Print this Article


අති පූජනීය වූත් වන්දනීය වූත් උත්තරීතර පැවිදි දිවිය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි අනු නා හිමිපාණන් වහන්සේ ය

අති පූජනීය වූත් වන්දනීය වූත් උත්තරීතර පැවිදි දිවිය

අපේ හාමුදුරුවනේ .ජාතික ආගමික ශාසනික මෙහෙවරක යෙදී සිටින ශාසනබලධාරි ස්වාමින් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන ඔබ වහන්සේ එම නායකත්වය ගොඩනඟා ගැනීම සඳහා ආභාසය ලබා ගත්තේ කුමන ආකාරයෙන් ද?

පැවිදි ජීවිතයට ඇතුළත් වුණු කාලවකවානුව තුළ වැඩ සිටි වයෝවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ නායක මා හිමිපාණන් වහන්සේලා තුළ පැවැති ශාසනික වත් පිළිවෙත්, දිනචර්යාව ඉතාම විශිෂ්ටයි. ධර්මධර, විනයධර, බහුශ්‍රැත පණ්ඩිත ස්වාමීන් වහන්සේලා විසින් පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලබාදුන් අවබෝධය වගේම, සැමවිටම උදාර ඇවතුම් පැවතුම් සහිත ව විනයානුකූල ව කටයුතු කළ නායක මාහිමිපාණන් වහන්සේලාගේ ආදර්ශවත් පැවිදි ජීවිතය ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා සමඟ ප්‍රායෝගික ව ශාසනික කටයුතුවල නියැළීම තුළින් වගකීම් සහගත ශාසන බලධාරි භික්ෂු ජීවිතයකට මනා පිටුවහලක් ලැබූ බව සිහිපත් කළ යුතුයි. භික්ෂුව යනු කවරෙක් ද? භික්ෂුවගේ කාර්යභාරය විය යුත්තේ කුමක් ද? යනුවෙන් සාමණේර අවධියෙහි සිටම අවබෝධ කරගෙන කටයුතු කළ නිසාම ශාසනික නායකත්වය ලබාදීමට පසුබිම සකස්වූ බව මගේ අදහසයි. භික්ෂුවගේ කාර්යභාරය මිනිසාගේ සංසාර දුකට පිහිටවීම පමණක් නොව, ඔවුන්ගේ සන්තානගත දුකටත් පිහිට වීමයි.

හීන දීන සමාජයක භික්ෂු සමාජය සිංහ සමාජයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණ සමුදාය නිසයි. විශේෂයෙන් භික්ෂුව ජාතියේ මුරදේවතාවන් වහන්සේලා වන බැවින්, පැවිදිවීමේ මුලික අරමුණ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන අතර තුරම, සිංහල බෞද්ධ සමාජයට භික්ෂුව නායකත්වය ලබාදිය යුතුයි. බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ වාරියපොල ශී‍්‍ර සුමංගල මාහිමිපාණන් වහන්සේගේ පිළිරුව දළදා මැදුර අභියස ගොඩනඟමින් උන්වහන්සේට උපහාර දක්වනු ලබන්නේ උන්වහන්සේ ජාතියට නායකත්වය ලබා දුන් නිසයි. වාරියපොල සුමංගල නායක හිමිපාණන් වහන්සේලා වැනි ආදර්ශවත් ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ ගමන් මග අනුගමනය කිරීම තුළින් සැම විටම මේ රටත්, ජාතියත් සුරක්ෂිත කරන්නට, ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට වගකීම, යුතුකම වගේම හැඟීමක් ඇතිවෙලා තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. භික්ෂුව යනු පක්ෂපාතී ලෝකයක අපක්ෂපාතී පුද්ගලයකු විය යුතුයි. අතීත ,වර්තමාන, අනාගත තුන් කල්හිම භික්ෂුව පක්ෂ දේශපාලනයක නොසිටීමේ ස්ථාවරය ආරක්ෂා කර ගත යුතුයි.

අනුනායක ස්වාමීන් වහන්සේගේ අතීත අද්දැකීම් අනුව නූතන භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ආකල්ප පිළිබඳව දරන මතය කුමක්ද?

