Print this Article


පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල් කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිග හැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.


දුක් කෙළවර කරන භික්ෂූන් වහන්සේ

ඥානවන්ත භික්ෂූන් වහන්සේට චතු පාරිශුද්ධ සීලය පංචස්කන්ධයන්ගේ උදය, හවස සැලකීමෙන්, එය තම ජීවිතයේ මූල කාරණය බවට පත් වේ. එනම්, ඉන්ද්‍රිය සංවර සීලය ද, සිව්පසයෙහි යථාලාභා දී සංතෝෂය ද, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ද යන කාරණාවන්ගෙන් යුතු වීමයි.

පිරිසුදු ආජීව ඇති, කුසීත නොවූ කලණ මිතුරන් ඇසුරු කිරීම භික්ෂුවගේ සිරිත විය යුතු ය. ධම්ම පටිසන්ථාරයෙහි හා ආමිෂ පටිසන්ථාරයෙහි යෙදිය යුතු ය.

සීලය, වත් පිළිවෙත් යන ආචාරයන් හි දක්ෂ විය යුතුය. පටිසන්ථාර පැවැත්මෙන් හා ආචාරයෙහි දක්ෂ වීමෙන් ඇතිවන්නා වූ සතුට බහුල කොට ගත් භික්ෂුවට දුක් කෙළවර කර ගත හැකි ය. මෙය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් උදෙසා දේශනා කොට වදාළ ඉතා ම වටිනා උපදේශයකි.


පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය 6:

ශාසනික පුනර්ජීවනයේ සඟරජ මා හිමි මහනීය මෙහෙවර

කුඩා කල සිට ම නිති පන්සිල්, පොහොය අටසිල් රකිමින් ඉතා ධාර්මික ජීවිතයකට හුරු පුරුදු වූ කුලතුංග කුල කුමරු සොළොස් හැවිරිදි වියේ දී සූරියගොඩ විහාරයේ දී සූරියගොඩ සාමණේරයන් වෙතින් සරණංකර නමින් උතුම් වූ ප්‍රවජ්‍යාභාවයට පත් වූ බව සංඝරාජ සාධු චරියාවෙහි දැක්වෙයි.

එහෙත් ප්‍රව්‍රජ්‍යාචාර්යවරයෙකු ගැන සඳහන් නොකරන 'සඟරජවත' සිල්වත් ගුරුවරයෙකු නොමැති ව පැවිදි වූ බව දක්වයි.

මෙබඳු සිත් ඉපදී

ලජ්ජා සඟුන් නොලදී

සොළොස වයසේ දී

පහන් මනසින් වෙලා පැවිදී

සැහැල්ලු ගති පැවතුම් නිසාත්, පිණ්ඩපාත චර්යාව නිසාත් “පිණ්ඩපාතික වැලිවිට සරණංකර” යන නමින් උන් වහන්සේ වඩාත් ප්‍රකට වූ හ. භික්‍ෂූන් වහන්සේලා පිළිවෙත් පිරීමෙහි උදාසීන ව සිටි මෙකල පිණ්ඩපාතයේ වැඩමවීම හා පාත්‍රයේ වැළඳ‍ී අභාවයට ගොස් තිබුණි. නමුත් භික්‍ෂු පිළිවෙත් මැනවින් සුරැකි උන් වහන්සේ පිණ්ඩපාතයෙන් ජීවත් වෙමින් පාත්‍රයේ වැළඳූ හ.

මෙසේ සරණංකර සාමණේරයන් වහන්සේ මනා භික්‍ෂු ප්‍රතිපත්ති ඔස්සේ ගුණ නුවණින් වැඩෙත් ම මෙකල භික්‍ෂු ප්‍රතිරූපකයින් විනා සැබෑ සිල්වත් භික්‍ෂූන් වහන්සේලා නොමැති බව මනාව වටහා ගත් හ.

මෙම තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනයත්, රටත් මුදාගෙන යළි ශාසනික ප්‍රබෝධයක් ඇතිකරලීමේ පරම පවිත්‍ර අපේක්‍ෂාවෙන් යුක්ත ව ,ඒ හා අදාළ ව ගතයුතු ක්‍රියාමාර්ග වෙත යොමු වූයේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත ව යි. උන් වහන්සේට ප්‍රථමයෙන් ම අවශ්‍ය වූයේ ධර්මය ඉතා නිවැරැදිව තේරුම් ගැනීමට යි. ඒ සඳහා පාලි භාෂාව ඉගෙනීමේ අවශ්‍යතාව තේරුම් ගත් හෙයින් එය සපුරා ගැනීමට ආචාර්යවරුන් දෙදෙනෙකු වෙත යාමට සිදුවිය.

