Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 09: දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු ගර්භය අලංකාර කරවූ හැටි

ලංකාවේ බෞද්ධ ස්තූප 09:

දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු ගර්භය අලංකාර කරවූ හැටි

මහා සෑ රදුන්ගේ් තුන් මහල් පේසා වළලු දක්වා ගඩොල් බැඳ අවසන් වෙද්දී ම සෘද්ධිමත් මහ රහතන් වහන්‍සේලා ඒ සියල්ල පොළොව මට්ටමට ගිලෙන්නට සැලැස්සූහ. මේ ආකාරයට බඳීන බඳීන පේසාවළලු මෙන් ම ප්‍රධාන පුෂ්පාසන තුන ද පොළොව මට්ටමට ම වාර නවයක් ගිල්ලවන ලදහ.

එවිට උන්වහන්‍සේලා වෙත පැමිණි මහ රජතුමා පසඟ පිහිටුවා වන්දනාකොට ‘ස්වාමීනි, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියලු පාදමයෝ පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැ’යි විමසන ලද්දේ ය.

පින්වත් මහරජතුමනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහා සෑය අනාගතයේ දී නොගිලෙනු පිණිස සෘද්ධිමත් මහ රහතන් වහන්සේලා විසින් මෙලෙස ගිල්ලවීම සිදු කරන ලද්දේ ය. ඒ පිළිබඳව මින් ඉදිරිය සැක සංකා නූ උපදවා මහා සෑයේ ඉදිරි කටයුතු කරනු මැනවැයි වදාළ සේක.

එය අසා චිත්ත ප්‍රසාදයට පත් වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නේ ය. දස වතාවක් පේසා වළලු කරවන්නට දස කෝටියක ගඩොල් වැය වූයේ ය. එකල්හි භික්ෂූන් වහන්සේ උත්තර සුමන නම් සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවන ලද්දේ ය. “සාමණේරයෙනි, මහා සෑයේ ධාතු ගර්භය පිණිස මේඝ වර්ණ (ලා කහට හුරු රතු පාට) පාෂාණයන් ගෙන එනු මැනවැයි වදාළ සේක. එකල්හි ඒ දෙනම වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසූ රියන් දිග පළල ඇති හිරු මඬල මෙන් දිලිසෙන අඟල් අටක් ඝනකමින් යුතු පළුදු නැති පාෂාණයෙන් ගල් පුවරු හයක් රැගෙන වැඩි සේක.

එක් ගල් පුවරුවක් පේසා වළල්ලට උඩින් සෑය මැද ඇතිරුවා. ගල් පුවරු සතරක් සතර දිසාවේ පෙට්ටියක ආකාරයෙන් සතර බිත්තියක හැඩයෙන් සිටෙව්වේ ය. අනෙක් ගල් පුවරුව නැගෙනහිර දිසාවට වන්නට ඒ මහා සෘද්ධිමත් සාමණේරවරු කාටවත් නොපෙනෙන්ට තැබුවේ ය.

සාසනමාමක වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දේ ය. එම ධාතු ගර්භය මධ්‍යයේ සෑම අයුරින් ම මනහර වූ, රනින් නිම වූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවූයේ ය. ගර්භය මුදුණේ හිරු මඬල ද, සඳු මඬල ද, තාරකා පන්තීන් ද, කරවන ලද්දේ ය.

එම බෝධීන් වහන්සේගේ නැගෙහිරින් ප්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේ ය. එම බුද්ධ ප්‍රතිමා වහන්සේට රිදියෙන් කළ සේසතක් දරන්නා වූ මහබඹු ගේ රුව ද කරවන ලද්දේ ය. විජයුත්තරා නම් වූ ශංඛයෙන් අභිෂේක ජලය ඉසමින් සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන්වන් වීණාවක් , ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ගිරිමේඛලා ඇතු පිට නැඟී සිටින අත් දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිත ව පලායන රුව ද කරවන ලද්දේ ය. නැගෙනහිර දිසාවට වන්නට තැබූ ආසනය මෙන් ම අනෙක් දිසාවලට වන්නට තනා තිබූ ආසන මතත් කෝටි ගණන් වටිනා වස්තුව අතුරා තබන ලද්දේ ය. බෝධීන් වහන්සේ දෙසට හිස වැටෙන ආකාරයෙන්, නොයෙක් මැණික් කැටයමින් කරවන ලද කෝටි ගණන් වටිනා වස්තුව ඇතිරූ සයනයක් පනවන ලද්දේ ය.

සහම්පතී බ්‍රහ්ම රාජයා ප්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. අප භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාරන අයුරු ද කරවන ලද්දේ ය.

යසකුල පුත්‍රයා ප්‍රධාන පනස් හතරක් යහළුවන්ගේ උතුම් පැවිදි බව ද, භද්දවග්ගිය කුමාරවරුන් තිස් දෙනාගේ උතුම් පැවිදි බව ද, මෙම සසුනෙහි ප්‍රථම මහ රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේ ය. සැරියුත් මුගලන්, මහ කස්සප, අනුරුද්ධ, මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බිල, භද්දිය, ආනන්ද ආදී අසූ මහ රහතන් වහන්සේලාගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.

