මව්පියන්ට ඇති මහා ණය බර
ගෙවා දමන්නේ කොහොමද?
අමෙරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ක්ලාරා නුවර බුද්ධි විහාරයේ
රාජකීය
පණ්ඩිත
කොටපොල චන්දිම හිමි
" ස්වාමීනි, දූ දරු සෙනෙහස ඇඟ සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස්
සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳිමින් ඇට කරා යයි. ඇටද ඉක්මවා පුත් පෙම ඇට
මිඳුළු කරා පැමිණ රඳන්නේ ය."
ලෝක ප්‍රකට බටහිර ධර්ම ප්‍රචාරක භික්ෂූන් වහන්සේ නමක් වන ඕස්ට්‍රේලියාවේ බෝධි ඥාන
ආරණ්‍ය සේනාසනාධිපති අජාන් බ්‍රහ්මවංස හිමියෝ තරුණ කල බුදු දහම කියවා, පැහැදී,
බෞද්ධ භික්ෂුවක් වීමට තීරණය කොට ඒ සඳහා තායිලන්තයේ වැඩ විසූ අජාන් චා මහ තෙරිඳුන්
වෙත යාමට මව්පිය අවසර අයැද සිටියේ ය.
මව්පිය දෙපළ මුලින් පසුබට වී නමුත්, සිය පුතණුවන්හට ඒ සඳහා අවසර දුන්හ. සමුගන්නා
දිනයේ එනම්, පුතණුවන් තායිලන්තය බලා පියාසර කරන දිනයේ මව්පියෝ ඔවුන්ගේ කුලී නිවසෙහි
දොරකඩ අසලට අවුත් පුතුට මෙසේ කීහ.
“පුතා , ඔයා කොහේ ගියත්, කවුරු වුණත් මේ ගෙදර දොර හැමදාම ඇරලා තියෙන්නේ”.
එය සවන්පත් වනම, පුතණුවන්ගේ දෑසෙහි කඳුළු නැඟිණි. සැබැවින් ම ඔවුන් පැවසූයේ කුමක්
ද? ඔවුන් අදහස් කළේ ඒ අයගේ තාවකාලික කුලී නිවස ගැන නොවේ. සදාකාලික ව නො සෙල්වී
පවතින මව්පිය ආදරය නමැති නිවස ගැන ය.
සුද්ධෝදන රජු වරක් භාග්‍යවතුන් වහන්සේ අභිමුව මෙසේ ඒ ආදරය කෙබඳුදැයි විස්තර කළේ ය.
“ස්වාමීනි, දූ දරු සෙනෙහස ඇඟ සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳයි.
මස් සිඳ නහර සිඳියි. නහර සිඳිමින් ඇට කරා යයි. ඇටද ඉක්මවා පුත් පෙම ඇට මිඳුළු කරා
පැමිණ රඳන්නේ ය”
ලොව බොහෝ දෙන ඔබට ආදෙර්යැයි පවසනු ඇත. බුදුරජාණන් වහන්සේ හෝ පසේ බුදු, මහරහතුන්
වහන්සේලාගේ විශ්වීය ආදරයට මෙ පිටින් කොන්දේසි විරහිත ආදරයක් ඔබට මෙලොව ලැබෙන්නේ
මව්පියන් වෙතින් පමණක් ම ය. ඉතුරු සියලු ආදර සබඳතා ඔවුන්ගේ කොන්දේසි ඉටු නොවන කල
පෑල දොරින් පලායනු ඇත.
මව්පියෝ වනාහි නිවසෙහි වෙසෙන්නා වූ මහා බ්‍රහ්මයන් වෙති. බ්‍රහ්මයන්ට පමණක් ඇතැයි
සැලකෙන මෙත්තා, කරුණා , මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණ දූ දරුවන් කෙරෙහි
මව්පියහු අප්‍රමාණ ව පතුරවති. යා නොහෙන ඉතා දුෂ්කර දුර්වල ඔවුහු දරුවන් වෙනුවෙන්
යති. කිරීමට ඉතා අපහසු දේ කරති. බොහෝ කල් බලා හිඳිති. ජීවිතය පවා පුද දෙති.
