Print this Article


දෙව් ලොව ප්‍රාර්ථනා කළ පතිපූජිකා උපාසිකාව

දෙව් ලොව ප්‍රාර්ථනා කළ පතිපූජිකා උපාසිකාව

දේව පුත්‍රය, මනුස්ස ලෝකයේ මිනිස්සු හරිම පුදුමයි. ඔවුන් තමන්ගේ ඥාතින්, හිතුවතුන්, අසල්වාසින් මිය යනවා දැක දැකත් අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ ඇතිවාක් මෙන් කාලය කා දමනවා. පින්කම් කරනවා තබා ඒ ගැන කිසිදු උත්සාහයක්වත් ඔවුන් තුළ නැහැ.

ජීවිතය බොහෝ විට විදුලියක් මෙන් සැණෙකින් මැකී යනවා. ඇතැමෙක් බොහෝ කල් ජීවත් වුවත් ඒ ජීවිතයත් දිය බුබුළක් මෙන් බිඳෙනවා. ආයුෂ කෙළවර වූ විට තණ අග පිනි බිඳක් මෙන් සිඳී යනවා. දියෙහි ඇඳී ඉරක් මෙන් මැකී යනවා. මිනිස් ජිවිතය එතරම් අනිත්‍ය යි.

එසේ ඉපදෙන සමහර ලෝකවල ආයුෂ ඉතා දීර්ඝ යි. සමහර ලෝකවල ආයුෂ ඉතා කෙටි යි. මිනිසකුට යටි පතුල සෝදන්නට මදිවන ජලය කුහුඹු ගුලකට මහ ජල ගැල්මක් වෙනවා. එනිසා මෙලොව ජීවත්වන මිනිසුන් අවුරුදු ගණනක් දින ගණනක්, සදාකාලික යැයි සිතමින්, කුසල් කිරීමෙන් ඈත් ව ජීවත්වන පිරිස කුසල් කිරීමට පොළඹවා ගනු පිණිස පතිපූජිකාවගේ කතාව අපට උදාහරණයක් සපයනවා.

තව්තිසා දෙව්ලොව මාලාභාරී නමින් එක් දිව්‍ය පුත්‍රයෙක් වාසය කළා. ඔහු මල් පැළැ¼දීමට දැඩි ලෙස ආශා කළා. ඒ දේව පුත්‍රයාට දිව්‍ය අප්සරාවන් දහසක පරිවාර සේනාවක් සිටියා. ඒ සියලු දෙනා තව්තිසාවේ උද්‍යානයට ගොස් ඒ දේව පුත්‍රයාට පලඳීනු පිණිස මල් නෙළන්නට පුරුදුව සිටියා. ඒ දිව්‍ය ස්ත්‍රීන් පන්සියයක් මල් ගස් උඩට නගිනවා. ඉතිරි පන්සියය බිම සිට මල් අහුලා දිව්‍ය පුත්‍රයාට පළඳවනවා. ගස්වලට නැග මල් නෙළමින් සිටි අප්සරාවන්ගෙන් එක් දෙව් දුවකගේ ආයු කාලය හා කළ පින් අවසන් වීමෙනුත් මල් ගස මුදුනේ දී ම මිය ගියා. ඇගේ විශාල ශරීරය පහනක් නිවී යනවා වගේ එතැනින් අතුරුදහන් වුණා.

ඇය දෙව් ලොවින් චුත ව මිනිස් ලෝකයේ ඉපදුණා. ඒ සැවැත්නුවර වාසය කළ එක් පවුලක දියණියක ලෙසයි. වැඩිවියට පත්වන ඇයට පෙර උපන් ජාති සිහි කිරීමේ නුවණ ලැබුණා. දැරිය දැනගත්තා තමන් පෙර ජීවිතයේ තව්තිසා දෙව්ලොව මාලාභාරී නම් දිව්‍ය පුත්‍රයාගේ පරිවාර ස්ත්‍රීන් අතර සිටි කෙනෙක් කියලා.