ශාක්‍යයන්ගේ මානය බිඳීන්නට අහසේ මැවූ රුවන් සක්මනින් ප්‍රාතිහාර්යයෝ දැක්වීමත්, රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දේ ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද, ගන්ඩබ්බ වෘක්ෂ මූලයේ යමා මහ පෙළහර පෑම ද, තව්තිසාවේ දහම් දෙසීම ද, දෙව්ලොවින් සංකස්සයට බැසීම ද, කරවීය.

සැරියුත් මහ රහතන් වහන්සේ විචාළ ප්‍රශ්නයන්ට දහම් දෙසීමත්, කපිල වස්තු මහා වනයේ දී වදාළ මහා සමය සූත්‍රය දේශනා කිරීමත්, රාහුලෝවාද සූත්‍ර දේශනාව ද මහා මංගල සූත්‍ර දේශනාව ද ධනපාල ඇත්රජු මුණගැසීමත්, අංගුලිමාල දමනය ද සිතුවම් කරවී ය. අලාවක දමනය ද, අපලාල නාගරාජ දමනය ද, පාරායන වර්ගයේ බ්‍රාහ්මණයා ගැන විස්තරය ද, මාරයාගේ ඇරයුමින් චාපාල චෛත්‍යයේ දී ආයුෂ අත්හැරීම ද, චුන්දකම්මාර පුත්තගේ අවසන් දානය පිළිගැනීම ද, පරිනිවන්පාන්ට වඩිනා අතරමග පුක්කුස වෙළඳ පුත්‍රයාගෙන් රන්පට වස්ත්‍ර පිළිගැනීම ද, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ පිරිනිවනට වඩිනා ආකාරය ද කරවන ලද්දේ ය.

දෙව් මිනිසුන්ගේ හඬා වැළපීම ද, මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් අවසන් වශයෙන් වන්දනා කරනු ලැබීම ද කරවීය. ආදාහන කෘත්‍යය ද, සඳුන්දර සෑයේ ගිනි ඇවිළීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, දර සෑය නිවී යාම ද, ධාතූන් වහන්සේලාට ලැබුණු පූජා සත්කාරයන් ද, ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා මුල් වී ධාතූන් වහන්සේ බෙදා දීම ද කරවන ලද්දේ ය.

එමෙන් ම වෙස්සන්තර ජාතකය ද, තුසිත දෙව් ලොව දී මනුලොව උපත ලබා බුදු බව ලැබීම පිණිස දෙවියන්ගෙන් ලැබුණු ආරාධනාවේ පටන් බෝ මැඩදී බුදුවීම දක්වා වූ බෝසත් සිරිත අඹවන ලද්දේ ය. සතර දිසාවේ සතර වරම් දෙව්මහ රජවරු ද, තිස් තුනක් වූ දිව්‍ය පුත්‍රයන් ද, තිස් තුනක් වූ දිව්‍යාංගනාවන් ද අඹවන ලද්දේ ය.

තිස් අටක් වූ යක්ෂ සෙන්පතියන් ද, ඊට උඩින් ඇඳලි බැඳ වන්දනා කරගෙන සිටින දෙවිවරු ද , පිපී ගිය මල් පිරවූ පුන්කළස් ද කරවා තිබුණේ ය. නටන්නා වූ දේවතාවියන්, තූර්ය වාදන කරන්නා වූ දේවතාවියන්, කඩු අතින් ගත් දෙවිවරුන් ද, පිපී ගිය මල් අතු අතින් ගත් දෙවිවරු ද අඹන ලද්දේ ය.පිපී ගිය නෙළුම් අතින් ගත් දෙවිවරු ද, නොයෙක් අයුරින් සිටින්නා වූ දෙවිවරු ද, මැණික්වලින් සරසන ලද කණු ද, ඒ මත කළ ධර්ම චක්‍රයන් ද සාදන ලද්දේ ය. කඩු අතින් ගත් දෙවිවරු පේළි වශයෙනුත්, පාත්‍ර හිස මත තබාගත් දෙවිවරුන් ද අඹන ලද්දේ ය. ඒ දෙවියන්ගේ හිස මත පාත්‍රය. ඒ පාත්‍රයක් රියන් පහක් පමණ විශාල ය. එම පාත්‍ර සුවඳ තෙලින් පුරවන ලද්දේ ය.

එමෙන් ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. මහා සෑ ගර්භය ආලෝකමත් වීම පිණිස රන්, මැණික්, මුතු, දියමන්ති ගර්භයේ සතර කො‍ණේ ගොඩ ගැසීමෙන් ප්‍රභාෂ්වර එළියක් නිකුත් වූවේ ය. දුටු ගැමුණු මහ රජතුමා මෙසේ සියලු රූපයෝ ඝන රනින් ම කරවන ලද්දේ ය.

ෂඩ් අභිඥාලාභී මහා නුවණැති ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ මේ උතුම් ධාතු ගර්භයේ සියලු කටයුතු භාර ව වැඩ සිට සියල්ල මැනවින් සම්පූර්ණ කොට වදාළ සේක.

මහා සෑ ධාතු ගර්භයේ සිදු කෙරුණු සියලු නිර්මාණ, සියලු පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම කටයුත්තක් ම මහා පිනැති දුටුගැමුණු මහ රජතුමාගේ රාජ සෘද්ධිය ද, දෙවියන්ගේ දිව්‍ය සෘද්ධිය ද, මහ රහතන් වහන්සේලාගේ අරහත් සෘද්ධිය ද, එකට කැටි ව කිසිදු බාධාවකින් තොරව ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවා සම්පූර්ණත්වයට පත් වූයේ ය.