Print this Article


මසුරුකමින් නැත යහපත දන් දීමයි දෙලොව සැපත

මසුරුකමින් නැත යහපත දන් දීමයි දෙලොව සැපත

මච්ඡරිය කෝසිය සිටුවරයාගේ කතාව

රජගහ නුවරට ආසන්න ප්‍රදේශයක සක්ඛර නමින් එක් ගමක් තිබුණා. ඒ ගමේ මහා ධනයකට උරුමකම් කී මච්ඡරිය නම් සිටුවරයා.

ඉතාමත් ලෝභ මේ සිටුවරයා කිසිම දිනක කිසිවෙකුටවත් කිසි දෙයක් දුන්නේ නැහැ. කෙනෙක් යමක් ඉල්ලා ඔහු වෙත ආවිට “මම තෙල් බඳුනකට තණ පතක් දමා එහි තැවැරී ඇති තෙල් බින්දුව තරම් වූ දෙයක්වත් අනුන්ට නො දෙනෙමි” යි ඔහු කියනවා. ඒ වගේම ඒ ධන සම්පතින් කිසිම දිනෙක ඔහු සැපයක් ද වින්ඳේ නැහැ.

එක් දිනක් මේ මච්ඡරිය සිටුවරයා රජ මාළිගයට ගොස් තම මැඳුරට එන අතරමඟ දී එක් දුගී මිනිසෙක් මහමඟ අයිනක පොල් මුසු කැවුමක් රස විඳීනු දුටුවා. සිටුවරයා මහා ධනවතෙක් වුවත් ඒ අසරණ දුගියා කමින් සිටි කැවුමට ආශා සිතුණා.

“මට කැවුම් කන්න ආශා සිතුණත්, ඒක කරන්නේ කොහොම ද? මම කැවුම් කෑවොත් අනෙක් අයටත් කැවුම් ඕනෑ වෙයි. එවිට වියදම් දරන්න වෙන්නේ මට යි. ඒ නිසා මගේ ආශාව කාටවත් නොකියා යටපත් කර ගැනීම තමයි සුදුසු කියා සිතා, තම බිරියටත් මේ ආශාව නො කියා මච්ඡරිය සිටුවරයා සිතින් දුක් වින්ඳා. පිපුණ මලක් දිනෙන් දින පරවී යන්නාක් මෙන් සිටුවරයාගේ සිරුර ක්‍රමයෙන් මලානික වී සුදුමැලි වුණා. මෙසේ වන්නේ තමන්ට කැවුම් කෑමට ඇති තදබල ආශාව නිසා බව සිටුතුමා දැනගෙන සිටියා. නමුත් අධික ලෝභකම නිසා සිතින් දුක් විඳීමින් ඒ සියලු ආශාවන් ඔහු යටපත් කර ගත්තා.

දිනෙන් දින දුබල වන සිටුතුමා යහනට වී වැතිරී සිටියා. සිටුතුමා දිනෙන් දින රෝගී ව මළානික වන අයුරු දුටු සිටු දේවිය ඔහු වෙත පැමිණ,

“සිටුතුමනි, ඔබතුමා කුමන හෝ අසනීපයකින් පෙළෙනවා ද?”

“නැත දේවිය, මම සුවෙන් සිටිනවා”

“ඒත් සිටුතුමනි, ඔබතුමා දිනෙන් දින මළානික වී, සිරුර සුදුමැලි වෙනවා. මේ මාළිගයේ දැසි දස්සන් හෝ අපගේ දරුවන් හෝ ඔබගේ සිත රිදෙන දෙයක් කිව්වා ද?”

“එවැන්නක් වුණේ නැහැ”

“සිටුතුමනි, එසේනම් කිම ද? මේ ඔබ මළානිකව සිටින කාරණය ? ඔබට කුමන හෝ ආහාරයක රස බැලීමටවත් ආශාවක් උපන්නා ද?” එයට සිටුතුමා පිළිතුරක් දුන්නේ නැහැ.

