Print this Article


හොඳ පසු පස එන නරක

හොඳ පසු පස එන නරක

" ඇතැම් මව්පියෝ සීමාවකින් තොරව දරුවන් පාලනය කරති. ඔවුන්ට නිදහස පිළිබඳ ව අවබෝධයක් හෝ ලැබෙන්නට ඉඩකඩ නොතබති. ඔවුහු තම දරුවන් තමන්ට අවශ්‍ය පරිදි හැසිරිය යුතු බව සිතති."

දරුවන්ට ඉතා ආදරඇති පිය කෙනෙක් විය. ඔහු තමන්ගේ දරුවන්ට අසීමිත ලෙස ආදරය කළත් එක් වැරැද්දක් හිතාමතා ම සිදු කළේ ය. ඒ දුම්පානය කිරීම යි.

දරුවනට ඇති ආදරය නිසා ඔහු එය සිදු කළේ සැඟැවී සිට ය. සැමදා ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙස දුම් වැටියක් පානය කිරීම මොහුගේ සිරිත යි. ඔහුගේ නිවසේ එක් කුඩා පුතකු සිටි අතර, පියා ඔහුට හොරෙන් කුස්සියේ පිළිකන්නේ සිට දුම් බීමට පුරුදු වී සිටියේ ය. පොඩි ළමයින්ට හොරා කිසිවක් කළ නොහැකි යැයි අප සමාජයේ විශ්වාසයක් පවතී. මෙම පොඩි දරුවා ද කෙසේ හෝ තම පියාගේ ක්‍රියා කලාපය ඉතා හොඳින් දැන සිටියේ ය.

දිනක් මෙම පියා දුම් වැටියක් පානය කොට නිවසට අවුත් තම කුඩා පුතු සෙව්වේ ඔහුට ආදරය දක්වන්නට විය හැකි යි. එහෙත් පුතා පෙනෙන්නට නොවී ය. ඔහු පුතා සෙව්වේ ය. වඩාත් සෝදිසියෙන් බලන විට ඔහුට දෙනෙත් අදහාගත නොහැකි දෙයක් දක්නට ලැබුණි. තම කුඩා පුතු රෙදි වලින් ආවරණය වූ තැනකට වී කඩදාසි කැබැල්ලක් ඔතාගෙන එය කටේ තබාගෙන දුම් බොන ආකාරයට සිටියේ ය.

මෙය දුටු පියාට කුමක් සිතෙන්නට ඇද්ද? ඔහු බුද්ධිමත් නම්, එවෙලේ ම දුම් පානය අත්හරිනු ඇත. ඔහු අදූරදර්ශී නම්, තම පුතා ගෙන සුරතල් කරනු ඇත.

සමාජයේ පවතින තත්ත්වය නම් ඇතැම් මව්පියන්ගේ සදාචාර විරෝධි ව්‍යාපාරයනට තම දූ දරුවන් විවිධ ජාවාරම් සඳහා ද යෙදවීම ය. එසේම ඇතැම්හු තම දරුවන් ඉදිරියෙහි අසභ්‍ය වචන කියති. ඔවුනොවුන් අඬදබර කර ගනිති. එබඳු දෙමව්පියනට තම දරුවන්ගෙන් හොඳ අනාගතයක් බලාපොරොත්තු විය නොහැකි ය. ඉතා හදිසියෙන් හැරෙන්නට එබඳු පවුල්වලින් බොහෝ දුරට බිහි වන්නෝ සමාජයට ඉතා බරක්, හිසරදයක් ගෙන දෙන දරුවෝ ය. මේ තත්ත්වය වටහා ගෙන මව්පියන් පළමුවෙන් ම ආදර්ශවත් විය යුතු ය.

ඔවුන් “පූර්වාචාර්ය” වන්නේ දූ දරුවන්ට ආදර්ශයෙන් පළමුව සියලු දේ ම කියා දෙන බැවිනි. දූ දරුවන්ට කොතරම් හොඳ නරක කියා දුන්නත් ප්‍රතිඵල රහිත වන්නේ ප්‍රධාන වශයෙන් මව්පියන් ආදර්ශවත් නො වන විට ය. දරුවන් හදන වඩන මව්පියන් වශයෙන් ප්‍රධාන වශයෙන් සැලැකිලිමත් විය යුත්තේ සිය නිවසේ පරිසරය වඩා උචිත පරිසරයක් බවට සකස් කිරීමට ය. ගෙදර පරිසරය හොඳවන තරමට ඒ පරිසරයෙන් බිහි වන දරුවාගේ චරිතය ද හොඳ එකක් බව නො කිව මනා ය. එය කළහැක්කේ මව්පියනට මිස වෙන කා හට ද?

