සම්බුදු සසුනේ අග තනතුරු පැතූ සහෝදර බැඳීමක මහිමය
මහා පන්ථක මහ රහතන් වහන්සේ සහ චුල්ල පන්ථක මහ රහතන් වහන්සේ
බුද්ධ කාලයේ රහත් බව ලැබ අග තනතුරු ලැබූ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ බොහෝ සුපින්බර ය.
ඒ අනුව මහා පන්ථක මහ රහතන් වහන්සේ අරූපධ්‍යානලාභී භික්ෂූන් අතරින් අග්‍ර ය. චුල්ල
පන්ථක මහ රහතන් වහන්සේ මනෝමය කාය නිර්මාණය කරන්නා වූ භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර
ය. මේ දෙදෙනා වහන්සේ ම සොහොයුරන් වීම විශේෂිත ය.
දිනක් පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ එක්තරා කුල පුත්‍රයෙක් තම බාල සොහොයුරා සමඟ
සදහම් සුව වින්දේ නිබඳව මය. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ වෙතින් එක්තරා භික්ෂූන්
වහන්සේ නමක් අග තනතුරු ලැබුවේ අරූපධ්‍යානයෙහි දක්ෂ වූ භික්ෂුවක් ලෙසිනි. එයින්
පැහැදුණු වැඩිමල් කුල පුත්‍රයා තමා ද මෙවැනි පදවියක් ලැබීම උදෙසා බුදු පාමොක් මහ
සඟනට මහ දන් පැවැත්වුයේ සතියක් මුළුල්ලේ ය.
තවත් අවස්ථාවක මොහුගේ බාල සොහොයුරාත් එලෙසම පදුමුත්තර බුදුන් වහන්සේගෙන් බණ අසද්දී
දුටු දසුන පින්බර ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට මනෝමය කාය නිර්මාණය කරන්නා වූ
භික්ෂූන් අතරින් ද , රූප ධ්‍යානයෙහි දක්ෂ වූ භික්ෂූන් අතරින් ද අග්‍රස්ථානය ලැබීම
යි. මොහු ද අනාගත බුදු කෙනකුගෙන් මෙවැනි පදවියක් ලැබීමට සිතා තම සොහොයුරා මෙන් බුදු
පාමොක් මහ සඟරුවනට මහ දන් පැවැත්වූයේ සතියක් මුළුල්ලේ ය. මෙලෙස සොහොයුරන් දෙදෙනා ම
අග තනතුරු උදෙසා පදුමුත්තර බුදුන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අපරිමිත ශ්‍රද්ධාවෙනි. ඒ
උදෙසා සසර මඟ සුගතිගාමී භවයන්හි විඳී දෙව් , මිනිස් සැප ද, කළ පින්කම් ද අපමණ ය.
මෙලෙස සසරේ අවසන් ආත්ම භාවයේ දී මේ දෙදෙනා ම ගෞතම බුද්ධ ශාසනයේ දී උපත ලැබුවේ
රජගහනුවර ධනවත් සිටු කුමරියකගේ පුත්‍රයන් ලෙස ය. සිටු කුමරිය දරුවන් ලැබීමට ආසන්න ව
සිටිය දී දෙවතාවක් ම සූදානම් වූයේ තම මව්පියන්ගේ නිවස වෙත යාමට ය. එහෙත් ඇයට අතර මඟ
දී දරුවන් උපන් නිසා නැවත පිටත් වූයේ තම ස්වාමියාගේ නිවස වෙත ය. මෙලෙස අතර මඟ උපන්
දරුවන් හැඳීන්වූයේ ‘පන්ථක’ නාමයෙනි. වැඩිමහල් පුතණුවන් ‘මහා පන්ථක’ වු අතර, බාල
පුතණුවන් වූයේ ‘චුල්ල පන්ථක’ ය.
මොවුන්ගේ මෑණියන් විවාහ වී සිටියේ සිටු නිවසේ මෙහෙකරුවකු සමඟ ය. මෙලෙස සිටු
මව්පියන්ට හොර රහසේ ජීවත් ව සිටි ඇය කාලය ගත කළේ දුගී ව, දුක සේ ය. තම සිඟිති
පුතුන් දෙදෙනාට දුකක් නොදීමට සිතූ ඇය නැවත පිටත් ව ගියේ මව්පියන්ගේ සෙවණ වෙත ය. එහි
දී ඇයට සිටු පියාණන් පැවසුවේ සසරේ බොහෝ දියණිවරු සොයා ගත හැකි බවත්, මව් පියන්ට
අකීකරු වූ දියණියට නැවත සිටු නිවසට නොපැමිණෙන ලෙස ය.
