Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 16 කොටස:  නායක හිමි සිතෙහි ඇති වූ සැකය

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 16 කොටස: 

නායක හිමි සිතෙහි ඇති වූ සැකය

නාගදීපයේ සිට නල්ලතන්නියේ විහාරස්ථානයට ගොස් වසරක පමණ කාලයක් එහි නේවාසික ව සිටි පදුමකිත්ති හිමියන් එහි දී ධනපාල නම් අය විසින් කළ නොමනා වදන් පෙළකට උරණ වී ඔහුට දොර පොල්ලකින් පහර දුන්හ. පහර දුන් දොර පොල්ලේ තිබූ යකඩ ඇණයක් නිසා ධනපාලට සිදු වූ තුවාල සුළුපටු නොවී ය.

ධනපාලගේ හිසට වැදී තිබුණු පහර දරුණු තුවාල සහිත වූ අතර ඔහු රෝහල් ගත කෙරිණි. එහෙත් පවරකිත්ති හිමියන් ධනපාලටත්, ඔහු රෝහල කරා ගෙන ගිය පිරිසටත් දිගින් දිගටම පවසන ලද්දේ බිමට ඇද වැටී ඇණ සහිත පොල්ලක් හිස ගැටී සිදුවුණු අනතුරක් බව පවසන ලෙසයි.

ධනපාල රෝහල් ගත කළ පසුව පවරකිත්ති හිමියන් පදුමකිත්ති හිමි අමතා පැවසුවේ විහාරස්ථානයෙන් ඉක්මනින් පිටත්ව යන ලෙසයි. ධනපාල රෝහලෙන් පැමිණෙන විට පදුමකිත්ති හිමියන් විහාරස්ථානයේ වැඩ සිටීම නුසුදුසු බවත් උන් වහන්සේ දෝෂාරෝපණය කරමින් පැවසූහ. පදුමකිත්ති හිමියෝ පිටත්වීමට සූදානම් වූහ. ආපසු වඩිනා පදුමකිත්ති හිමියන්ට විහාරස්ථානයට එකතු වූ මුදල්වලින් රුපියල් 1000කට අධික මුදලක් ද ලැබුණි. නාගදීපයට ආපසු වැඩම කරන විට දෙමටගොඩ ධර්මාරාම විහාරයෙන් පදුමකිත්ති හිමියන්ට ලිපියක් ලැබී තිබුණි. එම ලිපියේ සඳහන් වූයේ සීවලී හිමියන්ට තවත් විහාරස්ථානයක් හිමිව ඇති බව එය බලා ගන්නට ස්වාමීන් වහන්සේ නමක් නොමැති වීම අඩුවක් බවත්ය. එම නිසා දෙමටගොඩ විහාරස්ථානයට පැමිණෙන ලෙස ද සීවලී හිමියෝ පවසා තිබුණි.

කෙසේ හෝ හැකි ඉක්මනින් නාගදීපයෙන් පිටත්ව එහි යාමට පදුමකිත්ති හිමියන් තීරණය කළේ නල්ලතන්නියේ පවරකිත්ති හිමියන්ගෙන් නායක හිමියන්ට තොරතුරු සහිත ලිපියක් ලැබීමට පෙර යාම නුවණට හුරු බව සිතමිනි. දෙමටගොඩට පැමිණීමෙන් පසුව සීවලී හිමියන් විසින් පදුමකිත්ති හිමියන් කැටුව ගියේ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ය. අක්කරයකට ආසන්න භූමි භාගයක එම විහාරස්ථානය පිහිටා තිබුණු අතර එම විහාරස්ථානය අවට මුස්ලිම් ජනතාව පදිංචිව සිටියහ. ඔවුන් නිරතුරුව ම උත්සාහ කෙළේ විහාරස්ථානයට අයත් භූමිය ආක්‍රමණය කිරීමට ය. සීවලී හිමියන් පදුමකිත්ති හිමියන්ට එම විහාරස්ථානය බාර දී දෙමටගොඩ විහාරයට වැඩම කළහ. මුස්ලිම් ජනතාව විසින් වරින් වර කරනා කළබැගෑනි අනුව පදුමකිත්ති හිමියෝ එක් කරුණක් අවබෝධ කර ගත්හ. සීවලී හිමියන්ට ඒ පිරිස සමඟ කටයුතු කිරීම අපහසු නිසා පදුමකිත්ති හිමියන්ගේ කල්කිරියාව ද හොඳීන් දන්නා නිසා කෙසේ හෝ මුස්ලිම් ජනතාව පාලනය කරගෙන පදුමකිත්ති හිමියන් එහි වැඩ වාසය කරනු ඇතැයි යන අදහස සීවලී හිමියන් තුළ තිබෙන බව පදුමකිත්ති හිමියන්ට වැටහුණි. නල්ලතන්නියේ සිදුවීමටත් වැඩිකලක් ගතව නොතිබුණු හෙයින් අනවශ්‍ය කලකෝලාහලවලට පැටලීමට පදුමකිත්ති හිමියෝ අකමැති වූහ. එම නිසා හෙමින් සීරුවේ නාගදීපය බලා පිටත්වීමට උන් වහන්සේ කටයුතු කළහ. පදුමකිත්ති හිමියන් නාගදීපයට වැඩම කරන විට රතනකිත්ති නමින් තවත් සාමණේර හිමිනමක් පැවිදි ව සිටියහ. ඒ නාගදීපයේ නා හිමියන්ගේ අලුත්ම පැවිදි සාමණේර නම විය. රතනකිත්ති හිමියන් සමඟ එක්ව විහාරස්ථානයේ වැඩ කටයුතු කළ ද ඇතැම් විට එක්වරම රතනකිත්ති හිමියන් අතුරුදන් ව සිට පැයකට පමණ පසු දැකීම පදුමකිත්ති හිමියන්ට පුදුම උපදවන්නක් විය.