දරුවෝ ඥානයෙන්, වයසින් වැඩෙත් ම බුද්ධිමත් ව හිතන්නට උත්සාහවත් වෙති. මව්පියන්ගේ චරිතයන් පිළිබඳ ව වුව දරුවෝ විමැසිලිමත් වෙති. එබඳු අවස්ථාවන් හි දී විවිධ අඩු පාඩු දක්නට ලැබුණහොත් ඔවුන් පිළිබඳ කළ කිරීමක් ඇති කර ගැනීම වළක්වාලිය නොහැකි ය. චරිතයෙන් හා සිතුම් පැතුම්වලින් වුව ද මව්පියන් ආදර්ශවත් විය යුතු ය.

මව්පියන් දුසිල්වත් ව දරුවන් සිල්වත් කරන්නට යෑම ඉතා අපහසු ක්‍රියාවෙකි. මව්පියන් කායික ව හා වාචසික ව සංවර විය යුතු ය. සීලය යනු කය, වචන දෙකේ ඇති දැමුණු ගතිය යි. හික්මුණු ස්වභාවය යි. සංවරකම යි. ඔවුන් නිතරම ද්වේෂ සහගත ව සිටිමින් දරුවන්ට මෛත්‍රියෙන් ක්‍රියා කරන්නැයි කීවද එය ඉටුවේ ද? කෙටියෙන් පවසතොත් නො මඟ ගමන් කරන මව්පියන්ට තම දරුවන් සුමගට යොමු කළ හැක්කේ ඉතා අල්ප වශයෙනි. එය ද මව්පියන්ගේ දක්ෂතාවක් මත නො ව දරුවන්ගේ තීක්ෂණ බුද්ධිය නිසා ඇති කර ගන්නා දෙයකි. එම දරුවන් හදන වඩන මව්පියන් වෙසෙසින් දරුවන්ට ආදර්ශවත් විය යුතු ය. එබඳු අයට බොහෝදුරට තම දරුවන් පිළිබඳ හොඳ බලාපොරොත්තුවක් තබා ගත හැකි ය.

මව්පියන් කෙතරම් ආදර්ශවත් වුව ද ඇතැම් දූ දරුවෝ නොමගට ගමන් කරති. ඒ කවර හේතුවක් නිසා දැයි විමසා බැලීම සෑම ආදර්ශවත් මව්පියන් විසින් ම සිදු කළ යුතුව පවතී. ඇතැම් දරුවන් කුඩා කල ඉතා හොඳින් කීකරු ව සිටියත්, වයසින් වැඩෙත් ම අකීකරු, අවිනීත වන බවට ඇතැම් මව්පියෝ මැසිවිලි නගති. “මෙයා පොඩි කාලෙ නම් හරි හොඳයි. ඒත් දැන් එක විදියක්” යනුවෙන් කියන අවස්ථා නොයෙක් විට අසන්නට ලැබේ. මෙබඳු තත්ත්වයක් ඇති වන්නට හේතු කීපයක් ම බලපාන බව මනාව විමසන්නෙකුට වටහා ගත හැකි ය.

ඇතැම් මව්පියෝ අසීමාන්තික ලෙස දරුවන් පාලනය කරති. ඔවුන්ට නිදහස පිළිබඳ ව අවබෝධයක් හෝ ලැබෙන්නට ඉඩකඩ නොතබති. ඔවුහු තම දරුවන් තමන්ට අවශ්‍ය පරිදි හැසිරිය යුතු බව සිතති. තම දරුවන් නිරතුරු සිය නිවසේ ම සිටිය යුතු බවත්, මුළු කාලය ම ඉගෙනීම සඳහා කැප කළ යුතු බවත් කල්පනා කරන මව්පියෝ සමාජයේ බොහෝ වෙසෙති. ඕනෑම කෙනෙකුට වයසින්, දැනුමින් වැඩෙත් ම මානසික නිදහසක් තිබිය යුතු ය.

