වහන්ස, මාගම රාජධානිය පුරා එළාරගෙ චරපුරුෂයො සැරිසරනවා. අපේ වීදිවල ඉන්න හිඟන්නො, දුගී මගී යාචකයො වැඩි පිරිසක් එළාර රජුගෙ චරපුරුෂයෝ. රහස් ඔත්තුකාරයෝ. ඔවුන් අපේ මාළිගයට යන එන අය පිළිබඳවත් විමසිල්ලෙන් සිටිනවා. පිය රජතුමාට කොතෙක් කිව්වත් මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතිලු.”

“පුතා ඒක නම් බරපතළ ආරංචියක්. ඒ ගැන ඔබ හරියට ම දන්නේ කොහොමද? විහාරමහා දේවිය පුදුමයෙන් ඇසුවා ය.”

“මෑණියනි, මම ඒ ගැන පසුව පවසන්නම්. ඊට කලින් මට විසඳා ගැනීමට ප්‍රශ්නයක් තිබෙනවා. රජරට අපේ රහස් ඔත්තු සේවයක් තිබෙනවාද? නිවැරැදි රහස් තොරතුරු අපට ලැබෙන්නේ කෙසේද?

ගැමුණු කුමාරයා උත්සාහ කරන්නේ සැක සිතුණු කරුණක් සම්බන්ධ ව නිසැකව දැන ගැනීමට බව විහාරමහා දේවියට අවබෝධ විය. රජතුමාත්, තමාත් පමණක් දන්නා රජරට රහසිගත චරපුරුෂ සේවය පිළිබඳ ගැමුණු කුමාරයාට පැවසීමට මේ හොඳම

අවස්ථාව බව ඇය සිතුවා ය.

“ඔව් පුතා, පිය රජතුමාත් මමත් පමණක් දන්නා චර පුරුෂ සේවයක් උතුරේ ක්‍රියාත්මක වෙනවා. එය සම්පූර්ණයෙන්ම භාරව සිටින්නේ දීඝාභය කුමරුයි. විජිතපුර බලකොටුවේ උප සෙනෙවි උපතිස්ස මගින් අනුරාධපුර රාජධානිය පුරා ලබා ගන්නා තොරතුරු දීඝාභය කුමරු සෑම මාසයකට වරක් ම මෙහි ගෙන එනවා. හදිසි තොරතුරු පරවියකු මගින් එවනවා.”

“මෑණියනි, දීඝාභය අයියණ්ඩිය ගේ සේවය ගැන සතුටුයි. එහෙත් එය රහසිගත ව තිබීම ඉතා වැදගත්. ඕනෑම චරපුරුෂ සේවයක් රහසිගත ව තිබූ තරමට වාසි වැඩියි. එහෙත් දැන් අපේ චර පුරුෂ සේවය පිළිබඳ එළාර රජුට ඉව වැටිලා”

“එළාර රජු ගේ චර පුරුෂ සේවය භාරව සිටින්නේ රජ රට සිංහල මහ සෙනෙවි. ඔහු අති දක්ෂයෙක්. අපේ සිංහල රහස් ඔත්තුකරුවන් ගැන ඔහුට ඉව වැටිලා’ අපේ චරපුරුෂයන් අල්ලා ගැනීමට දීඝජන්තු සේනාපති යටතේ වෙනම සේනාංකයක් යොදවලා.”

ගැමුණු කුමරුගේ මේ ප්‍රකාශයෙන් විහාර මහා දේවිය බියට පත් වූවා ය. මෙතරම් නිවැරැදි ලෙස ගැමුණු කුමරුට තොරතුරු ලැබුණේ කෙසේදැයි ඇය විමතියට පත් වූවා ය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු විමසන අටියෙන් මෙසේ පැවසුවා ය.

“අපේ චර පුරුෂ සේවය වෙනස් එකක්. රාජ්‍ය සේවය තුළ එය ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සේවකයන් වෙතින්මයි. තොරතුරු සපයන රාජ්‍ය සේවකයා තමන් ඔත්තු සපයන්නෙක් බව දන්නේ නැහැ. විජිතපුර උප සෙනෙවි උපතිස්ස තමයි රහස් ඔත්තු ජාලයේ ප්‍රධානියා. ඔහු යටතේ සිය දෙනකු පමණ සේවයේ යෙදෙනවා. උපතිස්ස දීඝජන්තු ගේ ප්‍රසාදය දිනාගත් එළාර රජු ගේ විශ්වාසය දිනාගත් තැනැත්තෙක්.”

“දීඝාභය අයියණ්ඩිය පැමිණි පසු මේ ගැන වැඩි විස්තර දැනගන්නට පුළුවන්. දැන් අනුරාධපුරයේ අහිංසක සිංහල මිනිසුන් චරපුරුෂයන් යැයි සැක සිතලා වධ හිංසා පමුණුවන්න පටන් අරන්ලු.”

“මෑණියනි, මෙහි තිබෙන එළාරගේ චරපුරුෂ සේවය උපතිස්ස ගේ චරපුරුෂ සේවයට වඩා හාත්පසින් ම වෙනස්. ඊට වඩා ප්‍රබලයි. පුළුල්. වේගයෙන් රහස් තොරතුරු හුවමාරු වෙනවා. ඒ තොරතුරු ඉක්මනින් එළාර රජුට දන්වනවා. ඒ පිළිබඳ සැක ඇති නොවීම සඳහා දුගී මගී යාචක වෙස් ගෙන සාර්ථකව ඉටු කරනවා. ඔවුන් ලැගුම් ගන්නා ස්ථාන රැසක් තිබෙනවා. තිසා වැවේ කෙළවර, තිස්සමහාරාමය අසල යාචකයන්, අහුකුණ්ටිකයින් ලෙස අතුපැල් සාදාගෙනයි ඉන්නේ.