වරක් මෙම සෑන්ජෝස් (ඉචද බ්ධඵඥ) ප්‍රදේශයේ මවක් සිය දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වූවා
ය. යම් සෞඛ්‍ය තත්ත්වයක් මත දරුවා බිහි කළහොත් ඇය මරණයට පත්වන බව වෛද්‍යවරු ඇයට
දැනුම් දුන්හ. ඇය දෙ වරක් නොසිතා, අපමණ මාතෘ ස්නේහයෙන් දරුවා බිහි කිරීමට තීරණය කළා
ය. ඉතා අපහසුවෙන් දරුවා බිහිකළ ඇය, සිය කුඩා බිළිඳාගේ හිස මත හාදුවක් තබා මරු වැළඳ
ගත්තා ය. ලොව එබඳු කෙ තරම් මව්වරුන් ගනණක් දරුවන් වෙනුවෙන් මිය යත් ද?
බුදුරජාණන් වහන්සේ සුප්පතිකාර සුත්‍රයේ දී මෙසේ වදාළහ.
“මහණෙනි, මව්පියන් දරුවන්ට කරන කැපකිරීම් අපමණ ය. ඔවුහු දරුවන් ලොවට බිහිකරති. රැක
බලා ගති. ලෝකය දක්වති. යහපත් කල්‍යාණ මිත්‍ර මව්පියෝ දරුවන් අයහපතින්, අකුසලයෙන්
මුදවති. යහපතෙහි, කුසලයෙහි පිහිටුවති. හැකි උපරිම අධ්‍යාපනයක් ලබාදෙති. නිසි කලට
විවාහ කරදෙති. හැකි පමණින් දායාද පවරති. ඔවුන්ගේ ආභාෂය ඕනෑම පුද්ගලයකුගේ උපතේ සිට
මරණ මොහොත දක්වා ම ඔහු හෝ ඇය කෙ තරම් ඉහළට ගිය ද, පසුපසින් එන සෙවනැල්ලක් සේ
බලපවත්නේ ම ය. මනෝ විද්‍යාවට අනුව, ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී දරුවන් බොහෝ දුරට
අනුගමනය කරන්නේ තම මව්පියන්ගෙන් පියවරයන්ම ය.
ජීවිතය තුළ සිය දරුවා කවරකු වුවද මව්පියෝ ඔහු හෝ ඇයව ආදරයෙන් පිළිගනිති. මා පිය
ගුණයට උපමා කිරීමට ලොව කිසිවක් ප්‍රමාණවත් නොවේ. පියකුගේ ශ්‍රේෂ්ඨත්වය ගිරිකුල්
පරදන අතර. මවකගේ ශ්‍රේෂ්ඨත්වය සමුදුරු පතුල් පරයන බව“ ජපන් ජාතිකයන් කියමනට කියනුයේ
මේ කරුණු නිසා ම ය.
එහෙයින්, කළගුණ දන්නා, නුවණැති, දැහැමි දරුවෝ සිය මව්පිය ගුණ දනිමින් ඔවුන්හට ගෞරව
කරති. බුහුමන් කරති. ආහාරපාන, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බේත්හේත්, ආදිය ඇවැසි
පරිදි සපයමින් උපකාර කරති. රෝගි බවින් යුතු කාලයේදී උවටැන් කරති.
භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ වදාළහ.
“මහණෙනි, ලොව දෙන්නන් අතරින් මව්පියන්ට දී ඔවුනට ඇති ණය අවසන් කළ නොහැකි ය. දරුවකු
මව්පිය දෙදෙන උර මත සියවසක් තබාගෙන එහිම කවා, නහවා, සතප්පවාලූව ද, මව්පියන්ට ඇති
මහා ණය බර ඉනුදු ගෙවාලිය නොහැකි ය. “
මව්පියන් අල්පමාත්‍ර වශයෙන් හෝ කෝප නො ගැන්වීමට යහපත් දරුවෝ ක්‍රියාකළ යුතු වෙති.
සමහර අමනෝඥ දරුවෝ ‘මව්පියන් අපට කළේ කුමක්දැයි’ මෝඩකමින් අසති. සැබෑව නම් මව්පියන්
ඔවුන්ට නො කළේ, නො දුන්නේ කුමක්දැයි ඔවුුන් තමාගෙන් ම ඇසිය යුතු ය. මේ උත්තරීතර
මනුෂ්‍ය ජීවිතය ම ඔවුන්ගෙන් ලද හිඟමනක් බව අප සෑම සිහි තබා ගත යුතු ය. කෙ තරම් ආත්ම
ගණනක් ඔවුන් අපට මව්පියන් වූවෝදැයි මිණිය නොහැකි අතර, තාවකාලික ව හමුවන පුද්ගලයන්
නිසා මව්පියන්ගේ අපමණ සාංසාරික කැප කිරීමට පයින් ගසා අවසන් නොකළ යුතු ය.