ඇය දිනපතා ම මල්, පහන් පුදා, බණ අසා, දන් දී ඒ සියලු පින් පෙර ආත්මයේ සැමියා වූ මාලාභාරී දිව්‍ය පුත්‍රයාට අනුමෝදන් කර මම නැවත ඒ දෙව් පුත්‍රයාගේ භාර්යාව වී ඉපදේවා! යි ප්‍රාර්ථනා කරනවා. වැඩිවියට පත් වූ පසු ඇය මව්පියන් විසින් සුදුසු තරුණයෙකු හා විවාහ කර දුන්නා. එසේ විවාහ වුව ද ඇය නොයෙක් ආකාරයේ පින් දහම් කරමින් මාලාභාරී දිව්‍ය පුත්‍රයාට පින් දී යළි ඔහුගේ භාර්යාව වේවායි! ප්‍රාර්ථනා කරනවා. එනිසා ඇගේ නාමය අමතක ව ගොස් ඇය පතිපූජිකා නමින් ප්‍රසිද්ධ වුණා.

පතිපූජිකා විහාරයට ගිය විට කඩිසර ව සියලු වැඩපළ සොයා බලා කරනවා. දාන ශාලාව අමදිනවා, පැන් පෙරා භාජනවලට ගෙනවිත් තබනවා, ආසන සකසනවා, මේ කාර්යයන් පිළිවෙළකට කරන නිසා අසල්වාසීන්ගේ දානය ඇති දවසට ඇයට ඔවුන් එළවලු, සහල් ගෙනවිත් දී පතිපූජිකා අද මේ දානය සකස් කොට ඔබ පූජා කරන්න යැයි පවසා ඔවුන් නික්ම යනවා. මේ ආකාරයට ඇය විවිධ පින්කම් බොහෝ මහන්සියෙන් සිදු කරනවා.

කාලයාගේ ඇවෑමෙන් ඇය පිරිමි දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. දැන් ඇය මැදිවියේ කාන්තාවක්. එක් දිනක් විහාරයේ ස්වාමින් වහන්සේලාට දානය පූජා කර , ධර්මය අසා, විහාරය පිරිසුදු කර නිවසට ගියා. හදිසියේ ඇති වූ රෝගයක් උත්සන්න වීමෙන් ඇය මරණයට පත්වුණා. පතිපූජිකා උපන්නේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා මල් පලඳීමින් සිටි ස්ථානයේ ම යි. මේ සියලු සිදුවීම් සිදු වූ කාලය අතරතුර දී ඒ දිව්‍ය ලෝකයේ දෙව්දූවරු පන්සියයක් මල් නෙළමින් ද, අනෙක් පන්සියය දිව්‍ය පුත්‍රයාට නො කඩවා මල් පලඳවමින් සිටියා.

තමා අසල වූ පතිපූජිකා දුටු මාලාභාරී දිව්‍ය පුත්‍රයා අසනවා,

"දෙව්දුව ඔබ අද උදෑසන දුටුවාට පසුව මම දුටු‍වේ දැනු යි. මේ වරුවේ ඔබ ගියේ කොහි ද?"

"දේව පුත්‍රය මම දිව්‍ය ලෝකයෙන් චුත වුණා."

"මේ කුමක්ද ඔබ පවසන්නේ? අදහාගන්නටත් අසීරුයි. මේ වරුවක වැනි කාලයක දී ඔබ මිය ගොස් නැවත උපන්නා ද?"

"දේව පුත්‍රය, මා මිය ගිය බව සත්‍ය යි. මා ඉපදුණේ. මිනිස් ලෝකයේ. සැවැත්නුවර මම උපන් වෙලාවේ පටන් පෙර පසු ආත්මභාවය කුමක්දැයි සොයා දැනගෙන නැවත ඔබ අසලම උපත ලබම්වා! යි සිතමින් නොයෙක් පින් කළා."

"දෙව්දුව ඔබ කොපමණ කාලයක් මිනිස් ලොව ජීවත් වුණා ද? "

"දේව පුත්‍රය, මිනිස් ලෝකයේ ගණන් ගැනීම අනුව මම මව් කුසේ දස මසක් කල්ගත කළා. මව්කුසින් බිහි වී දහසය වැනි වියේ දී විවාහ වුණා. ඒ විවාහයෙන් දරුවන් සතර දෙනෙක් ලැබුණා. "

"දෙව්දුව, මේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ කොපමණ ද?"

"දේව පුත්‍රය, අවුරුදු සියයකට වැඩිය ජීවත් වන්නේ ඉතාමත් අල්ප දෙනයි.

