Print this Article


මෙලොව දී ම ලැබිය හැකි පරම සැපත

මෙලොව දී ම ලැබිය හැකි පරම සැපත

සැම කෙනෙක් ම සැප ප්‍රාර්ථනා කරති. සැපයට කැමති වීමත්, දුක පිළිකුල් කිරීමත් සියලු ජීවීන්ට ම පොදු ධර්මතාවකි. මිනිසා මෙන් ම සෙසු සියලු ජීවීහු සැපවත් දිවියකට මහත් සේ ඇලුම් කරති. බුද්ධ දේශනාව ඇතුළත් සුත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල සැපය පිළිබඳ කරුණු ඇතුළත් වේ. වර්තමාන මිනිසා බලාපොරොත්තු වන්නේ මෙලොව සැපත පමණි.

එහෙත් බුදුරජාණන් වහන්සේ මෙලොව මෙන් ම පරලොව දී ද විඳීය හැකි සැපතක් පිළිබඳ අනුශාසනා කළහ. එනම් දෙව්ලොව හා බඹලොව ඉපිද විඳීනු ලබන සැපයයි. එහෙත් මරණින් පසුව ලබන සැපතටත් වඩා උතුම් සැපතක් මෙලොව දී ම අත්පත් කරගත හැකි බවත් එය අත්පත් කර ගන්නා ආකාරයත් පැහැදිලි කළහ.

නිවන යනුවෙන් හැඳීන්වෙන එම සැපත සියලු දුකින් නිදහස් වූ විට ලැබෙන්නකි (නිබ්බාණං පරමං සුඛං). බුදුරදුන්ගේ අරමුණ වූයේ තමන් වහන්සේ අත්පත් කරගත් එම සැපත දුකින් පිරි ලෝකයට හඳුන්වා දීම ය.

කෙනෙකු අත්පත් කරගත යුතු සැප හතරක් පිළිබඳ ධම්මපද පාලියේ නාග වග්ගයේ දොළොස්වන ගාථාවේ ඇතුළත් වේ.

එහි දැක්වෙන පරිදි සම්පතෙහි මෙන් ම, විපතේ දී යම් අවශ්‍යතාවක් ඇති වූ විටෙක සහයට සුදුසු මිතුරන් ඇතිබව පළමු සැපතයි.

තමා සතු ලොකු කුඩා කවර දෙයකින් වුව සතුටුවීම දෙවන සැපයයි.

ජීවිතයේ අවසන් සමයෙහි පින් රැස් කිරීම තුන්වන සැපයයි.

සසර දුක් කෙළවර කිරීමෙන් ලබන නිවන් සැපය සිව්වැන්නයි.

මෙයින් පළමු වැන්න සමාජමය වශයෙන් අත්පත් කර ගතයුතු සැපතකි. දෙවැන්න ලැබෙන්නේ උපයාගත් ධනයෙන් හෝ වස්තුවෙන් ය. තෙවැන්න දෙලොව අභිවෘද්ධිය පිණිස හේතුවන අතර, දුගතියෙන් මිදී සුගති භවයක උපතට ඉවහල් වන්නකි. සිව්වැන්න ආධ්‍යාත්මික ව වගා කරගත යුත්තකි. එය මෙලොව දී ම විඳිය හැකි පරම සැපත වේ.

විපතින් ගැලවීමට

පුදුහුදුන් මිනිසා පංචකාම ලෝකයේ අත්දැකීම් ඇසුරෙන් සැප ලබා ගැනීමට නිතර වෙහෙස වෙයි. ඔහුගේ අරමුණ පංච ඉන්ද්‍රියන්ට අදාළ අරමුණු ඇසුරෙන් ලබන සැපත වැඩි වැඩියෙන් අත්පත්කර ගැනීමය. පුහුදුන් මිනිසා සොයන සැපය විවිධ ය. විවිධ භෞතික සම්පත් ඒකරාශී කර ගැනීමෙන් යම් සැපතක්, සොම්නසක් වින්දනය කරන්නේ නම්, එය ද එක් සැපයකි. සමාජ බලය හෙවත් පරිවාර සම්පත්තිය ලැබී ඔවුන්ගේ සහය හා උපස්ථානය ඇතිව විසීම තවත් සැපයකි. යම් යම් අවශ්‍යතාවලදී සහයට එවැනි පිරිසක් තමා වටා සිටීම සැපයක් බව ධම්මපද ගාථාවේ දැක්වෙන පළමු කරුණෙන් අවධාරණය වේ (අත්ථම්හි ජාතම්හි සුඛා සාහායා).