එහෙත් මුණුබුරන්ට අනුකම්පා කළ මුත්තණුවන් ඔවුන් සිටු මැඳුරේ රඳවා ගත්තේ දිළිඳු වී
සිටින දියණියගේ දියුණුවට යම් මුදලක් ද ලබා දෙමිනි. අසරණ ඇයට වෙන කළ හැකි දෙයක්
නොමැති නිසා තම දෙනෙත සේ සුරැකි සිඟිති පුතුන් දෙදෙනා සිටු නිවසේ රඳවා තබා පිටත් ව
ගියේ වාවා ගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරුවමිනි.
මේ කතා පුවත අද කාලයේ තරුණ දූ පුතුන්ට ගෙන දෙන්නේ කදිම ආදර්ශයකි. ඒ මව්පියන්ට
අකීකරු ව , දුක් විඳීන ඇතැම් තරුණ දූ පුතුන් උදෙසා ය. ඔවුන්ට මව්පියන්ගේ අගය
වැටහෙන්නේ තමන් අසරණ වු විට ය. එවිට විය යුතු සියල්ල සිදු වී අවසන් ය. මේ නිසා සෑම
තරුණ දූ දරුවෙක් ම දුර දක්නා නුවණින් කි‍්‍රයා කළ යුතු අතර, මව් පියන් තම දරුවන්
කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ද මනාව පසක් වේ.
කිරි මව්වරු ලවා පෝෂණය වූ මුණුබුරන්ට ,මුත්තණුවන්ගෙන් ලැබුණු රැකවරණය කදිම ය.
වැඩිමහල් මුණුබුරු මහා පන්ථක තම මුත්තණුවන් සමඟ නිබඳ ව ම විහාරයට ගියේ සදහම් අසන්නට
ය. එහිදී ඔහුට ඇති වූයේ පැවිදි වීමේ සිතකි. ඒ සඳහා තම මුත්තණුවන්ගෙන් අවසර ලබා
ගත්මහා පන්ථක පැවිදි ව, ධර්මය ඉගෙන, උපසම්පදා ලබා රහත් වූයේ නොබෝ කලකිනි. උන්
වහන්සේ සතර අරූපාවචර ධ්‍යාන ලාභී ව ධ්‍යාන සුවයෙන් ද, නිර්වාණ සුවයෙන් ද වෙසෙද්දී
ලැබූ තනතුර ද විශිෂ්ට ය. ඒ අරූපධ්‍යානලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබීම යි.
මෙසේ කාලයාගේ ඇවෑමෙන් මහා පන්ථක මහ රහතන් වහන්සේ ගේ අවවාදයෙන් පැවිදි වූයේ සොයුරු
‘චුල්ල පන්ථක’ ය. උන්වහන්සේ බණ දහම් ඉගෙන ගැනීම ආරම්භ කළේ නිබඳව ම ය. එහෙත් එක
ගාථාවක් කට පාඩම් කිරීමට ගත වු කාලය සිව් මසකි. මුල් පදය පාඩම් කර දෙවන පදය පාඩම්
කරද්දී නැවත ගාථාවේ මුල් පදය අමතක ය. මේ නිසා වන පොත් කිරීමට අපහසු බැවින්, මහා
පන්ථක තෙරුන් වදාළේ චුල්ල පන්ථක මහණකමට නුසුදුසු බවත්, සිවුරු හැර දමා නිවසට යාම
සුදුසු බවත් ය. මෙයින් දුකට පත් චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේ විහාර ගෙයි පිටුපස
වැඩ සිටියේ හඬා වැළපෙමින් ය.
මෙය දුටු මහා කාරුණික බුදු පියාණන් වහන්සේ චුල්ල පන්ථකට පිහිට වුයේ එහි වැඩම
කරමිනි. කරුණු දැනගත් බුදුන් වහන්සේ චුල්ල පන්ථකට සුදු රෙදි කඩක් මවා දුන්නේ ඍද්ධි
බලයෙනි. එය‘රජොහරණං රජොහරණං’ යනුවෙන් අතින් පිරිමදිමින් චුල්ල පන්ථක බවුන් වඩන්නට
වූයේ සම්බුදු ඔවදන නිසා ය. රෙදි කඩ කිළිටි වී යන ස්වභාවය චුල්ල පන්ථකට වැටහී ගියේ
නුවණින් විමසමිනි. පෙර පිරිසුදු ව තිබූ රෙදි කඩ පසුව කිළිටිව ගියේ අපිරිසුදු වූ
ශරීරයේ ස්පර්ශයෙනි. සිත ද එසේ ය යනුවෙන් බවුන් වැඩූ උන් වහන්සේ රහත් ව ලැබූ දස්කම ද
විශිෂ්ට ය. ඒ මනෝමය කාය නිර්මාණ ශක්තිය හෙවත් එක් අයකු බොහෝ අය ලෙසත්, බොහෝ අය එක්
අයකු ලෙසත් මැවීමෙහි ශක්තියත්, ති‍්‍රපිටක ධර්මයත්, ෂඩ් අභිඥාවන් පිළිබඳ ඇති
අවබෝධයත් ය.