යමක් බලෙන් කරවන්නට යාම හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ. බොහෝ විට අහිතකර ප්‍රතිඵල එමඟින් උදාවෙයි. ඉගෙන ගත යුතු අවධියේ දී ළමයින් ඒ සඳහා උත්සාහවත් කළ යුතු ය. ඉගෙනීමේ ඇති වටිනාකම පහදා දිය යුතු ය. සමාජයේ අධ්‍යාපනයක් නො ලබා දුක් විඳින අය පෙන්වා ඉගෙන නොගැනීමෙන් විඳින්නට සිදුවන ආදීනව උදාහරණයන්ගෙන් ම දැක්විය යුතු ය. එවිට ළමයින් ඒ සඳහා උත්සාහවත් වනු ඇත. එසේත් බැරි වුවහොත් දඬුවම් කිරීම ආදිය විටින් විට සිදු කිරීම වුව වරදක් නො වේ.

එහෙත් අධ්‍යාපනයට ම ඇලී ගැලී කටයුතු කිරීම පසුව විවිධ මානසික ආබාධයන් සඳහා මූලික වන බවත් අප අවබෝධ කර ගත යුතු ය. එබඳු අය උගත් පිස්සන් හැටියට හඳුන්වනු ලැබෙත්, නිරන්තරයෙන් ම ඉගෙන ගෙන එය ධාරණය කර ගැනීමේ ශක්තිය ඉක්ම ගිය පසු නිතර ම විවිධ දේ කියවන්නට වීමත්, බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටීමත් මේ මානසික රෝගීන්ගේ ප්‍රධාන ලක්ෂණ ය.

ඔවුහු තමන් ඉගෙන ගත් දේ පිළිබඳ ව මනසින් තර්ක කරති. නිතර නිතර ඒ පිළිබඳ ව කල්පනා කරති. නිවසේ හෝ, බාහිර සමාජයේ හෝ සිදුවන දේ පිළිබඳ ව ඔවුනට අවශ්‍යතාවක් නැත. ශාරීරික පවිත්‍රතාව පිළිබඳ ව වුව ද ඔවුනට හැඟීමක් නැත. ඔවුහු මනස පිළිබඳ නිතර විමසති. එයින් සිදු කළ හැකි ප්‍රාතිහාර්යය පිළිබඳව සිහින මවති. එබඳු අය භාවනාව පිළිබඳව ද උනන්දුවක් දක්වති. ඒ සසර දුකින් මිදෙන්නට නොව ධ්‍යාන අභිඥා ආදිය ලබා තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ ය යන හැඟීම ඔවුන් තුළ තැන්පත් වී ඇති බැවිනි.

ළමයෙකු කිසිදු බාහිර කටයුත්තකට සහභාගි නොවී ගෙදරට වී පාඩම් කටයුතු ම කරමින් සිටින විට ඇතැම් මව්පියවරු ‘මගේ දරුවා හොඳ කෙනෙකැ’යි සිතති. කියති. එහෙත් එබඳු අය පසු කාලීන ව විවිධ අසහනයන්ට ගොදුරු වීම බහුල බව සමාජය දෙස බලන කල පෙනේ. ළමයකු වයසින් වැඩෙත්ම ඔහුගේ විවිධ චිත්තධාරාවන් මනසේ ක්‍රමයෙන් තැන්පත් වේ.

කිසියම් පීඩනයක් නිසා ඒවා ප්‍රකට නොවේ. ඉඩ ලද සැනින් ඒවා සමහරවිට පුපුරා යයි. සමහර විට මනස අවුල් කරයි. විවිධ අසහනයන්ට මුල් වන්නේ මේ පීඩිත ව පැවැති සිතිවිලි ය. ඒ තුළින් ළමයි විවිධාකාරී අසහනයට ගොදුරු වෙයි. සමහර විට මව්පියනට එය වටහා ගත නොහැකි ය. ඔවුන් එබඳු අවස්ථාවල දී හොඳ යයි සිතන මුත් සිදු වන්නේ වෙන දෙයකි.