Print this Article


නුවණ පැතීම

නුවණ පැතීම

කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගං තෙරක බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාමයක් විය. එහි වෙසෙන වත් සම්පූර්ණ කරන භික්ෂූහු උදයෙන් ම නැගිට ඉදල් ගෙන බුදු ගුණ සිහි කරමින් මිදුල් ඇමදිති.

එක් තෙර නමක් ඇමදූ කසළ එකතු කොට සමීපයෙන් යන සාමණේර නමක් දැක ‘සාමණේරය! මේ කුණු ඉවත් කරන්න” යි කීය. සාමණේර නම නො ඇසුණාක් මෙන් ගියේ ය. දෙවන තුන්වන වරද එසේ කී නමුත් සාමණේර නම ඇහුන්කන් නුදුන්නේ ය. තෙර නම කිපී සාමණේර නමට ඉදල් මිටින් පහරක් ගැසී ය. සාමණේර තෙමේ බියවී හඬමින් කසළ ගොඩ ගෙන ගොස් දමා ‘මේ කසළ ඉවත් කිරීමේ පිනෙන් මම නිවනට පැමිණෙන තුරු උපදින උපදින ජාතියේ නභෝ මධ්‍යගත සූර්යයා සේ මහා තේජස් ඇති වෙම්වා’යි පැතී ය. ඉක්බිති සාමණේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රළ වේගය දැක කුණු ඇද දැමීමේ පිනෙන් ‘මතු උපදින උපදින ජාතියේ දී මේ රළ වේගය බඳු ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තේ වෙම්වා! ක්ෂය නොවන ප්‍රඥාව ඇත්තේ වෙම්වා!යි දෙවනුව ද පැතී ය.

මහතෙර නම ඉදල තැන්පත් කොට නෑම සඳහා තොටට ගියේ සාමණේර නමගේ ප්‍රාර්ථනාව අසා මාගේ නියමය නිසා කසළ ඉවත් කළ මොහුට මෙපමණ මහත් දෙයක් සිදු වේ නම් සැදැහැයෙන් ඇමදී ම කළ මට කොතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑ දැ යි සිතා

‘නිවනට පැමිණෙන තුරු මම උපදින උපදින ජාතියේ මේ රළ වේගය මෙන් ක්ෂය නොවන නුවණ ඇත්තේ වෙම්වා! යි පැතී ය. පසු කාලයේ මිළිඳු රජ වූයේ ඒ සමණේර නම ය. නාගසේන තෙරුන් වූයේ ඇමද වූ තෙර නම ය.

රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ

''පුණ්‍යොපදේශය' ග්‍රන්ථය ඇසුරිනි