Print this Article


ථේරිකා මහරහත් තෙරණියගේ උදානය

ථේරිකා මහරහත් තෙරණියගේ උදානය

කෝණාගම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ලොව බබළන කාලයේ දී ඒ නුවර එක්තරා දියණියක් සිටියා. අතුවලින් මඬුවක් සාදා, වැලි අතුරා, උඩුවියන් බැඳ සුවඳ දුමෙන් සුවඳවත් කර බුදුරජාණන් වහන්සේට දනට ආරාධනා කළා.

කෝණාගම බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට පැ.නවූ ආසනයේ වැඩ සිටියා. එම දියණිය ප්‍රනීත ව සැකසූ දානය පූජා කර, සිවුරු තුනක් ද පූජා කළා. පසුව බුදුරජාණන් වහන්සේ අනුමෝදනා දේශනාව වදාරා විහාරයට වැඩියා. ඇය එතැන් පටන් දිවි ඇති තෙක් පින් කර ආයු අවසානයේ දී දෙව්ලොව ඉපිද සැප වින්දා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ධර්මය දේශනා කරන කාලයේ ඇය නැවතත් මනු ලොව ඉපදුණා. වයසින් මෝරද්දී ලෝක ස්වභාවය පිළිබඳ දැනගෙන ඒ කෙරෙහි සංවේගය උපදවාගෙන ඒ බුදු සසුනේ පැවිදි වී උපසම්පදාව ලබා වසර විසි දහසක් සිල් පිරුවා. ඒ ජීවිතේ කළුරිය කර නැවත දෙව්ලොව ඉපදුණා.

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී උතුම් දම්සක කරකවන ඒ කාලයේ දී ඇය නැවත දෙව්ලොවින් චුත ව විශාලා මහනුවර ක්ෂත්‍රීය කුලයේ ඉපදුණා. ඉතා පැහැපත්, ශක්තිමත් වූ මේ දියණියට මව්පියන් ථේරීකා යන නාමය තැබුවා.

ඇය තරුණ වියේ දී මව්පියන් සමාන කුලයක කුමාරයකුට විවාහ කර දුන්නා. ඇය සැමියාට දෙවියකු හා සමාන ව සැලකුවා. ප්‍රියමනාප වුණා. කීකරු වුණා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවරට වැඩි අවස්ථාවක දී ධර්මය අසා සසරේ පුරුද්දට සිත පහදවා ගත්තා. නිතර නිතර ධර්මය ඇසුවා. ධර්මයට සිත ඇලුණා. පැවිද්දට ආශා කළා. ඇය සිතනවා,

“මේ ගිහි ගෙදර නම් ඒකාන්තයෙන් දුකක්ම යි. පැවිදි වෙන්න තිබෙනවා නම් හොඳයි” කියා. දිනක් ඇය සැමියා වෙත ගොස්

“මගේ සිත ගිහි ගෙදරට ඇලෙන්නේ නැහැ. මම භික්ෂුණී ආරාමයේ පැවිදි වෙන්න ද?”

“මම ඔබ ව විවාහ කරගෙන ආවේ මේ ළඟදී යි. ඇයි ගිහි ගෙදර එතරම් ම නීරස? සිත් සේ සතුටු වෙන්න පුළුවන්කම තිබෙද්දී ඇයි කළකිරෙන්නේ? ඔබ සියල්ල අමතක කරලා සතුටෙන් ඉන්න.” ඔහු කිව්වා.

“පැවිදි වෙන්න නම්, පිනක් ඕනම යි. මගේ පින තවම මෝරා නැතිව ඇති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ලෙස පැවිදිවෙන්න‍ට කලබල කළොත් ඒක මම පුදුරු කරන ධර්මයට කරන අගෞරවයක්. මට ධර්මය පුරුදු කරන්න තිබෙන තැන තමයි මේ නිවස. මම ගෙදර ඉඳගෙන ම ධර්මය පුරුදු කරනවා” කියා ඇය අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.

එනිසාම ඇය කිසිවකු සමඟ ගැටුමක් ඇතිකර ගත්තේත් නැහැ, සැමියාට දොස් කිව්වෙත් නැහැ, මට දුකෙන් නිදහස් වෙන්න නැහැනේ කියා තමාට වෛර කර ගත්තෙත් නැහැ. ථේරිකා ආශා කළේ කුසලයට පමණයි. තමාගේ කුසල් සිතට හානි නො කර ගෙන නිවසේ සියලු වැඩ කරමින් සතුටින් සිටියා. නමුත් ඇය ඒ සියලු වැඩ අතරේ දහම් මනසිකාරයක් පුරුදු කළා. ඒ බව නිවසේ කිසිවකුත් දැන සිටියේ නැහැ. “මේ හැමදේම අනිත්‍ය යි, අනිත්‍ය දේ දුකයි, දුක් දේ මගේ වසගයේ පවත්වන්න බැරි නිසා අනාත්මයි.” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම ඇය පුරුදු කළා. කිසිදින ද්වේෂයක් ඇතිකර ගත්තේ නැහැ. මට පන්සලකට යන්න වෙලාවක් නැහැ, දානයක් දෙන්න නැහැ, මහණ වෙන්න නැහැ වැඩ. . .වැඩ . . වැඩ. . කියමින් ගැටුණු සිතින් නොවේ ඇය සිටියේ. මේ සියලු දේ අනිත්‍ය යි. අනිත්‍ය දේ දුකයි. දුක් දේ අනාත්මයි කියන භාවනා සංඥාව ඇය බොහෝ කාලයක් පුරුදු කළා.

