Print this Article


අලසකම දුරු කරන පහසු මඟ

අලසකම දුරු කරන පහසු මඟ

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ කාල කියා භික්‍ෂුවක් සැවැත් නුවරට ටිකක් ඈත ගමක වාසය කළා. මේ කාල භික්‍ෂුව මෝඩපහේ එක් උපාසිකාවක් රවටාගෙන දිනපතා ම ඇයගේ නිවසට පිණ්ඩපාතය වැඩම කරලා දානේ වැළඳුවා. පන්සලට ඇවිත් බණ භාවනාවක් කරන්නේ නැතිව කුසීතකමින් කාලය ගත කළා. කැමැති තාක් හොඳට නිදා ගත්තා.

හොඳට වැළඳුවා. එච්චරයි කළේ.

ඒ උපාසිකාව ධර්මය දන්නේ නැති නිසා “වළඳලා නිදා ගන්න එක තමයි මහණකම” යි සිතා කාල භික්‍ෂුවට හොඳට සැලකුවා. අසල්වාසී මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඇවිත් ඇය සමඟ බුදු බණෙහි ඇති මිහිරි බව වර්ණනා කළා. අපේ ස්වාමීන් වහන්සේ කවදාවත් ම බණ කියන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න ඇයට ආශාවක් ඇති වුණා. ඒ බව තමන්ගේ කාල භික්‍ෂුවට දැනුම් දුන්නා.

එවිට කාල භික්‍ෂුව කිව්වේ “අපෝ... බුදු බණ ඇසීමෙන් වැඩක් නැහැ. යන්න එපා. යන්න එපා” කියලයි. දැන් ඔබට පැහැදිලියි නේද කුසීතයන් ඇසුරු කිරීමේ විපාකය. ඇයි යන්න එපා කිව්වේ? බුදු බණේ තියෙන්නෙ ම වීර්යාරම්භය ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ ම සසර කෙටි කර ගන්න වීර්යයෙන් කළ යුතු ප්‍රතිපදා මාර්ගය යි.

දවසක් උපාසිකාව කාල භික්‍ෂුවට නොකියා බුදු බණ අහන්න ජේතවනාරාමයට ගියා. ඒ බව දැන ගත්ත කාල භික්‍ෂුවත් ජේවනාරාමයට ඇවිල්ල කියනවා “ස්වාමීනි, මේ උපාසිකාව මහා මෝඩ ගැහැනියක්. ඒ නිසා වීර්යාරම්භ කථා ආදිය කියන්න එපා. දන්දීම ගැන විතරක් කිව්වම ඇති” කියලා. බලන්න කුසීතකමට පුරුදු වුණාම තමනුත් පිරිහීමට පත් වෙමින්, අනෙක් අයත් පිරිහීමට පත් කරන්න හදන හැටි. ඒ නිසයි කුසීත, කම්මැලි පුද්ගලයන් ඇසුරු කරන්න එපා යන්නේ.

ආර්ය මාර්ග ප්‍රතිපදාවේ දී සිහි උපදවා සතර ඉරියව් පැවැත්විය යුතුයි. ඉරියව් එක දිගට පැවැත්වීමේ දී ශරීරයට වෙහෙසක් දැනෙනවා. අපහසුතාවක් ඇති වෙනවා. ඒ වෙහෙස, අපහසුව දිගටම පැවතියොත් ඊළඟට ඇති වෙන්නේ කුසීතකමයි. ඒ නිසා ශරීරයට වෙහෙසක් දැනෙන කොට, අපහසුතාවක් ඇති වෙන කොට අප ඉරියව් වෙනස් කළ යුතුයි. ඒ ඒ අලුත් ඉරියව් ආරම්භයේ දී වීර්යය ඇති කර ගත යුතුයි. උදාහරණයකින් පැහැදිලි කරනව නම් දීර්ඝ වේලාවක් සක්මන් කිරීමේ දී ශරීරයට වෙහෙසක් දැනෙන්න පටන් ගත්තම අපි සක්මන් ඉරියව්ව නවත්තල පළඟක් බැඳගෙන, නැතිනම් ආසනයක හිඳගෙන ඉරියව් පැවැත්විය යුතුයි. එසේ ඉරියව් මාරු කිරීමේ දී නැවත නැවත වීර්යය ආරම්භ කරන්න පුළුවන්. එයයි කායික වීර්ය කිව්වේ.

