Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 15 කොටස: පදුමකිත්ති හිමියෝ නල්ලතන්නියට වඩිති,  නල්ලතන්නියේ දී දොර පොලු පහරක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 15 කොටස:

පදුමකිත්ති හිමියෝ නල්ලතන්නියට වඩිති,  නල්ලතන්නියේ දී දොර පොලු පහරක්

"දින කිහිපයකට පෙර සිදු වූ සිදුවීම් මාලාවත් විහාරස්ථානයේ එක තැන සිටීමත් එපා වී තිබූ නිසා පදුමකිත්ති හිමියෝ ද ගමනට එක හෙළාම කැමැති වූහ."

නාගදීපයේ සිට කිළිනොච්චියේ ලුම්බිණි විහාරයට වැඩම කළ නවදගල පදුමකිත්ති හිමියෝ පැය 24ක් යාමටත් පෙර යළිත් නාගදීපයට වැඩම කළහ. එසේ වැඩම කර සිටියදී නායක හිමියෝ කතා කොට,කොළඹ හිතවත් අයකුගේ අවමංගල්‍යයකට යාමට කතා කළහ.

දින කිහිපයකට පෙර සිදු වූ සිදුවීම් මාලාවත් විහාරස්ථානයේ එක තැන සිටීමත් එපා වී තිබූ නිසා පදුමකිත්ති හිමියෝ ද එයට එක හෙළාම කැමැති වූහ. ඒ අනුව රාත්‍රී තැපැල් දුම්රියෙන් යාපනයේ සිට කොළඹට වැඩම කොට, දෙමටගොඩ නාගදීප විහාරයට ගොස් අවමංගල්‍ය නිවසට වැඩම කළහ. අවමංගල්‍ය නිවසේ පිරිස ධම්මකිත්ති නා හිමියන්ගේ පැමිණීම මහත් ඉහළින් අගය කළහ. එසේම ඔවුහු නා හිමියන් පාංශුකූලයට වැඩම කරවා ගැනීම පිණිස ද ආරාධනා කළහ. පසුදින කෙසේ හෝ නාගදීපයේ සිටිය යුතු වුව ද නාහිමියන් එයට කැමැති වූයේ දිගින් දිගටම පාංශුකූලයට ආරාධනා කළ නිසාත්, අවමංගල්‍යය සමීප මහත්මයකුගේ නිසාත් ය.

පාංශුකූලය අවසන් වී අවමංගල්‍ය නිවසින් වැඩම කරන විට පස්වරු 6.00ද පසුවී තිබුණි. විහාරස්ථානයට පැමිණ ගිලන්පස වළඳා සූදානම් වන විට රාත්‍රී 7.00ට ආසන්න විය. රාත්‍රී තැපැල් දුම්රිය පිටත්වන්නේ රාත්‍රී 7.15ටය. කලබලයේ ඒ සඳහා යන්නට ගියහොත් එය කරදරයක් ලෙස සැලකූ ධම්මකිත්ති හිමියෝ ‘‘ලංගම බස් එකේ හරි, සමුපකාර බස් එකේ හරි යං‘‘ කියමින් පදුමකිත්ති හිමියන්ට පැවසූහ.

‘‘බස් එකේ යන්නෙ, අරව මේව ජරාව එහෙම ගිලිනව නෙමෙයි‘‘නා හිමියන් විසින් පදුමකිත්ති හිමියන්ට එසේ පවසනවිටත් සවස් වරුවේ දී පදුමකිත්ති හිමියෝ කඩචෝරු රැසක් ආහාරයට ගෙන තිබුණි.

රාත්‍රී 9.00ට පමණ සමුපකාර බස් රථය යාපනය බලා පිටත් විය. බස් රථයේ ජනේලවලට පවා තිර රෙදි එල්ලා තිබූ බස් රථයේ සිටියේ මඟීන් 25කටත් අඩු පිරිසකි. බහුතරයක් දුම්රියෙන් හා ලංගම බස් රථයෙන් පිටත්ව ගොසිනි.

