Print this Article


නෙතට කඳුළක් ගෙනෙන යශෝධරා දේවියගේ ප්‍රාර්ථනාව

නෙතට කඳුළක් ගෙනෙන යශෝධරා දේවියගේ ප්‍රාර්ථනාව

" රත්‍රන් හා රසදිය එක් වෙන මෙන් සිය ස්වාමියා සමඟ යහපත් ලෙස ජීවත් වීමත්, කිසිම විටක යටැසින්වත් රවා නොබැලීමත් යහපත් කාන්තා චරිත ලක්ෂණයක් බව කවියා අවධාරණය කරයි."

පතිව්‍රතා ධර්මයෙන් පරමාදර්ශී චරිතය ලෙස යශෝධරා දේවියට බෞද්ධ සාහිත්‍යයේ හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව්තුරා බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් හතළිස් තුන් වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින ගිජ්ජකූඨ පර්වතයෙහි එක්තරා පර්වත ප්‍රාන්තයක පිහිටි ගල් ලෙනක වැඩ වාසය කරති. එහි දී බුදුන් වහන්සේ සුමධුර ධර්ම දේශනයක් වදාළහ.

එම ධර්ම දේශනා ශ්‍රවණය කළ සිව්වනක් පිරිස අතර යශෝධරා මෙහෙණින් වහන්සේ ද වැඩ සිටියහ. ධර්ම දේශනාව කෙළවර යශෝධරා මෙහෙණින් වහන්සේට ස්වකීය ආරාමය වෙත වැඩම කිරීමෙන් අනතුරුව මෙබඳු සිතිවිල්ලක් පහළ විය. මම බුදුන් වහන්සේ සමඟ එකම දිනක උපත ලද්දේ වෙමි. මහණ දම් පුරා නිවන් මඟ ද පසක් කළ මම බුදුන් වහන්සේ සමඟ සම වයස් ඇත්තේ වෙමි. කෙසේ වෙතත් මම බුදුන් වහන්සේට පෙර පිරිනිවන් පෑ යුතු ය. එසේ කල්පනා ඇති වීමට හේතු වන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑම මාගේ දෑස්වලින් දැකීම එතරම් යහපත් නො වන බැවින් බුදුන් වහන්සේට පෙර මා පිරිනිවන්පාන බව යශෝධරා රහත් මෙහෙණින් වහන්සේට අවබෝධ වූහ.

මෙම පරමෝත්කෘෂ්ට චරිතාපදානය පිළිබඳ නුවර යුගයේ ජන කවියකු විසින් යශෝධරාවත නම් එළිසම කාව්‍යක් රචනා කොට ඇත. පොදු ජනතාවගේ මන කොඳ පුබුදු කළ කෘතියක් වන මෙය ආධුනිකයින්ගේ මෙන් ම වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත. මෙම ජන කවියා යශෝධරා නම් වූ උත්තම ගණයේ කාන්තා චරිතය මුල්කොට ගෙන ලෝකයේ ගමන් මඟ සාධු සම්මත මාවතකට යොමු කරවීමට ඉවහල් වන පතිව්‍රතා ධර්මතාව මහ ඉහළින් වර්ණනා කරයි. පතිව්‍රතා ධර්මතාවය ලිහිල් වී යාම මුළු මහත් සමාජ සන්දර්භය බිඳ වැටීමට හේතු වන බව ප්‍රකාශ කිරීම යශෝධරාවත නම් කෘතියෙහි යටින් දිවෙන අර්ථයයි.

මෙම පද්‍ය ග්‍රන්ථය කාගෙත් සිත් ගත් පද්‍යයක් වන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙය හැර ගිය විට යශෝධරාව සිය කුටියේ සිට කළ ප්‍රාර්ථනා කවියයි.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු ලෙස පිරිවර වැඩිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

වනයේ තපස් රකින ස්වකීය ස්වාමියාට සියතින් උපස්ථාන කිරීමට දැන් හැකියාවක් නොමැත. එම නිසා කැලේ තිබෙන ආහාරයට ගත හැකි සෑම දෙයක් ම මගේ ස්වාමියාට ආහාර බවටත්, මලක් වටා එක්රොක් වන බඹරු මෙන් පරිවාර සේනා සම්පත්තිය ද වෙහෙස දුරු වන ලෙසත් හිරු රැස් මඟින් ඇති වන පීඩා නැති වෙන ලෙසත් ගව්වක් ගව්වක් පාසා සරතැස නිවාලන දිව්‍ය මාලිගා සෑදෙන ලෙසත් යශෝධරා දේවිය සිය කුටියේ සිට කළ ප්‍රාර්ථනාව කාගේ නම් නෙත්වලට කඳුළක් නොගෙනෙන්නේ ද?