සසර ඇති භයානක බව තේරුම් ගෙන “සිත කෙලෙසුන්ගෙන් මිදෙන තුරු, සත්‍යාවබෝධ වෙන තුරු මේ රුක් මුලින්, මේ වන ලැහැබෙන්, මේ ශූන්‍යාගාරයෙන් නොනැඟිටිමි, නොනික්මෙමි”යි අධිෂ්ඨාන කර ගත් සිත් ඇතිව වීර්යය වඩ යි ද එයටයි චෛතසික වීර්යය කියන්නේ.

වීර්යාරම්භයේ පටන් ගැන්ම ආරම්භධාතු වීර්ය කියා හඳුන්වනවා. සංසාරය පිළිබඳ ව කළකිරුණු සිතින් කාමාදී ආශාවන් දුරලීමට, නැත්තට ම නැති කිරීමට වීර්යය කරන්න පටන් ගන්නව නම් එයයි ආරම්භකධාතු වීර්ය කියන්නේ. අධික උත්සාහයෙන් යුතු වීර්යයි නික්කමධාතු වීර්ය කියන්නේ.

අයෝනිසෝ මනසිකාරය හේතුවෙන් සමහර දේවල් නුවණින් සලකා බලන්න, විමසා බලන්න නොහැකි වෙනවා. එහෙම වුණොත් සිතේ ඇති වෙන්නේ කුසීත භාවයයි. කුසීත බවට ඉඩ නොදී යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන සියල්ල නුවණින් බලන්න, විමසන්න ඇති කර ගන්නා බලවත් වීර්යය නික්කමධාතු වීර්ය කියා හඳුන්වනවා. වඩාත් බලවත් වූ පරාක්‍රමයෙන් යුත් වීර්යය පරක්කම ධාතුවයි. කෙලෙස් බැමි පුපුරුවා සිඳ බිඳ දැමීමට ඇති අධි මාත්‍ර වීර්යයි පරක්කමධාතු වීර්යය කියන්නේ.

තමන් මෙතෙක් සිදු නොකළ අකුසල්, ඉදිරියේ දී කිසිදු අයුරකින් සිදු නොකිරීමට වීර්යය කිරීම.

තමන් වෙතින් මෙතෙක් සිදු වූ අකුසල්, ඉදිරියේ දී යළිත් සිදු නොකිරීමට වීර්යය කිරීම.

තමන් මෙතෙක් සිදු නොකළ කුසල්, ඉදිරියේ දී කෙසේ හෝ සිදු කිරීමට වීර්යය කිරීම.

තමන් මෙතෙක් කල් සිදු කළ කුසල් , ඉදිරියේ දී තව තවත් සිදු කිරීමට වීර්යය කිරීම.

ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න නම් අනිවාර්යයෙන් ම වීර්ය ඉන්ද්‍රිය වැඩිය යුතුයි. පුරුදු පුහුණු කළ යුතුයි. වීර්ය ඉන්ද්‍රිය වැඩීමේ දී, පුරුදු පුහුණු කිරීමේ දී එය හොඳීන් සිදු කර ගන්න පුළුවන් ක්‍රමයක් පැහැදිලි කරන්නම්. ඒ සඳහා ඔබ කරුණු තුනක් සම්පූර්ණ කරන්න ඕන.

කුසීත, කම්මැළි පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකීම.

වීර්යාරම්භ පුද්ගලයන් ඇසුරු කිරීම හා සම්‍යක් ප්‍රධාන වීර්යය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීමයි.

පළමුවෙන් ම කුසීත කම්මැළි අය ඇසුරු කිරීමෙන් වළකින්න ඕන. “කුසීතෙ පුග්ගලෙ පරිවජ්ජයතො” කිව්වේ එයයි. මොකද? කුසීත පුද්ගලයන් ඇසුරු කරන්න, ඇසුරු කරන්න අපිත් කුසීතකමට පුරුදු වෙනවා. අපිටත් කම්මැළිකම පුරුදු වෙනවා. කුසීතකම, කම්මැළිකම නිසා සියලු සත්වයෝ දුර්භාග්‍යයට, දුගතියට, පිරිහීමට පත් වෙනවා. ඒ නිසයි කුසීත පුද්ගලයන් ඇසුරු කරන්න එපා කිව්වේ. කුසීතයන් ඇසුරු කළොත් කාල භික්‍ෂුවට උපස්ථාන කළ උපාසිකාවට වගේ අපිටත් අනර්ථයක්මයි වෙන්නේ. එදා ඒ උපාසිකාව බේරගන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. අද තත්වය මොකද්ද එහෙම වුණොත්? හොඳට හිතලා බලන්න.