Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 10: සෝණුත්තර මහ රහතන් වහන්සේ ධාතූන් වහන්සේ වැඩමවීමේ සුදුසුකම් ලැබූ හැටි

ලංකාවේ බෞද්ධ ස්තූප 10:

සෝණුත්තර මහ රහතන් වහන්සේ ධාතූන් වහන්සේ වැඩමවීමේ සුදුසුකම් ලැබූ හැටි

තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා සෑ රදුන් වහන්සේ කරවන්නා වූ දුටුගැමුණු රජ තෙමේ මේ ආකාරයෙන් ධාතු ගර්භ කර්මාන්තය නිම කරවීය. අනතුරුව භික්ෂු සංඝයා වහන්සේ වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමා “පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියලු කර්මාන්තයෝ සම්පූර්ණ කරවන ලදී.

 

අතීතයේ මහ වන මැද මහා සෑය දිස් වූ අයුරු

ස්වාමීනි, හෙට දවසෙහි ධාතූන් වහන්සේ නිදන් කරවන්නෙමි. ඒ සඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වා‘යි දැනුම් දී සිටියේ ය.

එවිට භික්ෂු සංඝයා වහන්සේ, ධාතූන් වහන්සේලා වැඩමවාගෙන එන්නට සුදුසු කුමන භික්ෂුව දැයි කල්පනා කරන්නට වූහ. ඒ අනුව පූජා පිරිවෙන් වාසී ෂඩ් අභිඥාලාභී සෝණුත්තර නම් මහ රහතන් වහන්සේගේ නම යෝජනා කරන ලදහ. මේ සෝණුත්තර නම් මහ රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩමවීමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද? ඒ අතීත කතාව මෙලෙස ය.

අප භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස ගම් දනව් සැරි සරා වඩින සේක. එකල්හි ගංගා නදී තෙර වාසී වූ 'නන්දුත්තර ' නම් තරුණයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ය.

මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට ආරාධනා කර දන් පැන් පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ප්‍රයාග නම් වූ ගංතොටින් මහා සංඝයා වහන්සේ සමඟ නැව් නැගි සේක. එසේ නැව් නැග ගංගා නදියේ වඩිනා සේක. එම නැවේ ෂඩ් අභිඥාලාභී මහා ඝෘද්ධිමත් භද්දජී මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. ගංගා නදියේ මැද ජලය කැළඹුණ ස්ථානයකි.

එනම් දිය සුළියක් දැක තමන් වහන්සේගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ පවසන ලදහ.

“පින්වත් භික්ෂූන් වහන්ස, මම එක්තරා බවයක දී මහාපනාද නම් රජකෙනෙක් ව සිටියෙමි. එකල් හි මා වාසය කරන ලද විසිපස් යොදුන් රන්වන් ප්‍රාසාදය දැන් මේ ගඟ දිය තුළ ඇත්තේ ය. ඒ ප්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම හේතුවෙන් මෙතැන් හි දිය, දිය සුළියක් මෙන් කරකැවී පහළට යන්නේ යැයි පවසන ලදහ”.

එකල්හි ඇතැම් භික්ෂූන් වහන්සේලා එම කතාව නොපිළිගත්හ. එම කරුණ බුදුරජාණන් වහන්සේට සැළ කොට සිටිය හ. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ “පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ මහා සංඝයා වහන්සේගේ සැකය දුරු කළ යුතුය යැ’යි වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ එසේ වදාළ කල්හි භද්දජි මහ රහතන් වහන්සේ විසින් මෙබඳු ප්‍රාතිහාර්යයක් පාන ලදහ. භද්දජි මහ රහතන් වහන්සේ තමන් බ්‍රහ්ම ලෝකය දක්වා තම සිතේ බලය පැවැත්විය හැකි බව පෙන්වීම පිණිස, සෘද්ධි බලයෙන් අහසට පැන නැඟි සේක.

තල් ගස් හතක් පමණ උසින් පළඟක් බැඳ වැඩ සිට, අනතුරුව, සියුම් අතක් දිගු කොට බඹ ලොව පිහිටි සිඵමිණි සෑය තම අත මත තබාගෙන රැස් වූ ජනයාට ද, සංඝයා වහන්සේලාට ද දැක්වූ සේක. එසේ ම යළි බඹ ලොව පිහිටි ස්ථානයේ ම සිළුමිණි සෑය තැන්පත් කළ සේක.

