Print this Article


සුජාත ජාතක කතාව: නොලැබෙන දෙයට හැඬීම

සුජාත ජාතක කතාව:

නොලැබෙන දෙයට හැඬීම


"සුජාත කුමාරයාණෙනි, මළ මීමෙකු තණ, පැන් ආදිය කන්නේ බොන්නේ කෙසේද?"

"පියාණෙනි, මීමාගේ දෑත, දෙපය, වල්ගය ඇතුළු ශරීරයෙන් කිසි දෙයක් අඩු නොවී තිබුණ නිසා තණ, පැන් දුන්නෙමි"


නොපෙනෙන, නොලැබෙන දේ කෙරෙහි හැඬිමෙන් ඵලක් නැත. ඉන් වෙහෙසට පත් වනවා මිස බලාපොරොත්තු වන දෑ කිසි කලෙකවත් ඉටු නොවෙයි.

අප අමා මෑණි තථාගත සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ තමාගේ පියාණන්ගේ මරණයෙන් මහත් ශෝකයට පත්ව අඬමින් ඉන්නා වූ උපාසකයකු අරභයා මේ ජාතක කතාව දේශනා කළා.

එක්තරා උපාසකයකුගේ පියා මිය ගියා. ඒ ගැන උපාසකයා ශෝකයෙන් බොහෝ වෙහෙසට පැමිණ සිටියා. එහෙත් එම උපාසකයාට සෝවාන් ඵලයට පත්වීමට හැකි තරම් පින් පිරී ඇති බව බුද්ධ ඥානයෙන් දුටු බුදුරජාණන් වහන්සේ ඔහු වෙතට වැඩම කළ යුතුයි සිතා විහාරස්ථානයේ වැඩ සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් කැඳවාගෙන එම උපාසකයාගේ ගෙදරට වැඩම කළා. උපාසකයා බුදුරජාණන් වහන්සේ දැක සතුටට පත් ව අසුන් පනවා වැඳ එකත් පස්ව වාඩි වුණා. සර්වඥයන් වහන්සේ උපාසකයාගේ ඇඬීමට කාරණා විමසා සිටියා.

“උපාසකය, කුමක් හේතු කොටගෙන හඬන්නේ ද?”

“අනේ ස්වාමීනි, මාගේ පියාණන් මියගොස් දරාගත නොහැකි ලෙස මගේ මනස ව්‍යාකූල වෙලා. ඒකයි මම හඬන්නේ.”

“උපාසකය මළවුන්ට ඇඬිම සුදුසු නොවෙයි. ඔබ පෙර නැසී ගිය උන් වෙනුවෙන් අඬන අයට අවවාද දුන්නා නොවේද” යි වදාරමින් භවයෙන් වැසුණු පෙර කතාවක් මතක් කළා. එම අතීත කතාව ඇසීමේ සිතිවිල්ලක් පහළ වූ උපාසකයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට සිටියා. ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව දේශනා කොට වදාළා.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කළා. එසමයේ බෝධිසත්වයෝ එක්තරා කෙළඹියෙක්හට පුත් ව උපන්නා. ඔහු නමින් සුජාත නම් වුණා. බෝධිසත්වයන්ගේ මුත්තණුවන් කිසියම් රෝගයකින් මරණයට පත් වුණා.

බෝධිසත්වයන්ගේ පියාණන් හෙවත් කෙළඹියා තමන්ගේ පියාණන් මළ ශෝකයෙන් පියාණන්ගේ ආදාහන භූමියෙහි තිබූ භෂ්මාවශේෂ තමන්ගේ ගෙදර සමීප භූමියෙහි වළලා එතැන පස්වලින් කොත් සකසා දවසකට තුන් විටක් එතැනට ගොස් වැඳ, පුදා හඬා පෙරළී, නොකා නොබී බොහෝ වෙහෙසට පත් වුණා.

“පියාණන් වහන්සේ මාගේ මුත්තණුවන් වහන්සේ කෙරේ ශෝකෙන් පෙරළී, නොකා නොබී බොහෝ වික්ෂෝපයෙන් දුක් විඳිනවා. මා ඔහුගේ ශෝකය දුරු කළ යුතුයි.’

මෙසේ සිතා බෝධිසත්ව සුජාත කුමරුවෝ මළ මීමකු වැටී සිටපු තැනට තණත් පැනුත් ගෙන ගොස් තණ කාවයි, පැන් බොවයි කියා මීමාගේ මුවෙහි තබයි. ඒ දුටු බොහෝ මනුස්සයෝ විසින් “මේ කිම්ද? සුජාත කුමාරයාණෙනි,

මළ මීමෙකු තණ පැන් ආදිය කන්නේ ” බොන්නේ කෙසේද? කියා අවවාද කළත් කිසිවකුගේ කිසි බසක් නොඅසා කිසිවකුට කිසි බසක් නොකියා මළ මීමාට තණ කවයි. පැන් පොවයි.

නැවත නැවත කියා මීමා කිසි ප්‍රතිචාරයක් නොදක්වන කල කුමරුවෝ හඬන්නට ද වුණා. එවිට මිනිසුන් ගොස් සුජාත කුමාරයන්ගේ පියාණන්ට කියන්නෙන් “ඔබගේ පුතණුවන් මළ මීමකු කෙරේ මහත් කරුණාව උපදවා තණ පැන් තබා කවන්නට පොවන්නට වෙහෙසෙනවා. කිසි බසක් අහන්නේ නැහැ.

“කෙළෙඹියා ද තමන්ගේ පියාණන් මළ ශෝකය හැර පුත්‍ර ප්‍රේමයෙන් සුජාත කුමාරයන් කරා දුවගෙන ආවා. “පුතණුවනි, මළ මීමකුට කෙසේ නම් තණ පැන් කවයිද?” “පියාණෙනි, මීමාගේ දෑත, දෙපය, වල්ගය ඇතුළු ශරීරයෙන් කිසි දෙයක් අඩු නොවී තිබුණ නිසා තණ පැන් කවයි. බොවයි කීවා වරදද? ඌ මළේ යයි බොහෝ දෙනා කියාත් ඌගේ ශරීර අවයව තිබුණා නොවේද? එසේ කල තණපත් කයි සිතා මම කීවා. මීමාගේ ඇස්, කන්, නාසා, දෑත, දෙපය වල්ගය ඇති තැනැත්තන්ට තණ පැන් කන්ට කී මම අඥානයෙක්ද?’

නුඹ වහන්සේගේ පියාණන්ගේ ශරීරය දවා භස්මාවශේෂ කිසි දෙයකුත් නොපෙනී තිබියදීත් අඬා වැළප බොහෝ සෝකයට පැමිණියේ නුවණ ඇති නිසාද? යයි පියතුමාගෙන් විචාළා. එවිට බෝධිසත්වයන්ගේ පියාණෝ යහපත පුත, මාගේ සෝක සංසිඳවූ නියාව අපූරු ය. මව්පියන්ගේ සෝක සංසිඳවන්නට නුඹට ම භාරයි. මහත් ගිනි කඳක් පැන් කළ බොහෝ වත්කොට නිව්වා මෙන් මාගේ සෝක ද සංසිඳුණා” යි සුජාත කුමාරයන්ට ස්තූති කළා.

බුදුරජාණන් වහන්සේ මේ සුජාත ජාතක දේශනය එ සමයෙහි මළ පියා කෙරෙහි සෝක වූ කෙළෙඹියා උපාසකයා යි. ඔහුට අවවාද කළ සුජාත කුමරු මම ම නොවේදැ’යි තමන් වහන්සේ දක්වා වදාළා.