Print this Article


ඕමානයේ එකම බෞද්ධ සිද්ධස්ථානය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය

ඕමානයේ එකම බෞද්ධ සිද්ධස්ථානය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය

විදෙස් ගත වන බොහෝ පිරිසකට තමන්ට කැමැති ආගමක් ඇදහීමේ නිදහසක් නැහැ. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල රැකියා පිණිස යන බෞද්ධයන්ට ඒ අතින් නම් මුහුණ පාන්නට වන්නේ දැඩි අපහසුතාවයකටයි.

විදෙස් රටක තමන් පදිංචි ව සිටි කාමරයකින් ආරම්භ කරන ලද පන්සලක් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර එය ශ්‍රී ලංකාවට අයත් භූමි භාගයක් ලෙස පත් කර ගන්නට මීට කලකට පෙර අපේම ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටයුතු කළා.

ඔවුන් එසේ කාමරයකින් ආරම්භ කළ එම පන්සලට මේ වන විට අවුරුදු 40ක් ගත වෙලා. විදෙස් ගත වන බොහෝ පිරිසකට තමන්ට කැමැති ආගමක් ඇදහීමේ නිදහසක් නැහැ. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල රැකියා පිණිස යන බෞද්ධයන්ට ඒ අතින් නම් මුහුණ පාන්නට වන්නේ දැඩි අපහසුතාවයකටයි.

බෞද්ධයන්ට බුද්ධ වන්දනාව සිදු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවෙන් සුබ පැතුම් පිණිස එවන ලද වෙසක් කාඩ්පත් තබාගෙන නිවැසියන්ට හොරෙන් වන්දනාමාන කරන්නට වුණා.


කොටපොළ අමරකිත්ති හිමියන් ඕමාන් විහාරයට වැඩමකළ අවස්ථාවක්

මැද පෙරදිග රැකියා පිණිස ගිය බහුතර බෞද්ධයන්ගේ තත්ත්වය තමයි ඒ. මේ අතරේ ඕමානයේ රැකියා පිණිසත් ශ්‍රී ලංකාවෙන් පිරිස් ගමන් කළා. 1979/80 අතර කාලයේදී ඕමානයේ සීබ් රාජකීය ගුවන් තොටුපල ආසන්නයේ ජේ. ඇන්ඩ් බී ආයතන වැඩ බිමේ සිටි ශ්‍රී ලාංකිකයන්ට බුද්ධ වන්දනාව කරන්න ඕන වුණත්, අනිත් අයට වගේම ඒ අයට ඒකට විසඳුමක් තිබුණේ නැහැ. ඒත් ඔවුන් තම අදහස අත් හැරියේ නැහැ. ඔවුන් නවාතැන් ගෙන තිබුණු කාමර කිහිපයෙන් එක කාමරයක් බුද්ධ වන්දනාව පිණිසම වෙන් කළා. ඒ කාමරය හැම තිස්සේම බුද්ධ වන්දනාටම සීමා කළා. ඔවුන් බුද්ධ පින්තූරයක් තබාගෙන වැදුම් පිදුම් කිරීම ආරම්භ කළා. උදෑසන සම්බුද්ධ පූජාව තැබීමේ සිට සියලු වත් පිළිවෙත් කරන්නට ඔවුන් කටයුතු කළා. එය ඔවුන්ගේ විහාරස්ථානය බවට පත් වූයේ එලෙසිනුයි.

කාලයකට පසුව, ඒ කියන්නේ 1982 වසරේ දී ඒ කුඩා බුද්ධ පින්තූරය වෙනුවට අඩි 5 ක් පමණ උස බුදු පිළිම වහන්සේ නමක් ගාල්ල වඳුරඹ පදිංචි කේ.ජී.තිලක් මහතා විසින් නිර්මාණය කළා. ඒ බුදුරුව තබන්නට සිංහ පාද සහිත මල් ආසනයක් කිතුනු භක්තිකයකුª වූ ලෝරන්ස් නම් අයෙක් විසින් නිර්මාණය කර දුන්නා. හින්දු භක්තික ගඩාෆි නම් අයකු විසින් අගසව් දෙනමගේ සිතුවම් නිර්මාණය කර දුන්නා. එම කඳවුරේ සිටි බෞද්ධ අබෞද්ධ සියලුම ශ්‍රී ලාංකිකයන් තම අවශ්‍යතාවන්ට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබා දුන්නේ බෞද්ධ වන්දනාවන්ටයි. ඒ ලෙසින් බුද්ධ වන්දනාව කරන පෙදෙසක් කඳවුරේ ම ස්ථාපිත වුණා. ඕමානයේ පළමු විහාරස්ථානය ලෙසින් ඉදි වූ මේ බෞද්ධාගමික විහාරය කඳවුරේ නමින්ම එනම්, ජේ.ඇන්ඩ් පී. විහාරය නමින් හැඳීන්වුණා.

1985 වසරේ දී එහි වෙසක් දින පින්කමක් පැවැත්වූවා. ඒ පින්කමට ශ්‍රී ලාංකිකයන් ඇතුළු 3000කට අධික පිරිසක් සහභාගි වූණා. කඳවුරක් තුළ පින්කමකට එවන් පිරිසක් සහභාගි වුණේ ප්‍රථම වතාවටයි.