ස්වාමියා පිළිබඳ හද පතුලෙහි පැන නගින අසීමිත ස්වාමි භක්තිය මෙම ජන කවියා පොහොසත් කවි බසක් උපයෝගී කොට ගෙන ඉදිරිපත් කිරීම අතිශයින් ම ප්‍රසාද ජනක ය.

සෑම වරද තිබුණත් හිමියනේ මට
කෑම රස බොජුන් දුන්නෙමි සොඳ රුවට
බෝම එපිට වඩිනා හිමය පසු කොට
සෑම සියලූ දෙවියෝ පිහිටයි ඔබට

කියන මැසිවිල්ල හිමි හට නො ඇසෙනවා
රන් කඳ මහිමි මට හීනෙන් නො පෙනෙනවා
කම් රස වි¼දීමක් නැත මම දිවුරනවා
වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා

මෙහි දී යශෝධරා දේවිය බෝධිසත්වයන් වහන්සේගෙන් වෙන් වූ දා පටන් සියලු කම් සැප අත හැර සිය ස්වාමියා පිළිබඳ අසීමිත සෙනෙහසකින් කල් යවන අයුරු යශෝධරාවත කවියා මැනවින් නිරූපණය කොට ඇත. ඇය ද භවනානුයෝගී ජීවිතයකට හුරුපුරුදු වී සිය මාළිගාවේ කල් ගෙවන්නේ තම ස්වාමියා ද වනයට වී එවැනි ජීවන පිළිවෙතක් අනුගමනය කරන හෙයිනි.

මෙම කෘතියෙහි අවවාදාත්මක සදූපදේශයන් සහෘද පාඨකයන්ට සම්පාදනය කරනු ලබන්නේ ග්‍රන්ථාවසානයේ එන පද්‍යවලිනි. එම කවි පෙළ මෙම යශෝධරාවත කාව්‍යයෙන් පැන නගින සමුදයාර්ථයයි.

අසමින මේ දහම් අඟනෝ ගෙන සිතට
යටැසින රවා වත් නො බලා තම හිමිට
වසමින රන් රසසෙ එකඟින් අදර කොට
උපදිනු යසෝදර බිසවුන් ලෙස සොඳට

හිමිට ඇති පහසු අපහසු නො බල මිනී
අපට මෙ නම් දෙය දෙය ගෙනව කිය මිනී
සිතට දුක් දෙවන බස් කිසි නො කිය මිනී
සොඳට සිටිනු මැන සිය හිමි වෙත පෙමිනී

දුකක් වන් කලට අත මිට හිඟ වෙමින
සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙන
ඇදක් නොව කතුනි හිමි සැලකුවෝතින
කිමෙක මොක් දකිනු බැරි යශෝධරා මෙන

රැක පතිදම් යශෝධර බිසවුන් ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙසට
එක හිමි පතා සිටියොත් ළඳුනි බැති කොට
සැක නැත සගපවග මතු වර ලැබෙනවට

ඉන්නිසා ලියනි හිමි හට යටහතින
දොම්නසා නොවී ලෙඩ දුකෙහි සතතින
අන් දෙසා නොලා සිතූ යශෝධරා මෙන
පින්රැසා කරව් සග මොක් ලබන මෙන

රත්‍රන් හා රසදිය එක් වෙන මෙන් සිය ස්වාමියා සමඟ යහපත් ලෙස ජීවත් වීමත්, කිසිම විටක යටැසින්වත් රවා නොබැලීමත් යහපත් කාන්තා චරිත ලක්ෂණයක් බව කවියා අවධාරණය කරයි. සිත කය වචනය යහපත් ලෙස ආරක්ෂා කරමින් දුක සැප දෙක ගතින් සිතින් දරාගෙන ස්වාමියා කෙරෙහි සෙනෙහසින් කටයුතු කිරීම ස්වර්ගමෝක්ෂ සම්පත් පවා ලැබීමට මහෝපකාරී වන බව කවියා නොකියන්නේ ද? එසේ ම ලෞකික ජීවිතය වුව ද සුන්දර විහරණයකින් ගත කළ හැක්කේ ස්වාමියා සහ බිරිඳ අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසය හා එකිනෙකා අතර පවතින අසීමිත ආදරණීය හැඟීම් නිසා බව කවියා ස්වකීය සමාජය වෙත ලබා දෙන සමුදයාර්ථය යි.