එවකට මාකෙහෙල්වල බන්ධනාගාරගත ව සිටි ලෙව්කේ දිසාව වෙතින් බාලාවතාරයේ නාම කාණ්ඩය තෙක් උගත්තේ ය. ඉතිරි කොටස උගත්තේ පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් වෙතිනි. පාලි ව්‍යාකරණය පිළිබඳ ලබාගත් මෙම මූලික දැනුම පාදක කර ගනිමින් එය තව දුරටත් දියුණු කරගෙන ස්වෝත්සාහයෙන් ම ධර්ම විනය හා භාෂා ශාස්ත්‍රය මැනවින් උගත්තේ ය. සරණංකර හෙරණපාණන් වහන්සේගේ ඊළඟ අභිප්‍රාය වූයේ තමා උගත් ධර්මවිනය උපයෝගී කර ගනිමින් භික්‍ෂුව නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයට යොමු කිරීම යි. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් උන් වහන්සේ වටා එක් රැස් වූ හ. බොහෝ කුල දරුවෝ ගිහි ගෙය හැරපියා උන් වහන්සේ වෙත අවුත් පැවිදි බව ලබා වත් පිළිවෙත් පුරන්නට වූ හ.

මෙසේ වැලිවිට හෙරණපාණන් වහන්සේ ඇසුරෙහි සිල් රකින, වත් පිළිවෙත් පුරන පිරිස සිල්වත් සමාගම, සිල්වත් තැන යන නමින් හැඳීන් වී ය. ඒ සිල්වත් පිරිසට නොයෙක් අයුරින් නින්දා අපහාස කළෝ “වැලිවිට උන්නාන්සේගේ සමාගම” යන නාමය ද පටබඳීමින් අවඥාවට ලක් කළ හ. එසේ සිදු කළේ ප්‍රතිපත්ති අතින් පිරිහී සිටි ගණින්නාන්සේලා, අන්‍ය ආගමිකයන් හා දුර්මතධාරී බෞද්ධයන් ය.

ඒ එක ද බලවේගයක් හමුවේ නොසැලුණු උන් වහන්සේ ගේ ඊළඟ අරමුණ වූයේ උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා ගෙන් හිස් ව තිබූ ශ්‍රී ලංකාවේ නැවත වරක් උපසම්පදාව පිහිටුවීම යි.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජුන් ගේ සහායෙන් බුරුමය හා සියම යන රටවලින් උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා වැඩමවා ගැනීමට දැරූ පළමු උත්සාහය අසාර්ථක විය. නමුත් සරණංකර සාමණේරයන් වහන්සේ එයින් අධෛර්‍යමත් නො වූ හ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහාය ලබාගෙන නැවත ද සය දෙනෙකු ගෙන් සමන්විත දූත පිරිසක් ලන්දේසීන් විසින් සපයා දෙන ලද නැවකින් සියමට යැවූ හ.

මෙම දූත චාරිකාවෙහි ප්‍රතිඵලයක් ලෙස උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන මහතෙරුන් වහන්සේලා 18 නමක් ද, සාමණේරයන් වහන්සේලා 7 නමක් ද ලක්දිවට වැඩම කළ හ. වර්ෂ 1753 ජුනි 15 වැනි දිනට යෙදුණු ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහනුවර මල්වතු මහා විහාරයේ විසුංගාම සීමාවේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කෙරිණි. සියම් රට උපාලි මහ තෙරුන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙය සිදු කෙරිණි. මෙහි දී සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු හය නමක් උපසම්පදාව ලැබූ හ. මෙය වර්තමාන ස්‍යාමෝපාලි (සියම් උපාලි) මහා නිකායේ සමාරම්භක අවස්ථාව යි.

මෙම උපසම්පදා විනය කර්මයේ දී සරණංකර හෙරණපාණන් වහන්සේට පළමු ව උපසම්පදාව ලබා ගැනීමට අවස්ථාව තිබුණ ද තමන් වහන්සේට ගුරුතන්හිලා සැලකීමට කෙනෙකු සිටීමේ වැදගත්කම සලකා වෙනත් නමකට පළමුව උපසම්පදාව ලබා දීමට තරම් උන් වහන්සේ නිහතමානී වූ හ. මේ වන විට පනස් පස් වෙනි වියේ පසු වූ වැලිවිට සරණංකර මාහිමියෝ නැවත සිරිලක උපසම්පදාව පිහිටුවා ශාසනික තත්ත්වය යළි පුනර්ජීවනය කිරීමෙහිලා වූ මහනීය මෙහෙවර මැනවින් ඉටු කළ හ.

උපසම්පදාවට පත් සරණංකර හිමි ලක්දිව සංඝ රාජ ධුරයට පත්කළ බව දන්වමින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එම පදවිය සංකේතවත් කරන විජිනිපත පිළිගන්වන ලදී. සංඝරාජ පදවියෙන් පූජිත වැලිවිට අසරණසරණ සරණංකර සංඝ රාජ මාහිමියෝ,“උඬඟු නොව මහණ, උඬඟු නොව මහණ, උඬඟු නොව මහණ,” යනුවෙන් තෙවරක් තල්පතක සටහන් කොට තැබූ හ.