“සිටුතුමනි, මම ඔබගේ බිරිය යි. බිරියට නො කියන දෙයක් ස්වාමියෙකුට නැහැ. යමක් ඇත්නම් සඟවාගෙන දුක් නො විඳ මට ඒ ගැන කියන්න “ යි ඇය පෙරත්ත කළා.

එවිට ගිලින්නට අමාරු දෙයක් සපා අමාරුවෙන් ගිලින්නා සේ, මහත් වෑයමකින්, ගොත ගසමින් සිටුවරයා කියනවා,

“සොඳුර, මට පොල් දමා සෑදු රසවත් කැවුමක් කෑමට හිතේ ලොකු ආශාවක් තිබෙනවා. ඒක කන්න පුළුවන්කමක් නැහැ.”

“මෙතරම් ධන සම්පත් ඇති ඔබතුමාට මුළු ගමට ම වුවත් කැවුම් දෙන්න පුළුවන් වත්කමක් තිබෙනවානේ? මම මුළු ගමටම කැවුම් හදන්නම්”

“ගමේ අයට මොන කැවුම් ද? ඒ අයට කැවුම් කන්න ඕනෑ නම් කැවුම් හදාගෙන කයි”

“එසේ නම් සිටුතුමනි, මේ ගමේ අපි වාසය කරන මාවතේ සිටින අයට පමණක් සෑහෙන්නට කැවුම් හදමු”

සිටුතුමා එයට ද විරුද්ධ වුණා.

“එසේ නම් අපේ මැඳුරේ වාසය කරන අයට පමණක් අපි කැවුම් හදමු”

“මැදුරේ අයට අපි වැටුප් දෙනවා. ඒ අයට ඕනෑනම් කැවුම් කයි”

“එසේ නම් මටත්, දරුවන්ටත්, ඔබටත් සෑහෙන කැවුම් හදන්නම්”

“දරුවන් කැවුම් කන්න ආසයි කිව්වේ නැහැ. ඒ නිසා දරුවන්ට ඕනේ නැහැ”

“එසේනම් සිටුතුමනි ඔබටත්, මටත් පමණක් කැවුම් හදන්නම්”

“දේවිය, ඔබට කැවුම් කුමකට ද? ඒ ආශාව ඇතිවුණේ මටනේ”

“එසේනම් සිටුතුමනි, ඔබට පමණක් එක් කැවුමක් හදන්නම්” සිටු දේවිය යෝජනා කළා. සිටුතුමා එයට සතුටුවෙලා බිරියට කියනවා,

“කැවුමට හොඳ සහල් ගන්න එපා. කැඩුණ සහල් රැගෙන අනෙක් අවශ්‍ය දේත් රැගෙන ඔබ උඩුමහලට යන්න”

“කෝසිය සිටුතුමාගේ උපදෙස් පරිදි එක් කැවුමකට අවශ්‍ය දේ රැගෙන දේවිය මැඳුරේ හත්වන මහලට නැංගා. සිටුතුමා මහලින් මහලට දොරවල් වසා දමමින් ඉහළට නැඟ සත්වන මහලට පැමිණ එහි ප්‍රධාන දොර ද වසා දමා එක් කවුළුවක් පමණක් හැර තැබුවා.

අපගේ ශාස්තෘන් වහන්සේ දුටුවා එදා මේ ලෝභ සිටුවරයා දමනය වන බව. ඒ සඳහා මුගලන් මහ රහතන් වහන්සේ පිටත් කළා. උන්වහන්සේ සෘද්ධියෙන් අහසින් වැඩ සත් මහලේ මැඳුරු කවුළුව අසල අහසේ වැඩසිටි සේක. ඒ දුටු සිටුතුමා,

“මහල් හතක් උඩට ආවේ කාටත් නො දී කැවුමක් කන්න යි. එය සිහිනයක් කර මේ ශ්‍රමණයන් වහන්සේ මෙතැනට වැඩ කුමක් කරනවා ද? මෙතැනින් ඉක්මනින් පිටත්කර හරින්න ඕනෑ” සිතා

“ස්වාමිනි, ඔතැන සිටගෙන සිටියාට, අහසේ සක්මන් කළාට අද කැවුම් ලැබෙන්නේ නැහැ” එය ඇසුණු තෙරුන් වහන්සේ අහසේ සක්මන් කළා.