පනස් වසරක් වන මගේ පැවිදි ජීවිතය තුළ ලබාගත් අද්දැකීම් අනුව එවකට පැවැති ශාසනික භික්ෂු සමාජයට ඇතුළත් වීමට පෙර ගිහියකු වශයෙන් විහාරස්ථාන

වත්පිළිවෙත්හි යෙදෙමින් බණ දහම් පුරුදු පුහුණුූ වෙමින් දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ලබාගත් පුහුණුව හා අවබෝධය සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ගත කළ අවධිය සාර්ථකව ගොඩනඟා ගැනීමට මනා පිටුවහලක් වූ බව සිහිපත් කළ යුතුයි. පැරැණි කාලය තුළ පැවැති එම ක්‍රමවේදයෙන් දුරස්වීම ඇතැම්විට වර්තමාන ශාසනික භික්ෂු සමාජයට අහිතකර ලෙස බලපාන අවස්ථා දකින්න පුළුවන්.

ඇතැම් විට විහාරස්ථානයට පැමිණෙන ළමයකු සති දෙක තුනක කාලසීමාවකට යටත්ව පැවිදි ජීවිතයට ඇතුළත් වීම නිසා, පැවිදිවීමට පෙර විහාරස්ථානය තුළ පුරුදු පුහුණුවිය යුතු කාලසීමාව අඩුවීමෙන් යම් යම් අපහසුතා ඇතිවිය හැකියි.

විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් සමාජය තුළ වගකීම් සහගත ව හැසිරිය යුත්තේ අපේක්ෂා දෙකක් පදනම් කරගෙනයි. එනම්, අපහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණූ පුද්ගලයාගේ පැහැදීම තවදුරටත් වර්ධනය වන ආකාරයටත් ය. එම ස්වභාවය කුඩා හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ අවධිය තුළම අවබෝධ කරගත් නිසාම ආදර්ශවත් භික්ෂු ජීවිතයක් ගත කිරීමට හැකිවුණ බව ප්‍රකාශ කළ යුතුයි. පැවිදි ජීවිතයට ඇතුළත් වු මුල් අවධියේ දී ම භික්ෂු ආකල්ප වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ශාසනික පැවැත්මට ඉතාම වැදගත්.

භික්ෂුන් වහන්සේ නමකට පැවරෙන කාර්යභාරයන් අතර, පැවිදි වීමේ පරමාර්ථය වූ අධ්‍යාත්මය දියුණු කරගැනීම, ශාසනික කාර්යභාරය, හා සමාජිය කාර්යභාරය යන කාරණා තුනම මැනවින් ඉෂ්ට කර ගැනීම තුළ සාර්ථක භික්ෂු ජීවිතයක් ගොඩනඟා ගත හැකියි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පැවරෙන කාර්යභාරය පිළිබඳව සිඟාලෝවාද සුත්‍රය තුළ දේශනා කොට වදාළ බවත් සිහිපත් කළ යුතුයි. සිව් පසයෙන් භික්ෂූන් වහන්සේ වෙත උපස්ථාන කරන ගිහියාවෙත ප්‍රත්‍යඋපාකර වශයෙන් කරුණු හයකින් සංග්‍රහ කළ යුතු බව බුද්ධ දේශනාවෙහි සඳහන්. සංසාර ගමනේ අතරමං වෙමින් අසරණ ව සිටින සියලු සත්ත්වයෝ දුකින් මුදවාගෙන නිවන කරා යොමු කිරීම භික්ෂුවට පැවරෙන මූලික කාර්යභාරය ඉෂ්ට කිරීමට පෙර “භික්ෂුව“ කෙබඳු තැනැත්තකු ද යන්න පිළිබඳව වගකීම් සහගත ආකාරයෙන් සාමණේර අවධිය තුළම දැනුවත් ව පුරුදු පුහුණු විය යුතුයි. බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව වැනි ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඒ පිළිබඳ අවබෝධ කරගත හැකියි.

පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා

මුදුණත් බැඳ නමදිමි බැතිපෙමිනා

යනුවෙන් සඳහන් වන පරිදි මහජනතාවගේ වන්දනාවට පාත්‍රවෙමින් නොමද ගෞරවයට භාජනය වන්නේ භික්ෂූන් වහන්සේලා සතුව පවතින අප්‍රමාණ ගුණ සමුදාය තුළ ප්‍රතිපත්ති ගරුක ව කටයුතු කිරීමෙන් පමණක් බව සිහිපත් කළ යුතුයි.