දින දෙකකට පමණ පසු පදුමකිත්ති හිමියන් ඇමතූ නා හිමියෝ ‘‘උන්නාන්සෙට කලින් මහණ කරපු අපේ පවරකිත්ති හාමුදුරුවො නල්ලතන්නියෙ පන්සලේ ඉන්නෙ, එහේ ගිහින් මේ නිවාඩු කාලෙ වැඩ හිටියොත් හොඳයි‘‘ යනුවෙන් පැවසූහ.

ඒ අනුව පසුදින අලුයම පදුමකිත්ති හිමියෝ නල්ලතන්නිය බලා පිටත් වූහ. නා හිමියන් විසින් පවරකිත්ති හිමියන්ට ලියන ලද ලිපියක් ද ලබා දෙන ලදී.

කිළිනොච්චියටත් වඩා විස්තරාත්මක ලෙසින් ගමන් මාර්ගය දැනගත් පදුමකිත්ති හිමියෝ නල්ලතන්නිය බලා වැඩම කළහ. ඒ උන් වහන්සේ උඩරට ගමනක් වැඩම කළ පළමු අවස්ථාවයි.

හැටන් දක්වා පහසුවෙන් ගමන් කළ ද එතැනින් ඔබ්බට විහාරස්ථානය සොයා ගැනීම නම් තරමක් අපහසු විය.

‘‘නාගදීපෙ ලොකු හාමුදුරුවන්ගෙ පන්සල කොහෙද තියෙන්නෙ‘‘ යන පැනය ඇසූ අයගේ සංඛ්‍යාව පදුමකිත්ති හිමියන්ට මතක නැත.

අපහසුවෙන් විහාරස්ථානය සොයා ගත්ත ද, එය පන්සලක් යැයි කිවහැකි අංගෝපාංග බොහොමයක් අඩු බව පදුමකිත්ති හිමියන්ට වැටහුණි. එය පන්සලක් නොව දෙමහල් නිවසකට පන්සල යන නමින් හඳුන්වන බව උන් වහන්සේට අවබෝධ විය. එහි පවරකිත්ති හිමියන්ට අමතර ව තවත් සාමණේර හිමිවරුන් කිහිප නමක් ද වූහ.

නායක හිමියන් විසින් ලබා දුන් ලිපිය කියවූ පවරකිත්ති හිමියන් ලිපිය පදුමකිත්ති හිමියන්ට ආපසු ලබා දුන්නේ සිනාවීමෙන් පසුව ය. එම ලිපියේ අවසානයේ තිබුණේ ‘ මේකගෙ හිත හොඳයි. ඒත් කුකුල් කේන්තිකාරයා‘ යනුවෙනි.

එහි ගිහි සේවකයන් කිහිප දෙනෙක් සිටි අතර, ධනපාල විහාරස්ථානයට එකතු වන හා සමන් දේවාලයට එකතු වන මුදල් ගණන් බැලුවේ ය. මුදල් අතපත ගාන නිසා දෝ ඔහු මහත් උජාරුවෙන් මෙන් සිටියේ ය.

සිරිපා වන්දනාව පිණිස පැමිණෙන වන්දනාකරුවන් විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කර සිරිපා කරුණා කළ අතර, දිවා රෑ නොමැතිව එහි සිටි භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි පිරිස්ද ඒ වෙනුවෙන් සහාය දීමට කටයුතු කළහ. විහාරයට පැමිණි පිරිස් සිරිපා වන්දනාවට භාර වෙති. කෝඩුකාරයන් විශේෂයෙනි. පදුමකිත්ති හිමියන්ට පැවරුණේ රාත්‍රී අවදි ව සිට ඒ කාර්යය සිදු කිරීම ය. විහාරස්ථානයේ සිදු කෙරෙන ආශිර්වාද පින්කම්වලට අමතරව සමන් දේවාලයේ කපු මහත්වරුන්ද නළලේ අලු තවරමින්, දුම් අල්ලමින් ආශිර්වාද කරති. කට්ටකුමංජල් ඇතුළු සුවඳ දුම් පැය 24ම විහිදී යයි.

පදුමකිත්ති හිමියන්ට අලුයම වන තුරු නිදිවර්ජිත ව සිටින්නට සිදු වුව ද උන් වහන්සේ එය ප්‍රිය කළහ. අධික කටයුතු නිසා මාස කිහිපයක් ගත වන තුරුම කිසිදු ගැටලුවක් ඇති වූයේ නැත. බොහෝ විට උන් වහන්සේ අවදි වන්නේ දවල් දානය වේලාවට ය. ඉන් පසුව ද පස්වරු 5 පමණ දක්වා යළිත් සැතපෙන්නට සිදු වූ නිසාත් රාත්‍රී කාලයේ සිරිපා වන්දනාකරුවන් වෙනුවෙන් වැය කරන්නට සිදු වූ නිසාත් වෙනත් යමක් කෙරෙහි කිසිදු අවධානයක් නොවී ය.

සිරිපා වන්දනාව් අවසන් වීමෙන් සති කිහිපයකට පසුව විහාරස්ථානයේ ඇමදීම් සිදු කරන ද්‍රවිඩ ජාතික තරුණයා නිවෙස බලා ගියේය. පදුමකිත්ති හිමියන් පසු දින ඉදල ගෙන ඇමදීම් කටයුතු කරන්නට විය. ඇමදීමෙන් පසුව කුණු ගොඩ එක් තැනක තබා ඉදල පසෙකට තැබූ පදුමකිත්ති හිමියෝ ධනපාලට කතා කර කුණු ගොඩ කාට හෝ කියා ඉවත් කරන ලෙස දැන්වූහ.

‘ඒ මොකටද මට කියන්නෙ, අතුගෑව නම් කුණු ටික ඇදල දානවා‘‘ ධනපාල පදුමකිත්ති හිමියන් භික්ෂූන් වහන්සේ නමක් බව පවා නොසලකා කියවාගෙන ගියේ ය.

‘‘මං ඉන්නෙ කුණු අදින්න නෙමෙයිනෙ, පන්සලේ ආවතේව කරන ළමය නැති නිසා අතුගෑවෙ‘

‘‘අතුගාන කොල්ල නැති වෙලාවට අතු ගාන්න බැරි නම් පිනට බත් ගිලින්න ද ඉන්නෙ‘‘ ධනපාල පෙරට වඩා සැරෙන් පැවසී ය.

‘‘මොනව, පිනට බත් ගිලින්නෙ කවුද මිනිහො‘‘ පදුමකිත්ති හිමියන්ගේ ද සීමාව ඉක්මවා ගියේ ය.

‘‘කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලා ගන්නව, කිසිදු ගරු සරුවක් නොමැතිව ධනපාල වේගයෙන් කියාගෙන ගියේ ය.

පදුමකිත්ති හිමියන්ට කෝපය නිම්හිම් නැති විය. උන් වහන්සේ දොර මුල්ලක තිබුණු දොර පොල්ල ගෙන ධනපාලට පහර දුන්හ. පහර වැදුණේ හිසට ය.

‘‘බුදු අම්මෝ....‘‘ ‘ධනපාල ඇද වැටුණි. පදුමකිත්ති හිමියන්ගෙන් තවත් පහරක් වැදුණි. එය වැදුණේ ධනපාලගේ උරහිසට ය. පහර දුන්නේ දොර පොල්ලෙන් වුව ද පිහියකින් ඇන්නා හා සමාන ව හිසෙන් හා උරහිසින් ලේ ගලා ගියේ ය. ධනපාලගේ හඬට පැමිණි පිරිස් දොර පොල්ල අතින් ගෙන ධනපාල බේරා ගත්හ. දොර පොල්ල පැත්තකට විසි කරන විට පදුමකිත්ති හිමි දුටුවේ එහි අග යකඩ ඇණයක් තිබු බවකි.