Print this Article


දුටුගැමුණු රජතුමා - 07: ගැමුණු කුමරුගේ දක්ෂතාවය විමසා බැලීමට යුද පෙරහුරුවක්

දුටුගැමුණු රජතුමා - 07:

ගැමුණු කුමරුගේ දක්ෂතාවය විමසා බැලීමට යුද පෙරහුරුවක්

“පිය රජතුමාත්, මමත් ළඟදී ම පුතාගේත් සෙනෙවිවරුන්ගේත් යුද්ධ ශිල්ප පිළිබඳ විමසා බලන්න යුද පෙරහුරුවක් පවත්වනවා.”

“එය ඉතාමත් අගෙයි මෑණියනි. මමත් සූදානම්. මගේ සෙබළුත් කැමති වේවි. වේළුසුමන, නන්දිමිත්‍ර ඇතුළු සියලු සේනාපතිවරු ඕනෑම වේලාවක මගේ විධානයන් පිළිගන්නට සූදානම්. ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදය මට නොඅඩුව ලැනෙවා. උන්වහන්සේලා මට ලබාදෙන උපදෙස්, අවවාද, අනුශාසනා වෙනුවෙන් මා ණය ගැතියි. එයින් මිදෙන්න නම් රජරට ජයගෙන බුද්ධ ශාසනය සුරක්ෂිත කළ යුතුයි. ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්න.

ගැමුණු කුමාරයාගේ හැකියාව, දැනුම, අවබෝධය පිළිබඳ විහාරමහා දේවිය සතුටට පත් වූවා ය. උතුර ජය ගැනීමේ සටන ප්‍රමාද කිරීම අවාසි සහගත බව ද ඇයට වැටහිණි. කාවන්තිස්ස රජතුමා ජීවත් ව සිටියදී ම උතුර ජය ගැනීම විහාරමහා දේවිය ගේ අභිප්‍රාය විය. උතුරේ චරපුරුෂ සේවය මෙහෙයවන ලද්දේ දීඝාභය කුමරුන් විසිනි. කාවන්තිස්ස රජතුමා ගේ පළමු බිසව ගේ පුතකු වූ ඔහු පිය රජතුමාට බොහෝ සේ ආදරය කළේ ය. කාණාගම රාජධානියේ රජ කුමරියක වූ තම මව මියගිය පසුව විහාරමහා දේවිය ආදරණීය මවක් ලෙස සෙනෙහස පෑවා ය.තමාට මහත් සෙනෙහසක් දක්වන මවත් පියාත් වෙනුවෙන් ඕනෑම කාර්යයක් කිරීමට ඔහු කැපවී සිටියේ ය. දීඝාභයත්, ගැමුණුත් පෙනුමෙන් එක සමාන ය. දීඝාභය ගැමුණු කුමරුට වඩා අවුරුද්දකින් වැඩිමහලු විය. ඔවුන් බොහෝ කෙළි දෙළෙන් හැදී වැඩුණි. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමේ දී දෙදෙනාම දස්කම් දැක්වූ මුත් ඇතැම් යුද්ධ ශිල්පවලදී දීඝාභය වඩාත් දක්ෂ විය.

තිස්ස ඇතුළු අනෙකුත් කුමර කුමරියෝ රජ මාළිගයට පැමිණි බමුණු ආචාර්යවරුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගත්හ. තිස්ස කුමරු පියාගේ ආකල්ප අනුව යමින් ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි බොහෝ දක්ෂ විය.

පසුදා කාවන්තිස්ස රජතුමා යුද පුහුණු කඳවුරු, අවි කම්හල්, ආයුධ ගබඩා කිහිපයකටම ගොස් ඒවා පරීක්ෂා කළේ ය. එහි පැමිණ සිටි වේළුසුමන, නන්දිමිත්‍ර සෙනෙවිවරුන් සමඟ සේනා සංවිධානය ගැන විමසා බැලුවේ ය. අලුතින් බඳවා ගන්නා සෙබලුන් පිළිබඳ දැඩිව සොයා බැලිය යුතු බවත්, ඔවුන් ගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු වාර්තා ලබාගත යුතු බවත් පැවසී ය. එළාර රජු ගේ චර පුරුෂයෝ විවිධ වෙස් ගෙන රටේ ප්‍රධාන ස්ථානවලට ඇතුල්වීමට උත්සාහ කරන බව දැන ගැනීමට ඇති නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස නියම කළේ ය.

රාජකීය උද්‍යානයේ වැව් ඉවුරේ කුඹුක් ගස් සෙවණේ ඉදිකර ඇති ගරුඬ ආසනය එහි ඇති අලංකාරම ස්ථානයයි. සවස් යාමයේ බැස යන හිරුගෙන් ආලෝකවත්වන පරිසරයේ සුන්දරත්වය විඳිමින් රජතුමා සහ දේවිය එහි හෝරාවක් පමණ ගත කළහ. උද්‍යානයේ පාලකයන්ට එහි සංවර්ධන කටයුතු පිළිබඳ උපදෙස් දුන්හ. ඒ අවස්ථාවේ දී උද්‍යානයේ ඈත කෙළවර සිට පැමිණෙන ගැමුණු කුමරු දුටු රජතුමා දේවිය ඇමතී ය.

“දේවියනි, මේ දිනවල ගැමුණු කුමරුගේ හැසිරීම අමුතුයි. එළාර රජුට විරුද්ධ ව සටන කඩිනමින් ආරම්භ කළ යුතු යැයි කවුරුන් හෝ ඔහු ව පොළඹවන බව පෙනෙනවා. ඒ සඳහා ඔහු මගෙන් යුද්ධයට යාමට අවසර ඉල්ලුවා. ගැමුණු දක්ෂ බව අප හැමෝම පිළිගන්නවා. නමුත් ඔහු පුංචියි. අත්දැකීම් මදි. ඒ නිසා පළමුව අප ඔහු ගේ ආරක්ෂාව ගැන සිතිය යුතු යි. ඔහුට අනතුරක් වුණොත් සියල්ල වතුරේ. ඒ නිසා සුදුසු අවස්ථාව එළඹෙන තුරු ඉවසිල්ලෙන් සිටින්නට ඕනෑ.

“මමත් ගැමුණුට අවවාද කළා. ඉක්මන් වෙන්න එපා කිව්වා. ගැමුණු දැන් තවත් හොඳින් සේනා ශක්තිමත් කරනවා. ඔහු පවසන්නේ නිමිතිකරුවන් ගේ අදහසයි. සොළීන්ට තව තවත් සේනා සංවිධානය කරන්නට ඉඩ දුන්නොත් අපට අවාසියි. ඔවුන් දකුණ ආක්‍රමණය කරන්න කලින් අප සටන ඇරැඹුවොත් හය මසකින් සටන ජයගත හැකිලු. මේ කාලයේ ජයග්‍රහණයක් නොලැබුණොත් නැවත වාසනාවකට අවුරුදු ගණනක් ගතවෙන බව ලූ නිමිති කරුවන් පවසා තිබෙන්නේ.”

“දේවියත් ගැමුණුගෙ මතය අනුමත කරනවා වගෙයි පෙනෙන්නේ. ඒ ගැන මට ඇත්තටම කනගාටුයි. කවුරුත් අවස්ථාව හොඳින් තේරුම් අරගෙන නැහැ. අපට පුහුණුව මදි. සේනාව මදි, ශක්තිමත් මදි එළාරට දැවැන්ත සේනාවක් සිටිනවා. දීඝජන්තු ඇතුළු දස මහ යෝධයන් යටතේ පනස් දහසක පමණ බල ඇණියක් සිටිනවාලු.

සේනාපතිවරු යටතේ සිංහල භට සේනාව හතළිස් දහසක් ලු. එහෙමනම්, අපේ තිස් දහසක සේනාවක් සමඟ ගොස් ගැමුණුට යුද්ධ කරන්න පුළුවන් ද?

“ගැමුණු මේ පැත්තට එනවා. මම මාළිගයට යනවා. ඔහුට ඉවසීමේ අගය කියා දෙන්න.”

විහාරමහා දේවිය වෙත පැමිණි ගැමුණු කුමරු අමනාපයෙන් කතා කළේ ය. “මෑණියනි, පිය රජතුමා මා එනු දැක මඟහැර ගියේ ඇයි? පිය රජතුමා මා දැන් කරදරකාරයෙක් ලෙස සිතනවා ද? මා සමඟ අමනාපයෙන් ද?

“නැහැ පුතා, පිය රජතුමා අද දස මහ යෝධයන් සමඟ පුතා ගේ ඉල්ලීම ගැන සාකච්ඡා කරනවා. ඔවුන් පැමිණ රජතුමා එන පෙරමග බලාගෙන ඇති. ඒ නිස යි පිය රජතුමා පිටත්ව ගියේ.”

“කුමක් පිළිබඳව ද මෑණියනි! සාකච්ඡා කරන්නේ?"

එළාර රජුට විරුද්ධ ව සටන් ඇරැඹීමට, සතුරන් පරාජය කිරීමට දැන් අපට හැකි ද? ඒ සඳහා අප ශක්තිමත් ද? ඒ ගැන සාකච්ඡා කිරීමටයි ගියේ.”

මෑණියනි, දීඝාභයත්, තිස්සත් මේ සාකච්ඡාවට සහභාගි වෙනවා ද?

නැහැ පුතා, තිස්ස එන්නේ හෙට. දීඝාභය කලින් පැමිණියොත් සාකච්ඡාවට සම්බන්ධ වේවි.

මෑණියනි, දීඝාභය අයියණ්ඩි දැන් මාත් සමඟ වැඩි කතාබහක් නැහැ. මාළිගාවේ දී මා මුණගැහෙන්න එන්නේත් නැහැ. ඔහු මාත් සමඟ අමනාපයෙන් ද?

“නැහැ පුතා, දීඝාභය පිය රජතුමාට ආදරෙයි. ඔබ පිය රජතුමාට අකීකරු යැයි හැඟීමක් ඔහුගෙ තිබුණා.නමුත් දැන් එහෙම නැහැ. මෙවර ඔහු මාළිගයට පැමිණි පසු ඔබට ඔහුත් සමඟ රිසි සේ කතා බහ කරන්න පුළුවන්. නගරය පුරා ඇවිදින්න යන්න පුළුවන්.

“මමත් පිය රජතුමාට බොහෝ ආදරෙයි. ඒත් මට කිසි නිදහසක් නැහැනේ. නිතරම මා වටා ආරක්ෂක භටයන් යොදවලා. මම මේ රජ මාළිගයේ හිරකාරයෙක්. ඒ ඇයි?