විවිධ නම්වලින් හැඳීන්වෙන රක්‍ෂණ ක්‍රම බහුල ව දක්නට ලැබේ. ඒ සියල්ලේ ම අරමුණ විපතේ දී පුද්ගලයාට රැකවරණය සැලසීම ය. ධම්මපද ගාථාවේ පළමු කොටසින් අවධාරණය කෙරෙන්නේ සමාජ සුරක්‍ෂිතතාවයයි. විපතක් සිදුවූ විටෙක එයට මුහුණ දීම සඳහා සහායට ශක්තිමත් පිරිසක් තමා වටා සිටීම කෙනෙකුට අත්පත් කරගත හැකි සමාජ රක්‍ෂණයකි.

බොහෝ විට දක්නට ලැබෙන්නේ සැපතේදී එක් ව සිටින, විපතේ දී අත්හැර දමන මිතුරන් හා සහායකයන් ය. විවිධ අරමුණු හා බලාපොරොත්තු ඇතිව පැමිණෙන එවැනි පුද්ගලයන් බැහැර කොට විපතේ දී මෙන්ම, සැපතේදී ත් තමා හා එක්ව වෙසෙන මිතුරන් ඇසුරු කිරීම සුදුසු ය යන්න බෞද්ධ උපදේශය වේ.

බුද්ධාවවාදය නම් පවිටු මිතුරන් බැහැර කොට කලණ මිතුරන් ඇසුරු කිරීම ය. තමා වටා සිටින සියල්ල ම අසුරු කළ යුතු ය යන අදහස මෙයින් ප්‍රතික්‍ෂේපිත ය.

පවිටු මිතුරන් ඇසුරෙන් ජීවිතය අවුල් කරගත් පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. කල්‍යාණ මිත්‍රත්වය සසුනෙන් අඩක් යැයි පැවසූ ආනන්ද තෙරුන් වහන්සේට බුදුරදුන් වදාළේ අඩක් නොව සමස්ත සසුනම කල්‍යාණ මිත්‍රත්වය මත පවතින බවයි. විපතක් පැමිණිවිට එයින් ගැලවීමට සහයවන පිරිසක් තමා වටා සිටීම මෙන්ම, තම මිතුරා පවින් වළක්වා යහපතෙහි යොදවන කලණ මිතුරන් සිටීම ගිහි පැවිදි සැම කෙනෙකුට ම මහත් ලාභයකි. සැපයෙකි.

සතුටු කළ නොහැකි සිත

දෙවැන්නෙන් අදහස් වන්නේ භෞතික වශයෙන් අත්පත් කරගත යුතු සැපතයි. කෙනෙකුට තමා සතුව කුඩා හෝ විශාල යමක් වේ ද, එයින් ලැබෙන යම් සතුටක් සොම්නසක් වේ ද එය සැපයකි. වෙනත් අකාරයකින් පවසන්නේ නම්, කවර හෝ දෙයක් තමා සතුව තිබේ ද, එයින් ලැබෙන සතුට සැපයක් ලෙස දක්වා තිබේ. මෙය තරමක් සංකීර්ණ කරුණකි. මිනිසුන් විසින් භෞතික වශයෙන් අත්පත්කරගන්නා දෑ බොහෝ ය. ඒ සියල්ල එක හා සමාන නොවේ. එසේ වුව ද ඒ කවර දැයකින් නමුත් සතුටට පත්වීම සැපයකැයි ධම්මපද ගාථාවේ දැක්වේ. බොහෝ දෙනෙකු ගත කරන්නේ අතෘප්තිකර ජීවිතයකි. තමා සතු නොයෙක් දෑ ගැන පසුතැවෙන, දුක්වන අය බහුල වෙති. ඇතැම් විට විශාල වශයෙන් අත්පත් කරගත් භෞතික වස්තු කොතෙක් තිබුණත් ඒ ගැන දුක්වන, අසතුටෙන් කාලය ගෙවන අය බහුල වෙති. එහෙත් භෞතික වශයෙන් ඉතා අවම සම්පත් ප්‍රමාණයක් ඇති ඇතමෙක් ඉතා සතුටින් කාලය ගෙවති. මේ වනාහි ලෝකයේ ස්වභාවය යි. අත්ථි සුඛ හා භෝග සුඛ යනුවෙන් අණන සූත්‍රයේ වෙනත් ආකාරයෙන් දැක්වෙන්නේ මෙම කාරණයයි.

