Print this Article


සොයා ගත යුතු තැන්

සොයා ගත යුතු තැන්

මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ ය.

සුගතිය වූව ද සෑම තැන ම යහපත් නැත. මිසදිටුවන් වෙසෙන, පව් කම්හි ඇලී ගැලී වෙසෙන පව්කමින් ජීවත් වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදු වන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමට ය. දෙව් ලොව වූව ද සම්පත්තියෙන් මත්ව, ධර්ම සංඥාවක් නැතිව කල් යවන දෙවියන් වෙසෙන තැනක උපන හොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකි ය. එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතු ය.

කුසල් කොට යම්කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි ද කියා ඇත්තේ ය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළා ම ඒ පිනෙන් තමා කැමති තැනකට යා හැකි ය. යා යුත්තේ සොයා ගත යුත්තේ පවින් වැළකී පින් දියුණු කර ගත හැකි තැන් ය.

කිසිම ලෞකික සම්පත්තියක් ස්ථිර නැත. අද දෙව් ලොව දෙවඟනන් පිරිවරා ගෙන විසිතුරු දෙව් විමන්වල උසස් ලෙස කම්සැප විඳින තැනැත්තා සමහර විට සෙට තිරිසනෙකි. නැත හොත් ප්‍රේතයෙකි. සමහර විට සංජීවාදි නරකයක ඉපද ගිනි දැල් වෙලී සිටින්නෙකි.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ "පුණ්‍යොපදේශය" ග්‍රන්ථය ඇසුරිනි