මව්පියන්ගේ ද වැරැදි තිබිය හැකි ය. එම අවස්ථාවලදී ද්වේෂයෙන් නො ගැටී කරුණාවෙන් එය
නිසි කාලය බලා පෙන්වාදීම කල්‍යාණ මිත්‍ර පින්වත් දූ දරුවන්ගේ යුතුකම යි. එය නො
පිළිපදී නම්, අනුන් හරහා හෝ එබඳු මව්පියන් නිවැරැදි මගට යොමුකිරීම ද එය ද අසාර්ථක
වී නම් ක්‍රෝධ නූපදවා සීමාසහිත ව හිඳිමින් මව්පියන්හට කළ හැකි යුතුකම් කිරීම ද එබඳු
නුවණැති දරුවන්ගේ සිරිතයි. එසේම එකී දුසිරිත්වලට අනුබල දීම පින්වත් දරුවන්ට හොබනේ
නැත.
සම්මුති දේව (සම්මුතියෙන් දෙවි වූ) උප්පත්ති දේව (උපතින් දෙවි වූ) විසුද්ධි දේව (
කෙලෙස් දුරුකර දෙවි වූ /සංඝ රත්නය) හා පුබ්බදේව (මව්පියෝ යන දේව වර්ග සතරකි. ඔවුහු
කමාව දෙති. උපකාර කරති. කිසි දෙයක් පෙරලා බලාපොරොත්තු නොවී පිහිටවෙති. එසේ පුබ්බ
දේවයන් ලෙස ද පූර්වාචාර්ය (මුල් ගුරුවරු) ලෙස ද, ආහුණෙය්‍ය (බොහෝ දුර සිට දේ ගෙන
අවුත් සත්කාර කළ යුතු අය) පුද්ගලයින් ලෙස ද, නිවසේ බුදුන් හා බ්‍රහ්මයන් ලෙස ද
මව්පියහු බුදුරජාණන් වහන්සේගේ සම්මානයට පාත්‍ර වූහ. ගිහි උපාසක උපාසිකාවන් හට
බුදුරජාණන් වහන්සේ, මහ සඟරුවන, සමඟ මව්පිය දෙපළ ද පින්කෙත් බව තවදුරටත් භාග්‍යවතුන්
වහන්සේ වදාළහ.
යමෙක් මව්පියන්ට ක්‍රෝධ කරන්නේ නම්, වදනින් හා කයින් පීඩා කෙරේ නම් වයෝවෘද්ධ වූ පස
නො සලකා නම් ඔවුහු සැබෑ වසලයන් වන අතර, මෙලොව පරලොව දෙලොව ද පිරිහී නිරයට වැටෙති.
එසේම යමෙක් ධාර්මික ධනයෙන් සිය මව්පියන් පෝෂණය කරත් නම්, ඔවුහු මෙලොව කීර්ති
ප්‍රශංසා ලබන අතර, පරලොවදී දෙව් සැපත් ලබන බව ද ධර්මයේ දැක්වේ.
ලෞකික ක්‍රමවලින් මව්පියන්ට ඇති ණයෙන් මිදීමට නොහැකි නමුත් ලෝකෝත්තර ක්‍රමයෙන් අපට
මව්පියන්ට ඇති ණය ගෙවිය හැකි ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාතෘ දේව පුත්‍රයා කරා
ගොස් සෝවාන් ඵලය දක්වාම දහම් දෙසීම ද, සිය පියාණන් වූ සුද්ධෝදන රජු ලෙඩ ඇඳ සිටියදී
ම රහත් ඵලයට පත්වීමට උපකාර කිරීම, ගෝතමී දේවිය රහත් ඵලය දක්වා මෙහෙයවා ඇය පිටුපස
ඇගේ පිරිනිවීමට යන විට ගමන් කිරීම, අරිට්ඨ තෙරුන් සිය පිණ්ඩපාතයෙන් මව්පියන් පෝෂණය
කරමින් දහම් මගට යොමු කිරීම ද ඊට සජීවි උදාහරණ වෙති. සද්ධා, ශීල, සති, සමාධි,
ප්‍රඥා යන ධර්ම අංගයන්හි වැඩීමට ඔබට මව්පියන්ට උපාකර කළ හැකිනම්, එයින් පමණක් ඔබේ
මව්පියන්ට ඇති ණයෙන් නිදහස් විය හැකි ය. |