සාමණේර අවධිය තුළ සිටම නිතරම පොත පත පරිශීලනයෙන් පවා “භික්ෂුව“ කවරෙක්ද යන්න දැන හඳුනාගෙන භික්ෂු ආකල්ප වර්ධනය කරගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට පෙළඹීම නිසා පැවිදි ජීවිතය මේ ආකාරයෙන් සාර්ථකව ගොඩනඟා ගැනීමට හැකිවූ බව මගේ අදහසයි. වර්තමාන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නිතර පොතපත පරිශීලනය කරමින් තවදුරටත් භික්ෂු ආකල්ප වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඇතැම් ගිහි පැවිදි පිරිස් විවිධාකාරයෙන් ධර්මය විකෘති කරන බවට නූතන සමාජය තුළ කතාබහක් ඇතිවෙලා තිබෙනවා. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ වශයෙන් ඒ පිළිබඳව ඔබ වහන්සේ දරන මතය පැහැදලි කරනවා නම්,

ධර්ම දේශනාවක දී ධර්ම දේශකයාණන් වහන්සේ නමක් අනුගමනය කළ යුතු “දහම් මග”පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළ බව ප්‍රකාශ කළ යුතුයි.

ප්‍රබුද්ධ වූ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ශ්‍රාවකයා ප්‍රබුද්ධ කිරීමට ධර්මය දේශනා කළ යුතුයි. දමනය වූ සිතක් ඇති භික්ෂුව ජනතාව සංවර කිරීම සඳහා ධර්මය දේශනා කළ යුතුයි. නිවුනා වූ භික්ෂුව ශ්‍රාවකයාගේ සිත නිවීම පිණිස ධර්මය දේශනා කළ යුතුයි. පැරැණි යතිවරයාණන් වහන්සේලා ධර්ම දේශනාවකදී බුදුරජාණන් වහන්සේ භික්ෂුවට අනුදැන වදාළ ධර්ම දේශනා විලාසය අනුගමනය කළා.

වර්තමානය තුළ ධර්මධර සහ ධර්මකථික වශයෙන් පැති දෙකක් පිළිබඳව කතා කළ යුතු යි. අටුවා, ටීක, ටිප්පනි සියල්ලම පරිශීලනය කරන ගැඹුරු ධර්ම ඤාණයක් පැවැතියත්, උන්වහන්සේට ඇතැම්විට ධර්ම කථිකත්වයක් නොතිබෙන්න පුළුවන්. වර්තමාන සමාජය බලාපොරොත්තුවන්නේ ගැඹුරු දහම් කරුණු අවබෝධයට වඩා කථිකත්වයයි.

හස්තවිකාර, මුඛවිකාර දක්වමින්, ජනතාව හාස්‍යයට පත්කරන ආකාරයේ දේශනාවන් ඇතැම්විට ඇතැම් අවස්ථාවල තිබෙන්න පුළුවන්. ඒ සඳහා පැවැත්මක් නැහැ. කෙසේ වෙතත්, නියම ධර්මධර, විනයධර, භික්ෂූන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන අවස්ථාවක දී ධර්මදේශනාව ආරම්භයේ සිට දේශනාව නිමාවට පත්වන තෙක් ධර්මාසනය තුළින් සෙළවීමක් හෝ නොතිබිය යුතුයි. නියම ධර්ම දේශකයාණන් වහන්සේ නමකගේ ඉරියව් එසේ විය යුතුයි. ලෝකය කෙතරම් වෙනස් වුවත්, භික්ෂුව ජීවත්විය යුතු රාමුව හා පරමාර්ථය අමතක කරමින් ගමන් කළ නොහැකියි. මිනිසාගේ අධ්‍යාත්මය ගොඩනගන්නේ නොමැතිව පන්සල් ගොඩනැඟුවාට ඇති පලක් නැහැ. විහාරස්ථාන ගොඩ නැඟෙන්නා සේ ම මිනිසාගේ අධ්‍යාත්මය ද ගොඩනැඟිය යුතුයි.

සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් ජනතාව ඉල්ලමින් පසු පස හඹා ගිය ජනපි‍්‍රයරැල්ල මේ වන විට බොහෝ දුරට පහව ගොස් තිබෙන ස්වරූපයක් දකින්න පුළුවන්. යක්කඩුවේ ප්‍රඥාසාර හිමි කොටගමුවේ වාචිස්සර හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, රත්දැල්ලේ පඤ්ඤාලෝක හිමි, පිටකෝට්ටේ සෝමානන්ද හිමි, වජිරාරාමයේ නාරද හිමි, ආදී පැරැණි යතිවරයාණන් වහන්සේලාගේ පටිගත කළ ධර්ම දේශනා සඳහා වර්තමානය වන විට වැඩි ඉල්ලුමක් ඇතිවෙමින් පවතින බවත් ප්‍රකාශ කළ යුතුයි.