ඉක්බිති භද්දජි මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ගංගා නම් නදිය මතට වැඩි සේක. ගංගා නම් ගඟ දිය මත සක්මන් කොට පයේ මහපට ඇඟිල්ලෙන් ඒ මහාපනාද ප්‍රාසාදයේ කොනක් පටලවාගෙන එය ගංගාවෙන් තුන් යොදුනක් ජලයෙන් උඩට ඔසවා මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්ස වූයේ ය.

මෙම ප්‍රාතිහාර්යය දෙස බලමින් නැවේ සිටිය නන්දුත්තර නම් මානවකයා අතිශයින් ම පුදුමයට පත්වී ය. "අහෝ! මහ රහතන් වහන්සේලාගේ ගුණ ආශ්චර්යයි. මාගේ ශාස්තෘන් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණය අතිශයින් ම ආශ්චර්යයි.

“මේ ආකාරයෙන් ධාතූන් වහන්සේලා වැඩමවන්නට කැමැත්තක් ඇති ව, දන් පැන් පූජා කරගෙන, මා කරන ලද්දා වූ පුණ්‍යානුභාවයෙන් ඍද්ධියෙන් යුතුව ධාතූන් වහන්සේලා වැඩම වීමට හැකියාව ලැබේවා‘යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ ය.

ඒ නන්දුත්තර මානවකයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදි ව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ ය. උන්වහන්සේට ධාතූන් වහන්සේලා වැඩමවා පැමිණ එන්නට පිටත් කළේ එසේ ප්‍රාර්ථනා කළ පින් ඇති නිසා ය.

සංඝයා වහන්සේ “ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලී මහා සෑයේ තැන්පත් කිරීම පිණිස ධාතූන් වහන්සේ වැඩමවා එනු මැනැව‘යි වදාළ සේක. එකල්හි “ස්වාමිනී, මම ධාතූන් වහන්සේලා කොහෙන් වඩමවාගෙන එම්දැයි විචාරණ ලද්දේ ය. එම අවස්ථාවේ දී සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. “ආයුෂ්මත් සෝණුත්තරය, අප භාග්‍යවතුන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් වනයේ දී පිරිනිවන් පෑම පිණිස සැතැපී සිටිය දී ධාතූන් වහන්සේ පිළිබඳවත්, ලොවට යහපත සැලසීම පිළිබඳවත් සක් දෙවිඳුන් හට මෙසේ වදාළ සේක.

"පින්වත් සක් දෙවිඳුනි, පිරිනිවන් පෑමෙන් පසු තථාගත ශ්‍රී ‍දේහයෙහි ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේ ය. එක් ද්‍රෝණයක් රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර, පුජා කරනු ලබන්නේ ය. එතැනින් නාග ලෝකයට වඩමවා නාගයින් විසින් නාග ලෝකයේ දී ධාතූන් වහන්සේලාට පුද සත්කාර පුදනු ලබන්නේ ය.

අනාගතයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ ස්වර්ණමාලී නමින් මහා ස්තූපයක් ඉදිවන්නේ ය. ඒ ස්වර්ණමාලී ස්තූපයේ නිධන්ගත වනවා ඇතැයි වදාළ සේක.

මහා ප්‍රඥාවෙන් යුක්ත, අනාගතයේ දී සිදුවන දේ පැහැදිලිව දකින අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ අනාගතයේ ධර්මාශෝක අධිරාජ්‍යයා ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා ස්තූප කරවන බව කල් ඇතිව ම දුටුවේ ය. රජගහ නුවරට ආසන්නයේ අජාසත් රජතුමාලවා මහා ධාතු නිධානය කරවද්දී, ඉතා මනාකොට ධාතූන් වහන්සේලා රැස්කරවන සේක. එනම් එම ස්තූපයේ ද්‍රෝණ හතක් ධාතූන් වහන්සේලා වැඩමවා තැන්පත් කර වූ සේක.

බුදුරජාණන් වහන්සේගේ අදහස මැනවින් දන්නා මහා කස්සප මහ රහතන් වහන්සේ එක් ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේ රාම ගමෙහි ම වඩා හිඳවන සේක. ධර්මාශෝක අධිරාජ්‍ය තෙමේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට අසූ දහසක් ස්තූප කරවන්නේ ය. එම ස්තූපයන් හි ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ දී අටවැනි ද්‍රෝණයත් ධාතූන් වහන්සේලා වැඩමවා ගැනීම පිණිස අදහස් කළේ ය. එකල්හි මහ රහතන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයෙහි අනාගතයේ ඉදිවන මහා සෑය පිණිස එම අට වැනි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වෙන් කරන ලදහයි පවසා ධර්මාශෝක අධිරාජයා වැළැක්වූ සේක.