“ඔබ වහන්සේ අහසේ සක්මන් කළත්, අහසේ පළඟක් බැඳ වාඩිවී සිටියාත්, සිරුරෙන් දුම් පිට කළත් කැවුම් දෙන්නේ නැහැ”

තෙරුන් වහන්සේ අහසේ පළඟක් බැඳ වැඩ සිටිමින් දුමක් පිට කළ සේක. මුළු මාළිගය ම දුමෙන් පිරී වැසී ගියා.

“මේ ශ්‍රමණයන් වහන්සේ මටත් වඩා කැවුම් කන්න ආශා ඇති කෙනෙක් වගේ. ඒ නිසා එක කැවුමක් දෙනවා “ යැයි සිතා දේවියට කිව්වා,

“සොඳුරිය, ඉතා කුඩා කැවුමක් තනා දී මුන්වහන්සේ මෙතැනින් පිටත් කරමු”. කියා

ඇය ඉතා පිටි ස්වල්පයක් ගෙන තෙලට දැමුවා. නමුත් කැවුම විශාල වුණා.

“ඒ කැවුම විශාල වැඩියි. කුඩාවට හදන්න”

ඇය පෙරටත් වඩා කුඩා පිටි ස්වල්පයක් ගෙන තෙලට දැමුවා. ඒ කැවුම පෙරටත් වඩා විශාල වුණා. කම්පාවට පත් සිටුතුමා “කම්නැත, මේ එක් කැවුමක් පුදනු” බිරියට කිව්වා.

භාජනයෙන් එක් කැවුමක් ගන්න හදනවිට සියලු කැවුම් එකට ඇලී තිබුණා. දෙදෙනා එක් වී කැවුම් දෙ පැත්තට ඇද්ද නමුත් කැවුමක් ලිහා ගන්නට බැරිවුණා. සිටුතුමා මහන්සියෙන් පීඩාවට පත්වුණා. ගතින් දහඩිය දැම්මා. කැවුම් කන්න තිබු ආශාව ගිලිහී ගියා.

“එකක් බැරිනම් ඔය සියලු කැවුම් උන්වහන්සේට පූජා කළත් මට කමක් නැහැ” විඩාවට පත් සිටුතුමා කීවා. ඇය කැවුම් පුදා නමස්කාර කළා. රහතන් වහන්සේ දන්දීමේ කුසල් විපාක විස්තර කරමින් ධර්මය දේශනා කළා.

බණ අසා සතුටට පත් සිටුතුමා මුගලන් මහ රහතන් වහන්සේට ආරාධනා කළා මාළිගයට වැඩ කැවුම් වළඳන ලෙස.

“සිටුතුමනි, අප එලෙස කෙසේ වළඳන්ට ද? බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂූන් වහන්සේ කැවුම් වළඳන අපේක්ෂාවෙන් විහාරයේ වැඩ සිටිනවා”

“ස්වාමිනී, බුදුන් වහන්සේ මේ වෙලාවේ වැඩ සිටන්නේ කොහි ද?”

“සිටුතුමනි, දෙව්රම් වෙහෙරේ වැඩ සිටිනවා”

“ස්වාමිනි, දෙව්රම් වෙහෙර බොහෝ දුරින් පිහිටා තිබෙන්නේ. ”

“සිටුතුමනි, ඔබ දෙපළ කැමැති නම් මම කැඳවාගෙන යන්නම් කී තෙරුන් වහන්සේ උඩු මහලින් පහළට බසින කාලය තුළදී සිටු දෙපළ සෘද්ධියෙන් දෙව්රම් වෙහෙර වෙත රැගෙන වැඩි සේක. දාන ශාලාවේ වැඩසිටි සියලුම භික්ෂූන් වහන්සේලාට කැවුම් පිළිගැන්වූවා.

අවසානයේ සිටු යුවළට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මය ශ්‍රවණය කළ කෝසිය සිටුතුමා තමන් සතු වස්තුව බෙදා දෙමින් මසුරුකම දුරලා සුවසේ ජීවත් වුණා.

නයනා නිල්මිණී