එසේනම් දෙව් දුව මෙතරම් කෙටි ආයුෂ තිබෙන මිනිසුන් පවට බය ඇති නේ ද? අකුසල් කරමින් නිකරුණේ කාලය කා දමමින් ගත කරනවා ද? නැතිනම් මසුරන් දහසක් ඇති කෙනෙක් තව මසුරමක් වැඩි කර ගන්නට දිවා රාත්‍රී මහන්සි වෙනවා ද? එසේ නැතිනම් මිනිසුන් බොහෝ පින්කම් කරමින් ඔවුන්ගේ කෙටි ආයුෂ කාලය සතුටෙන් ගෙවනවා ද? "

"ස්වාමිනි, දේව පුත්‍රය, මනුස්ස ලෝකයේ මිනිස්සු හරිම පුදුමයි. ඔවුන් තමන්ගේ ඥාතින්, හිතුවතුන්, අසල්වාසින් මිය යනවා දැක දැකත් අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ ඇතිවාක් මෙන් කාලය කා දමනවා. පින්කම් කරනවා තබා ඒ ගැන කිසිදු උත්සාහයක්වත් ඔවුන් තුළ නැහැ."

ඒ ගැන ඇසූ මාලාභාරී දෙවියාට මිනිසුන් ගැන අනුකම්පාවක් ඇති වුණා.

"දෙව්දුව, මිනිසුන්ගේ ආයුෂ කෙ තරම් කෙටි ද? ඔවුන්ගේ ආයුෂ මනින ආකාරයට ඒ ලෝකයේ අවුරුදු සියයක් තව්තිසා දෙව්ලොව වාසය කරන අපගේ එක් දවසක්. එසේ දවස් තිහක් මාසයක්. ඒ අයුරෙන් දෙව්ලොව එක් මාසයක් මිනිසුන්ගේ අවුරුදු තුන් දහසක්. දෙව්ලොව එවන් මාස දොළොසක් එක් අවුරුද්ද යි. මෙසේ බලන විට ඔබ දෙව් ලොවෙන් චුත ව මිනිස් ලොව ඉපදී, විවාහ වී, දරුවන් සතර දෙනෙකුත් බිහිකර හදා වඩා මිය යනවිට අවුරුදු පනහයි. අපේ ආයුෂයෙන් දවසෙන් වරුව යි. නමුත් මෙ තරම් කෙටි ආයුෂ ඇති මිනිසුන් කුසලයට ප්‍රමාද වන්නේ ඇයි?" කියමින් දේව පුත්‍රයා කළකිරීමට පත් වුණා.

ඒ අතර, සැවැත්නුවර පතිපූජිකා වාසය කළ ගමේ විහාරයේ භික්ෂූන් වහන්සේලා දාන ශාලාවට වඩින විට එදා දාන ශාලාව පිරිසුදු කර තිබුණේ නැහැ. භාජනවලට පැන් පුරවා නැහැ, අතුපතු ගා නැහැ. භික්ෂූන් වහන්සේලා අසනවා,

"වෙනදාට විහාරයේ සියලු වැඩ කර බොහෝ පින් රැස්කර ගන්නා පතිපූජිකා අද නැත්තේ ඇයි? ඇය බැහැරට ගිහින් ද?"

"අනේ ස්වාමිනි, ඊයේ ඔබ වහන්සේලාට උපස්ථාන කොට ඇය නිවසට ගොස් හවස් වරුවේ හදිසියේ ඇති වූ රෝගයක් උත්සන්න වීමෙන් මරණයට පත්වුණා."

සැවැත්නුවර වැඩසිටි ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගොස් අසා සිටියා

"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අපට උපස්ථාන කළ පතිපූජිකා මෑණියන් ඊයේ හදිසියේ මිය ගියා. ඇය කොහේ උපත ලැබුවා ද?"

පින්වත් මහණෙනි, පතිපූජිකා මෙලොව දී බොහෝ පින් දහම් කළා. ඒ පින් දෙව්ලොව සිටින පූර්ව ආත්මයේ තම සැමියාට අනුමෝදන් කළා. ඇය පැතුවේ නැවතත් ඒ දේව පුත්‍රයාගේ ම බිරිඳ වීමට යි. ඒ පැතුම අනුව ඇය මිය ගොස් පෙර සිටි තව්තිසා දිව්‍ය ලෝකයේ මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ භාර්යාව වී උපත ලබා සිටිනවා. පතිපූජිකාවගේ ජීවිතයේ මේ සියලු සිදුවීම් සිදු වෙද්දී දෙව්ලොව එක වරුවක් පමණයි ගත වී තිබුණේ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අල්ප ආයුෂ ඇති අප, බොහෝ දුර්ලභ ව ලැබූ මේ මිනිස් ජීවිතයේ දී හැකි තරම් පින් දහම් කොට දෙලොව ම සාර්ථක කරගත යුතු වෙනවා.