පසුදින බුදුන් වහන්සේ , හාරසිය අනූනවයක් වූ භික්ෂූන් වහන්සේ සමඟින් ජීවකගේ නිවසට
වැඩම කළේ දන් පිණිස ය. එහි දී ජීවක කැඳ පිළිගන්වද්දී බඳුන අතින් වැසූ බුදුන් වහන්සේ
වදාළේ තවත් භික්ෂුවක් විහාරස්ථානයේ වැඩ සිටින බව ය. ඒ අනුව ජීවකගේ උපදෙසින් විහාරයට
ගිය පුරුෂයාට දැක ගන්නට ලැබුණේ දෑස් අදහා ගත නොහැකි දසුනකි. ඒ එකම රුවකින් යුතු
භික්ෂුන් වහන්සේ දහසක් විහාරස්ථානයේ විවිධ කාර්යයන්හි නිරත වන අයුරු ය. එම පුරුෂයා
නැවත මේ බව ජීවකට දැන්වූ විට ඔහු බුදුන් වහන්සේගෙන් විමසුවේ කවර භික්ෂුවක් කැඳවා
ගෙන එන්න දැ’යි යනුවෙනි. එවිට බුදුන් වහන්සේ වදාළේ ‘චුල්ල පන්ථක’ වඩමවාගෙන එන ලෙස
යි. මෙහිදී පුරුෂයා විහාරයට ගොස් චුල්ල පන්ථක තෙරුන් වහන්සේ කවුදැ’යි විමසද්දී
සියලුම භික්ෂූන් වහන්සේ වදාළේ ‘තමා චුල්ල පන්ථක’ බව යි. නැවත පුරුෂයා සියලු තොරතුරු
ජීවකට දැන්වූ විට, බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ ‘මම චුල්ල පන්ථක වෙමි’යි’ මුලින්ම
පවසන භික්ෂූන් වහන්සේගේ සිවුරු කොණින් අල්ලා ගන්නා ලෙස යි. මේ අනුව පළමුව ‘මම චුල්ල
පන්ථක වෙමි’යි වදාළ භික්ෂුවගේ සිවුරු කොන අල්ලද්දී සෙසු දහසක් භික්ෂුන් වහන්සේ එකවර
ම අතුරුදන් වූයේ විශ්මිත ලෙස ය.
පසුව භික්ෂූන් වහන්සේ පන්සිය නම ම දන් වැළඳුවේ ජිවකතුමාගේ වෙද නිවසේ ය. මේ අසිරිමත්
සිද්ධියෙන් රැස්ව සිටි භික්ෂූන් වහන්සේ වදාළේ බුදුන් වහන්සේ නිසා චුල්ල පන්ථක,‘මහ
රහතන් වහන්සේ නමක් ලෙස මහත් ලාභයක්’ ලැබූ බව යි.
උන්වහන්සේ පෙර ද මෙසේ ලාභ ලැබූ බව බුදුන් වහන්සේ වදාළේ ‘චුල්ලසෙට්ඨි ජාතකය’
ඇසුරෙනි.
දිනක් දම් සභා මණ්ඩපයට රැස් ව සිටි බුදුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ මධ්‍යයේ
චුල්ල පන්ථක රහතන් වහන්සේ ලැබූ තනතුර විශිෂ්ට ය.ඒ මනෝමය කාය නිර්මාණය කරන්නා වූ
භික්ෂූන් වහන්සේ අතරින් ද, රූපධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ අතරින් ද චුල්ල පන්ථක මහ
රහතන් වහන්සේ අග්‍රස්ථානය ලැබීම යි.
චුල්ල පන්ථක මහරහතන් වහන්සේට මුලින්ම ගාථා පාඩම් නොහිටියේ සසරේ කළ පාපයක් නිසා ය.
එකල චුල්ලපන්ථක හිමියෝ ,කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයේ පැවිදි ජීවිතයක් ගත කළේ උගත්
තෙරනමක් වශයෙනි. එහෙත් උන්වහන්සේ විහාරයේ වැඩසිටි නුවණ මඳ, ඉගෙනීමෙහි අදක්ෂ, පාඩම්
නොසිටින ස්වාමීන් වහන්සේ නමකට උසුළු විසුළු කළේ අපහාසාත්මක ලෙස ය. මේ අනුව
චුල්ලපන්ථක තෙරුන්වහන්සේට රහත්වීමට පින තිබුණත් සිව් මසක් යන තුරා එකදු
ගාථාවක්වත්පාඩම් නොසිටියේ සසරේ කරන ලද පාපය නිසා ය.
මෙලෙස චුල්ලපන්ථක හිමියන්ගේ කතාව නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන,
ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට පෙන්වා දෙන්නේ කදිම පාඩමකි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |