Print this Article


අතීතය ගැන නොතැවී වර්තමානය නිවැරැදි කර ගන්න

අතීතය ගැන නොතැවී වර්තමානය නිවැරැදි කර ගන්න

රජගහ නුවර වාසය කළ එක් සොරු කණ්ඩායමක් කිසිදු බියක් සැකක් නැතිව නගරය පුරා සැරි සරමින් නොයෙක් ආකාරයේ සොරකම් සිදු කළා. අපරාධ සිදු කරමින් නගර වැසියන්ට හිරිහැර කළා.

ඒ කාලයේ තම්බදාඨික නමින් එක් අවලස්සන, අවාසනාවන්ත පුද්ගලයකු ද සැවැත් නුවර වාසය කළා. කිසිදු රැකියාවක් නැති ඔහුට කාත් කවුරුවත් සිටියේ නැහැ

“මෙසේ දුක් විඳිනවාට වඩා හොඳයි අර සොර කණ්ඩායමට එකතු වුණා නම්. මටත් පුළුවන් හොඳට කාලා බීලා ඉන්න” කියා ඔහු සිතුවා. සොර නායකයා හමු වී ඒ බව සැළ කළා. මුලදී මොහු මහා කපටියෙක් වගේ යැයි සිතා සොර කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට සොර නායකයා අකමැති වුණා. නමුත් ඔහු ඒ කණ්ඩායමට ආවතේව කරමින් කාලයක් ඉඳලා නායකයාගේ සිත දිනාගෙන පසු කලෙක කණ්ඩායමට ඇතුළත් වුණා.

රජගහනුවර වැසියන්ට දිනෙන් දිනම මේ සොරු කණ්ඩායමෙන් බලවත් කරදර ඇතිවුණා. සොරුන්ගේ පීඩාවට පත් වූ නගර වැසියෝ කුපිත ව රජුගේ ද සහය ඇතිව තම්බදාඨිකයා ඇතුලු සොර කණ්ඩායම අල්ලා ගත්තා. රජු ඔවුන් සියලු ම දෙනා වැරැදිකරුවන් කර දඬුවම් නියම කළා. දඬුවම වූයේ හිස ගසා මරා දැමීම යි.

සොරුන්ගේ හිස ගසා මැරිය යුතු දිනයේ එසේ හිස ගසා මරා දැමීමට සොර නායකයා යොදා ගත යුතු යැයි යෝජනා වුණා. රාජ පුරුෂයෝ සොර නායකයා වෙත ගොස්,

” නුඹ මේ පිරිසගේ හිස ගසා දැමුවොත් නුඹට මේ මරණයෙන් බේරෙන්නට පුළුවන්. රජතුමා නුඹට වස්තුව ද ලබා දෙනවා” යි කියා සිටියා. ඔහු කියනවා

“මෙතුවක් කල් දුකේදීත්, සැපේදීත් මා සමඟ එකට සිටි මිතුරන්ගේ හිස වෙන් කරන්නේ කොහොම ද? ඒක කරන්න බැහැ” කියා.

ඉන්පසු රාජ පුරුෂයෝ කීවා “නුඹලා පන්සියයක් සිටිනවා. නුඹලා අතරින් කැමැති කෙනෙක් මේ සියල්ලගේ ම හිස ගසා දමනවා නම් ඔහු මරණයෙන් නිදහස් කරනවා” කියා.

එවිට තම්බදාඨිකයා “මට මරණයෙන් බේරෙන්නට තිබෙන එකම අවස්ථාව මෙයයි. මම මේ අවස්ථාව ගන්න ඕනේ” යි සිතා ඒ සඳහා ඉදිරිපත් වුණා.

නියමිත දිනයේ ඔහු හාරසිය අනූ නව දෙනකුගේ හිස කඩු පහරින් වෙන් කළා. මරණයෙන් ද බේරුණා. වස්තුව ද ලැබුණා. එය ඔහු පහසුවෙන් කළ නිසා දඬුවමට ලක්ව හිස ගසා දමන පිරිස මරා දැමීමට රජතුමා ඔහු පත් කළා. එනිසා ඔහුට රැකියාවක් ද ලැබුණා. කාලය වේගයෙන් ගෙවී ගියා. තම්බදාඨික මහලු වුණා. රැකියාව කරන්නට අපහසු වුණා. එක කඩු පහරින් හිස වෙන් කිරීමට නොහැකි වුණා. එයින් මිය යන පුද්ගලයා බොහෝ දුකට පත්වුණා. ‘තම්බදාඨික දැන් මහලු යි. මේ සඳහා ඔහු සුදුසු නැහැ” මිනිසුන් උද්ඝෝෂණය කළා. රජතුමා ඔහු රැකියාවෙන් ඉවත් කළා.

මහලු තම්බදාඨික නිවසට වී සිටියා. එක් දිනක දම් සෙනෙවි සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැඟී සිට අද මා කවරකුට සංග්‍රහ කළයුතු දැයි විමසූ සේක. පෙර පින් ඇති තම්බදාඨික දැක අනුකම්පා උපදවා උදෑසන ඔහුගේ නිවසට වැඩම කළ සේක.

තම්බදාඨික දහසක් මිනිසුන් මරා දැමූව ද සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුටු පමණින් මහත් සතුටට පත්ව මා බොහෝ කාලයක් මිනිසුන්ගේ ගෙල කප කපා බොහෝ පව් රැස් කළා. මේ ජීවිතේ කළ පිනක් නම් මතකයේ නැහැ. එහෙම තිබියදීත් මේ රහතන් වහන්සේ මගේ නිවසට පිඬු පිණිස වැඩියා.”සාධු! සාධු! සාධූ! මම අදවත් පිනක් කර ගන්න ඕනෑ” සිතා උන්වහන්සේ නිවසට වඩමවා ඇතිරිලි යොදා අසුනක වඩා හිඳුවා බොහෝ ම ගෞරවයෙන් පිළයෙළ වී තිබූ ආහාර උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවා. තෙරුන් වහන්සේ දන් වළඳා මහලු තම්බදාඨිකට ධර්මය දේශනා කළ සේක.

එහෙත් ධර්මය ඇසීමට තරම් සිතේ එකඟ බවක් තිබුණේ නැහැ. තමන් මිනිසුන් මරණයට පත්කළ ආකාරය නිතර ම ඔහුගේ මතකයට නැඟුණා. ඒ සිදුවීම් හිතට වද දුන්නා. ඔහුගේ සිත එකඟ නැති බව සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැටහුණා.

”පින්වත, දහම් ඇසීමට තරම් ඔබගේ සිත එකඟ නැහැ නේද?”

"අනේ ස්වාමිනි, මගේ සිත කොහොම එකඟ කර ගන්න ද? මම බොහෝ මිනිසුන් මැරුවා. බොහෝ පව් කළා. මරණය ඉදිරියේ මිනිසුන් හඬා වැටෙද්දී මම කිසිම අනුකම්පාවක් කළේ නැහැ. මට හැම තිස්සේ ම ඒ අතීතය සිහිපත් වෙනවා. එතකොට ස්වාමිනි, මගේ හිත බොහෝ බයට පත්වෙනවා. ඉතින් මම කොහොම ද ධර්මය අසන්නේ?"

” උපාසක, ඔබ මිනිසුන් මැරුවේ ඔබගේ කැමැත්තෙන් ද? නැතිනම් වෙන කෙනකුගේ නියෝගයකට ද?

”අනේ ස්වාමීන් වහන්ස, මම මෙතෙක් කල් මිනිසුන් මැරුවේ රාජ නියෝගය නිසයි. ඒ මගේ රැකියාව නිසයි. නැති නම් ඒ දේ මම කැමැත්තෙන් කළේ නැහැ.”

”උපාසකය, ඔබ රජුගේ නියෝගයෙන් මිනිසුන් මැරුවා නම් ඔතරම් බිය වන්නේ ඇයි? සිත පාලනය කර ගන්න. සිත තැන්පත් කර ගන්න. කළ අකුසල් සිහි නොකර සිටින්න. මේ මොහොතට සිත යොමු කරන්න.

උපාසක, මම කියන ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. සිත අතීතයට යවන්න එපා. ඔබ දැන් සිටින මොහොතයි වැදගත් වන්නේ. අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ කළ දේ, කී දේ ගැන පසුතැවෙන්න එපා! අනුන් ගැන නො සොයා, තමන් ගැන සොයන්න” කියලයි. එනිසා උපාසක බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි සිත බලවත් කර ගන්න” යනාදී වශයෙන් නොයෙක් කරුණු කියා සිත දිරි ගන්වා ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන අයුරින් ඔහුගේ සිත තුළ ධෛර්ය ඇති කොට ඉන් පසුව ධර්මය දේශනා කළ සේක.

එකඟ වූ සිතින් ඒ ධර්මය ශ්‍රවණය කළ ඔහු, දේශනාව අවසානයේ දී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගත්තා. නමුත් සෝවාන් ඵලයට පත්වුණේ නැහැ.

පසුව තෙරුන් වහන්සේ ඔහුගේ සිත තව තවත් පහදවා දිරි ගන්වා සතුටු කොට විහාරයට වැඩම කළ සේක. මහලු තම්බදාඨික සැරියුත් තෙරුන් වහන්සේ පසුපස තරමක් දුරට ගමන් කළා. ඔහුගේ සිත පී‍්‍රතියට පත්වෙලා තිබුණේ. තිසරණයට ජීවිතය පූජා කරලයි හිටියේ. බුදු ගුණ මුමුණමින් ගමන් කළේ. හදිසියේ තියුණු අං ඇති ගව දෙනක් ඔහු පසු පසින් දිව ඇවිත් එක අං පහරින් ම තම්බදාඨිකට ඇණ මරණයට පත් කළා.

මහලු වියේ සිටිය දී තම්බදාඨික උපාසක සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් සද්ධර්මය ශ්‍රවණය කොට සද්ධානුසාරි, ධම්මානුසාරි වී සිටි බැවින් මරණින් මතු මිනිස් කය හැර දමා යනවාත් සමඟ ම තුසිත දෙව් ලොව උපත ලැබුවා.

අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ් කරුණා ගුණය නිසා සතර අපායට වැටී මහා දුක් විඳීමට සිටි තම්බදාඨික සුගතියේ ඉපිද දෙව්, සැප විඳින්නට තරම් පුණ්‍යවන්තයෙක් වුණා.