එහෙත් 1989 වසරේ දී එම කඳවුර වසා දැමුණා. ඒ අනුව බුදු පිළිම වහන්සේ ඇතුළු පූජා භාණ්ඩ ‘අසේබා‘ නගරයේ පිහිටි ජේ.ඇන්ඩ් පී. මූලස්ථානයට ගෙන යන්නට ශ්‍රී ලාංකික පිරිස් කටයුතු කළා. එතැන් සිට වන්දනාමාන කරන විහාරස්ථානය බවට පත්වුණේ එම මූලස්ථානයේ කොටසක්.

ඒ අතර අනිල් චන්ද්‍රරත්න නම් අයකු විසින් මැලේසියාවේ සිට වැඩම කරවන ලද බෝධීන් වහන්සේ නමක් 1993 නොවැම්බර් මස පුන් පොහොය දිනයේදී එම කඳවුරේම රෝපණය කරනු ලැබුවා.

ගඩාෆි මහතා නිර්මාණය කළ අගසව් දෙනම ප්‍රතිනිර්මාණය කිරීමත් ඕමානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කළ හික්කඩුවේ ප්‍රේමදාස මහතා විසින් 1998 සිදුවූ විශේෂ කටයුත්තක්.

1999 නොවැම්බර් මස 23 දින පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ එම පුද බිමට වැඩම කරවනු ලැබුවා. උන් වහන්සේ විසින් මේ ක්‍රියාව මහත් සේ අගය කරනු ලැබුවා. සෝභිත හිමිගේ වැඩම කිරීමෙන් පසුව ඕමාන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් ඕමාන්හි සේවය කළ ප්‍රේමරත්න හින්නෑටියගේ මහතාගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබුවේ ඕමානයේ සුල්තාන් කාබුස් රජතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපන්දින මුල් කර ගනිමින්.

එයින් පසුව අඩි 6ක් පමණ උසින් යුත් දැවමය චෛත්‍යයක් නිර්මාණය කරනු ලැබුවේ ශ්‍රී ලාංකේය ශිල්පියකු වන කේ.ජී.ප්‍රේමරත්න විසින්.

2000 වර්ෂය වන විට නව ධර්ම ශාලාවක් ද කුරුණෑගල පදිංචි ආයුවර්ධන මහතා විසින් බුදු පිළිම වහන්සේ නමක්ද නිර්මාණය කරනු ලැබුවා. 2001 වර්ෂයේ දී දැවයෙන් නිමකර තිබූ චෛත්‍යය වෙනුවට අයි.බී.පී.සෝමපාල නම් අයකු විසින් තහඩු යොදා චෛත්‍යය නිර්මාණය කරනු ලැබුවා.

2002 වර්ෂයේදී ක්‍රියාකාරි සාමාජිකයන්ගේ සහයෝගයෙන් නව භාවනා ශාලාවක් ද, එම භාවනා ශාලාව සඳහා බුදු පිළිම වහන්සේ නමක් ද නිර්මාණය කරනු ලැබුවා. ඒ අම්බලන්ගොඩ ප්‍රියංකර අරම්පත් ජයසූරිය විසින්.

2004 වසරේ දී විහාරස්ථානය ස්ථාපිත කර තිබුණු ඉඩම හිමි අගමැති හා රාජ්‍ය ආරක්‍ෂක ඇමතිතුමාගේ අභාවයෙන් පසු එම ඉඩම විකිණීම හේතුවෙන් 2004 මාර්තු මාසයෙන් පසු පන්සල වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදුවුණා.

2004 අප්‍රේල් මස 20 දින කුලතුංග විද්‍යාරූප මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවී පන්සල සම්බන්ධ ව කරුණු පැහැදිලි කර දීමෙන් පසුව එරට රජු සමඟ සාකච්ඡා කර විහාරස්ථානයට පර්චස් 40ක පමණ භූමි භාගයක් ලබා දෙන්නට ඕමාන් රජය විසින් කැමැත්ත පළ කරනු ලැබුවා. එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ භාරකාරත්වය යටතේ ශ්‍රී ලංකාවට අයත් භූමි භාගයක් බවට පත් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිහඬව සිදු කළ මේ සේවාව ගැන දන්නේ අතළොස්සක පිරිසක් පමණි. එසේ වුවත් ඕමානයේ පිහිටි එකම බෞද්ධ සිද්ධස්ථානයට වසර 40ක් පිරෙන මේ මොහොතේ ඒ බව සිහි කළ යුතු ම ය.

2009 වසරේදී විහාරස්ථානයට ‘දම්රම් විහාරය’ යන නම යොදා ගත්තා. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය ලෙස එවකට හිටපු තානාපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. අද වන විට විහාරස්ථානය හඳුන්වන්නේ ‘මස්කට් - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය‘ නමින්

මැද පෙරදිග කලාපයට ම ඇති අංග සම්පූර්ණ පන්සල ඕමානයේ මස්කට් නුවර ස්ථාපිත කර ඇති අතර, එම පරිශ්‍රය ලංකාව සතුකර ගැනීමට හැකි වූයේ එවකට විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරය හා සංවිධායක ධුරය දැරූ කුලතුංග විද්‍යාරූප මහතාගේ අප්‍රතිහත උත්සාහයෙන් බව පෙන්වා දිය යුතුයි.

2004 වසරේ දී සිසුන් හය දෙනෙකුගෙන් ආරම්භ කළ ධර්මෝදය දහම් පාසලේ මේ වන විට සිසුන් 150කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. අද වන විට ඕමානයේ ප්‍රධාන මෙන්ම එකම බෞද්ධ සිද්ධස්ථානය ලෙසින් ඇති මේ විහාරස්ථානය ලොවට කියා පාන්නේ අපේ බෞද්ධ උරුමයයි.