ලද දෙයින් සතුටුවීම සැපයට හේතු වේ. සිත වනාහි කිසිසේත් ම සතුටු කළ නොහැක්කකි. එහි හට ගැනෙන තෘෂ්ණාවට සීමාවක් නොමැත. මිනිස්සු මිය යන්නේ අසම්පූර්ණ වූ අපේක්‍ෂා සහිත ව ය. (උනාවහුත්වාන ජහන්ති දේහං). එහෙත් තමා සතු දැයින් සතුටු වන තැනැත්තා සැම විටම සතුටින් හා සොම්නසින් වාසය කරයි.

මරණයට ධෛර්යයෙන් මුහුණ දීමට

තෙවැන්නෙන් ඉදිරිපත්කෙරෙන්නේ ජීවිතයේ අවසන් සමයෙහි පින් රැස් කර ගැනීමෙන් අත්පත් කර ගන්නා සැපයයි.

පින දෙලොව සැප පිණිස හේතුවන යහපත් කර්මයකි. එය රැස් කරගත් පමණට සැප විඳීය හැකි යැයි දහමෙහි දැක්වේ. එසේම පරලොව යන පුද්ගලයාට පිහිට වන්නේ ද තමා රැස් කළ පුණ්‍ය කර්ම ය. විශේෂයෙන් ම මරණාසන්න සමයෙහි පින් රැස් කිරීම වැදගත් වන්නේ චිත්ත විපල්ලාසයකින් තොරව මරණයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබෙන හෙයින් ය. සිංහල බෞද්ධයන් එය චාරිත්‍රයක් ලෙස අනුගමනය කළ අයුරු ජීවභක්ත දානය හා මරණාසන්න බණ පින්කම්වලින් පැහැදිලි වේ. එහෙත් බුද්ධාවවාදය නම් හැමවිටම පින්කිරීම කළ යුතුය යන්නයි. මල්මාලා ගොතන්නෙකු එකිනෙක මල් ගෙන විසිතුරු මල් දමක් ගොතන්නාක් මෙන් පින් රැස්කළ යුතු යැයි දැක්වේ. වෙනත් ධම්මපද ගාථාවක ඇතුළත් වන්නේ දියබිංඳු එක් වී කළයක් පිරෙන්නාක් මෙන් ටික ටික පින් රැස්කරගත යුතු බවයි. මානව ජීවිතය යුතුකම් හා වගකීම් සමූහයකින් බැ¼දී තිබේ. ඒ සියල්ල ඉටු කිරීමේ දී පිනක්, දහමක් කිරීමට කාලය නොමැතිවී යා හැකි ය. එහෙත් එම වගකීම්වලින් මිඳෙන සැම විටකම තම ආධ්‍යාත්මික ජීවිතය සැපවත් කෙරෙන පින් කිරීමෙහිලා නිරතවීම අත්‍යවශ්‍ය වේ.

සැඳෑ සමයේ දී

බුදුරදුන්ගේ සියලුම ඉගැන්වීම්වල ඒකායන අරමුණ සසර දුකින් පුද්ගලයා මුදවා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ය. අනවරාග්‍ර සංසාරය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් විඳීන ලද දුක ප්‍රමාණ කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ එය මහා සාගරයේ ජල කඳටත්, මහ පොළොවේ පස් රැසටත් උපමා කළහ. එම සසර දුක ප්‍රහාණය කිරීම සැපයකැ යි දැක්වූයේ ඒ හෙයින් ය. (දුක්ඛස්ස පහාණං සුඛං). එම සැපත මෙලොව දී ම අත්විඳීය හැකි දෙයකි. සෙසු ආගම් අවසාන විමුක්තිය මරණින් පසු ලැබේ යැයි දැක්වුව ද බුදු සමය සාකල්‍යයෙන් ම මෙලොව දී ම විමුක්තිය පසක් කළ හැකි යැයි පවසන අතර, එසේම එය පසක් කළ රහත් තෙරවරුන්ගේ හා තෙරණියන්ගෙන් ද, ගිහි උපාසක, උපාසිකාවන්ගේ ද ආදර්ශවලින් යුක්ත දර්ශනයකි. එබැවින් සියලු දුක් නැසීමෙන් ලබන නිවන නම් පරම සැපය අත්විඳීය හැක්කේ මෙලොව දී ම මිස මරණින් පසුව නොවේ. මේ අනුව සම්පතෙහි මෙන් ම, විපතෙහි ද තමා හා එක්ව වෙසෙන මිතුරන් ලැබීම සැපයකි. තමා සතු දෙයින් සතුටුවීම ද සැපයකි. ජීවිතයේ සැඳෑ සමයෙහි දහමට යොමුව පින් කිරීමත් සැපයකි. මේ සියල්ලට ම වඩා සසර දුක් නැසීමෙන් ලැබෙන නිවන් සැපය මෙලොව දී ම අත්පත් කරගත හැකි පරම සැපය වේ.