දිනක් ඇය පලා කොළ මැල්ලුමක් ලිප තබා වෙනත් වැඩක නිරත වුණා. ඒ වෙලාවෙත් ථේරිකාගේ සිතේ වැඩ කළේ මේ හැමදේම අනිත්‍ය යි. අනිත්‍ය දේ දුකයි. දුක් දේ අනාත්මයි කියන සංඥාව යි. එක් වරම මැල්ලුම රොස් වුණා. එහි පාට වෙනස් වුණා. සුවඳ නැතිවුණා. ඇය පුරුදුකළ භාවනා සංඥාව ඇගේ සිත තුළින් ඉස්මතු වුණා. හැමදේම අනිත්‍ය යි කියන ධර්මතාවය හොඳීන් වැටහුණා. ඒ දහම ඇයට කෙ තරම් වැටහුණාද , කියතොත් ඒ මුළුතැන්ගේ ලිප අසල දී ඇය අනාගාමි ඵලයට පත්වුණා.

මේ වනවිට ථේරිකා මැදිවියේ පසුවන අම්මා කෙනෙක්. ඇය පැවිදි වීමට සැමියාගෙන් අවසර ඉල්ලුවේ විවාහ වූ අලුත යි. එසේ නම් බොහෝ කාලයක් අඛණ්ඩ ව ධර්මය පුරුදු කරන්න ඇය උත්සාහයක් ගෙන තිබෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන ධර්ම දුරු කළා. පින හොඳීන් මෝරා ගියා.

එතැන් පටන් එතුමිය ශරීර සැරසීම්වලින් වැළකුණා. රන් අබරණ පැළඳීම අත්හැර දැමුවා. දිනක් ඇගේ ස්වාමියා අසනවා,

“සොඳුරිය, ඔබ පෙර මෙන් අලංකාරය පිණිස රන් අබරණ කිසිවක් පළඳීන්නේ නැත්තේ ඇයි?”

“මම ගිහි ගෙදර විසීමට සුදුසු නැති කෙනෙක්. මට පැවිදිවීමට අවසර දෙන්න.” එතුමිය ඉල්ලා සිටියා.

ඔහු මහත් ගෞරවයෙන් දෝළාවක ඇය ව නංවා ගෙන, මහ පිරිවර සහිත ව මෙහෙණ ආරාමයට ගොස් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ට කියනවා

“පින්වත් තෙරණියන් වහන්ස, මැය භික්ෂුණී ආරාමයේ පැවිදි කරගනු මැන “ කියා. ගෝතමී තෙරණින් වහන්සේ ඇය පැවිදි කරවා උපසම්පදාව ලබා දී බුදුරජාණන් වහන්සේ වෙත කැඳවා ගෙන ගියා.

“භාග්‍යවතුන් වහන්ස, මට අරහත්වයට උපකාර කරන්න” ඇය ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා,

“පින්වත් භික්ෂුණිය, ඔබ මනසේ හටගත්තා වූ කාමරාගය සංසිඳී තිබෙනවා. පාංශකූල වස්ත්‍රයෙන් මසාගත් සිවුර පොරවා ගත්තට පස්සේ හරිම සැප සේ වාසය කරන්නට පුළුවනි. පිසින භාජනයක පලා කොළ මැල්ලුම රොස්වූයේ යම් සේ ද, එයම කමටහනක් කොට ඉතිරි සංයෝජනත් ප්‍රහානය කරන්න.”

තෙරණියන් වහන්සේගේ ඉඳුරන් හොඳීන් මෝරා තිබුණා. ඇය කුටියට වැඩියා. පා සෝදා ගත්තා. පළඟක් බැඳගෙන වාඩිවෙලා ඒ පිළිබඳව විදර්ශනා කොට නොබෝ වේලාවකින් අරහත්වයට පත්වුණා.

අරහත්වයට පත්වෙන තෙරණිවරු උදාන වදාරයි. නමුත් ථේරිකා තෙරණිය ඇගේ ජීවන කතාව උදාන ගාථා ලෙස නිතර සිහිකළා. උන්වහන්සේ මෙසේත් වදාළා.

* “උඬුඟුබව, සැකය සමඟ එකට හටගත් යම් මුළා බවක් වේ ද, මේවා එකට පවතිනා බැවින් රාගය සමඟ වැනසෙනවා. සියලු සංයෝජන දුරු කළ මම දැන් සුවසේ වසනවා. නැවත උපතක් මට නැත.”