‘‘උන්නාන්සෙ හිටපු ගමන් අන්තර්දාන වෙන්නේ මොකද‘‘

‘‘මම ටිකක් භාවනා කළා...‘‘ ඒ පිළිතුරෙන් පදුමකිත්ති හිමියන්ට සෑහීමකට පත්වන්නට නුපුළුවන් වුවත් හේතුවක් සොයා ගන්නට නොහැකි විය.

ටික කලකට පසුව එක් උදෑසනක රතනකිත්ති හිමියන් සමඟ නායක හිමියන් බොහෝ වේලාවක් කතා කරමින් සිටිනු පදුමකිත්ති හිමියෝ දුටුවහ. එහෙත් ඒ කතා බහ උන් වහන්සේට ඇසුණේ නැත. කෙසේ හෝ කතාව අසා ගන්නට පදුමකිත්ති හිමියන් වෙනත් වැඩක් කරනා මුවාවෙන් එතැනට වැඩම කළහ.

‘‘මනුස්සයෙක් විදිහට උපදින එක කොයිතරම් අමාරුද? හැබැයි ඊටත් වඩා අමාරුයි මනුස්සයෙක් වගේ ජීවත් වෙන එක, ගමට ගිහින් හොඳ මිනිහෙක් වෙලා එන්න.‘‘ නාහිමියෝ පැවසූහ.

රතනකිත්ති හිමියෝ ද කතාබහක් නොමැතිව එය පිළිගෙන පදුමකිත්ති හිමියන් ළඟට වැඩම කොට ‘‘පදුමකිත්ති හාමුදුරුවෝ මම ගිහින් එන්නම්‘‘ කියා වැඩියහ. එහෙත් දින සති ගණන් ගිය ද රතනකිත්ති හිමියන් ආපසු වැඩම කෙළේ නැත. එහි හේතුව පදුමකිත්ති හිමියන් දැන ගත්තේ සෑහෙන කාලයකට පසුව ය.

විහාරස්ථානයේ මෙන්ම නායක හිමියන්ගේ කාමරයේ මුදල් නැතිවීම් කිහිපයක් ගැන නායක හිමියන් විමසිල්ලෙන් සිට ඇත. එම මුදල් ගන්නේ පදුමකිත්ති හිමියන් ද නැත්නම් රතනකිත්ති හිමියන්ද යන සැකය නායක හිමියන් තුළ තිබුණි. එම නිසා ඒ සඳහා කිසිවකුටවත් නොදැනෙන ලෙසින් නා හිමියන් විසින් එය සොයා ගෙන ඇත. ඒ අනුව මුදල් සොරා ගන්නේ රතනකිත්ති හිමියන් බව දැනගෙන ගමට ගොස් හොඳ සිරිත් උගෙන පැමිණෙන්නැයි පැවසුව ද උන් වහන්සේ යළි නොපැමිණියහ. රතනකිත්ති හිමියන් විහාරස්ථානයෙන් සිවුරු සහිතව වැඩම කළ ද පසුව සිවුරු හැර ඇති බවද පදුමකිත්ති හිමියන්ට සැල විය.

රතනකිත්ති හිමියන් හිටිගමන් අතුරුදන් වන්නේ මේ මුදල් සොරා ගැනීමට බව පදුමකිත්ති හිමියන්ට කල්පනා විය. ඇසුරට වෙනත් සමීප අයෙක් නොසිටි හෙයින් පදුමකිත්ති හිමියෝ යළිත් නාවික හමුදා කඳවුරට වැඩම කරන්නට වූහ. එහි සිටි නිලධාරීන් මෙන්ම නාවික හමුදා සෙබළුන්ද නිරතුරුව ම පදුමකිත්ති හිමියන්ට පැවසුවේ උතුරු පළාතේ ජාතිවාදී ක්‍රියාවන් හිස එසවෙමින් තිබෙන බවයි.