ඒ නිසා කවුරුවත් සැක කරන්නේ නැහැ. ඔවුන් රට පුරා ඇවිදිමින් විස්තර එකතු කරනවා.”

‘පුතා මේ තොරතුරු නන්දිමිත්‍ර මහ සෙනෙවි දන්නවාද? පිය රජතුමා දන්නවාද? “නැහැ. පියරජතුමා දන්නේ නැහැ. මේ තොරතුරු දැනට දන්නේ මාත් වේළුසුමනත් පමණයි. ඔහු දැනටමත් සැක සහිතව සෑහෙන පිරිසක් පන්නා දමලා. තවත් පිරිසක් බය වී පලා ගොස් තිබෙනවා. මේ අයගේ නායකයන් අල්ලා ළඟදීම පියාණන්ට තොරතුරු සපයාවි.”

“මෑණියනි, මේ තත්ත්වය අප තවත් බලා සිටීම සුදුසු නැහැ. ඉතා ඉක්මණින් රජරටට පහර දී බලය අත්පත් කරගත යුතුයි. මම රජ සිහසුනේ සිටියා නම් මේ වන විට ඒ දේ කරලා ඉවරයි.” ගැමුණු කුමාරයා නොඉවසිල්ලෙන් කතා කළේ ය.

“එපා, එපා, පුතා ඉක්මන් වෙන්න එපා පුතා. පියරජතුමා නිතරම පවසන “ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය” කියන පිරුළ මතක් කරගන්න. මේ දිවයින එක්සේසත් කරන්නට, බුද්ධ ශාසනය දියුණු කරන්නට පුතාට පුළුවන් බව පිය රජතුමා පිළිගන්නවා. විශ්වාස කරනවා. එතැනට යාමට අවශ්‍ය කරුණු සලසා දීමට පිය රජතුමා ගෙන යන වැඩ පිළිවෙල පුතා තේරුම් අරගෙන නැහැ. දැන් ජයග්‍රාහී සටනකට අවශ්‍ය පසුබිම සූදානම් කරලයි තියෙන්නේ. සියලු සේනාංකවලට වසර ගණනාවකට අවශ්‍ය ආහාර පාන එක්රැස් කර තිබෙනවා. ඔබ දන්නවාද රුහුණ ම ධාන්‍යාගාරයක් කිරීමේ සිහිනය දැන් සැබෑ වෙලා.”

“කණගම, චන්දනගම, සේරු නුවර, ගිරිරට ප්‍රාදේශීය රාජ්‍ය පියරජතුමා ගේ පාලනය යටතේ පවතින්නේ. ඒ නිසා රජරට මුදාගැනීමේ සටනට ඔවුන්ගේ සහායත් ලැබේවි. අපේ සහායට එවීමට කැලණිය දැනටමත් විසිදාහක සේනාංකයක් සූදානම් කරලයි තිබෙන්නේ. මේ මොහොතේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පුතාගේ ඉල්ලීමට ඉඩ ලැබේවි. ඉවසීමෙන් ඉන්න. පුතා දැන් මාළිගයට යන්න. පුතාගේ චිත්‍රාගාරයට නැතිනම් යහන් ගබඩාවට යන්න.”

ගැමුණු කුමාරයා ගේ සිතිවිලි ගැන විහාරමහා දේවිය සතුටට පත් වූවා ය. කුමාරයා ගේ විචක්ෂණ භාවය, ඉදිරිපත්වීම, යුද්ධ කාර්යයෙහි ප්‍රවීණත්වය, පෞරුෂය, රට ජාතිය, ආගම පිළිබඳ දක්වන ආකල්ප ගැන ඇය ඉමහත් සතුටට පත් වූවා ය.

කෘතහස්ත පාලකයකු වූ එළාර රජු සමඟ යුද වැදීමට නම් ඊට හැම අතින්ම සූදානම් විය යුතු බව විහාරමහා දේවිය දැන සිටියා ය. ඒ සඳහා කාවන්තිස්ස රජු පියවරෙන් පියවර සූදානම් වූයේ යම්කිසි දිනක තම පුත් ගැමුණු කුමාරයා තමන්ගේ ද බලාපොරොත්තුව වූ ඒකීය ලංකාවක් බිහි කරන බව දැන සිටි නිසා ය. සූදානමක් නැතිව යුද වැදීම අනුවණකමක් බව එතුමා දැන සිටියේ ය. ගැමුණු කුමරු එළාර රජු සමඟ සටනට යාමට සූදානම් වූ අවස්ථාවේ කාවන්තිස්ස රජු එය වළක්වා ඇත්තේ දෙමළ සේනාව ඉතා බලවත් යැයි සිතා හා පුත් කුමරුන් නැසී යතැයි සිතා සෝකයෙනි. ‘එම්බා අපට මහවැලි ගඟින් මෙතෙර පමණ ය. දෙමළුන් හා යුද්ධයෙන් ප්‍රයෝජන කිම ‘දැයි වැළකූ අන්දම සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.

- අයන්ති විතාන