Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

එදවස උරුවෙල් දනව්වෙහි උරුවෙල් කාශ්‍යප ,නදී කාශ්‍යප ,ගයා කාශ්‍යප යැයි සහෝදර තවුසෝ තිදෙනෙක් නේරංජනා ගඟ අද්දර තාපසාරාම කොටගෙන වාසය කළහ.ඉන් උරුවෙල් කාශ්‍යප නම් වැඩි මහලු තවුසාගේ පිරිස පන්සියයක් පමණ ය.මධ්‍යම සහෝදර නදී කාශ්‍යප සතු පිරිස තුන්සියයක් විය.බාල සොහොයුරු ගයා කාශ්‍යප ජටිලයන් දෙසීයක පිරිසක් සතු නායකයා ව විසී ය.

එකල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කළ අතර උරුවෙල් කාශ්‍යපගේ ආශ්‍රමය වෙත වැඩම කළ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කතා කොට ‘ කාශ්‍යප, මාගේ විසීම නුඹට කරදරයක් නොවේ නම්, එක් රැයක් ගිනිහල් ගෙය වසන්නෙමි යැයි වදාළ සේක.’

‘ ශ්‍රමණයන් වහන්ස, එහි විසීම මා හට නම් කරදරයක් නොවේ.එහෙත් එහි ඉතා රෞද්‍ර නාගයෙකු ඉඳී. ඌ ඔබ වහන්සේට කරදරයක් වත් කෙරේ දෝයී’ උරුවෙල් කාශ්‍යප පවසා සිටියේ ය.

‘මා හට නාගයාගෙන් කිසිදු පීඩාවක් ඇති නොවේ.එබැවින් ගිනිහල් ගෙයි ඉඳීමට අවසර දුන මැනවැයි’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

‘මහා ශ්‍රමණයාණන් වහන්ස, එසේ හැකි නම් සුවසේ එහි වසනු මැනැවයි’ ඔහු පැවසී ය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩම කොට තණ ඇතිරියක වැඩහුන් සේක.එහි වැඩි බුදුරජාණන් වහන්සේ දුටු නා රජ කුපිත විය.

සම්, මස්, නහර, ඇට මිඳුළු යන මේ කිසිවකට පීඩා නොවන සේ මාගේ සෘද්ධි තේජසින් නාගයා තෙද මැඩ පවත්වන්නෙමියි සිතා බුදුරජාණන් වහන්සේ ද සෘද්ධි බලයෙන් දුම් විහිද වූ සේක.ක්‍රෝධය ඉවසිය නොහැකි වූ නාගයා ද ගින්නෙන් දිලිහුණේ ය.බුදුරජාණන් වනසේ ද සෘද්ධි බලයෙන් දිලිහුණු සේක.එයින් මුළු ගිනිහල් ගෙය ගිනිදැල් සහිත වූවාක් මෙන් පෙනුණේ ය.

එය දුටු තවුසෝ ඒ වටා රැස්ව ‘අහෝ ශෝභමාන මහා ශ්‍රමණයාණන් වහන්සේ නාගයා විසින් පෙළෙනු ලැබේ යැයි කීහ.’

රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ, බල බිඳුණු නාගයා පාත්‍රයෙහි බහා ගෙන ගොස් ‘කාශ්‍යප මෙන්න ඔබේ නාගයා ඔහුගේ තේජස මගේ තේජසින් මැඬ පැවැත්වීමි කියා උරුවෙල් කාශ්‍යපට නාගයා පෙන්වූ සේක.

ඒ පෙළහර දැක්මෙන් සතුටු වූ උරුවෙල් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කෙරේ ඉතා පැහැදී ‘ මහා ශ්‍රමණයාණෙනි, මෙහි ම වසනු මැනැවැයි අරාධනා කළේ ය.