Print this Article


නිවන වළකන බාධක

නිවන වළකන බාධක

ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදෙන්නට අපාය භය සිහිකළ යුතු ය. ක්‍රෝධය මුල් කරගෙන මම මේ වන විට නිරයේ කොයි තරම් නම් දුක් විඳලා ඇති දැයි සිතිය යුතු ය. අනාගතයේ ක්‍රෝධ කිරීම නිසා කොයි තරම් දුක් විඳින්න සිද්ධ වේ දැයි කල්පනා කළ යුතු ය. එවිට ක්‍රෝධයෙන් මිදිය හැකි ය.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අයහපත් මානසික ක්‍රියාකාරීත්වයන්, සිතිවිලි නිරන්තරයෙන් අපගේ සිතෙහි ඇති වේ. එම සිතිවිලිවලට අනුව අප ක්‍රියාත්මක වේ. නමුත් එහි බරපතළකම, විපාකයන්ගේ වේදනාකාරීත්වය පිළිබඳ අප එතරම් සිතන්නේ නැත.

මිනිසුන්ට පමණක් නො ව, අපා - දෙපා - සිව්පා හා බහුපා ආදී පෙනෙන - නො පෙනෙන සියලු සත්වයන් කෙරෙහි බොහෝ අවස්ථාවල වෛරයෙන් හා ක්‍රෝධයෙන් අපි කටයුතු කරමු. එහි දී ආදීනවයන් පිළිබඳ කිසි ලෙසකින්වත් තැකීමක් කරන්නේ නැත. ක්‍රෝධ කිරීම තුළින් පුද්ගලයාට සිදු වන අනර්ථය අප මනා සිහියකින් අවබෝධ කර ගෙන සිත මෛත්‍රියෙන් පුරවා ගත යුතු ය.

වරෙක කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ කරා පැමිණ මෙසේ විමසා සිටියි. “තථාගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සත්ත්වයාගේ විපත පිණිස, අහිත පිණිස, දුක් පිණිස හේතුවන කරුණු කීයක් තිබේ ද කියලා. ඒ වේලාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයාගේ අහිත පිණිස, දුක් පිණිස, විපත පිණිස හේතුවන කරුණු තුනක් පවතින බව, එනම්

පුද්ගලයා තුළ හටගන්නා ලෝභය

පුද්ගලයා තුළ හටගන්නා ද්වේෂය

පුද්ගලයා තුළ හටගන්නා මෝහය

මේ කරුණු අනුව යම් පුද්ගලයෙක් ලෝභ, ද්වේෂ හා මෝහයෙන් මඩනා ලද සිත් ඇති ව කටයුතු කරයි නම්, ඒ හේතුවෙන් එම පුද්ගලයා දුකට පත් වන බවත්, එසේ කටයුතු නො කිරීම හේතුවෙන් එය යහපත පිණිස, හිතසුව පිණිස, සැප පිණිස හේතුවන බවත් බුදුරජාණන් වහන්සේ වැඩි දුරටත් දේශනා කළහ. එසේ නම්, පුද්ගලයාගේ ජීවිතයේ සමෘද්ධිමත් බව පිණිස, යහපත් අර්ථ සහිත බව පිණිස කිසිවෙකුටත් වෛර නො කළ යුතු ය. ඊර්ෂ්‍යා නො කළ යුතු ය. නින්දා නො කළ යුතු ය. ක්‍රෝධ නො කළ යුතු ය. මෛත්‍රිය වැඩිය යුතු ය. බුදුරජාණන් වහන්සේ අපට පෙන් වූ මාවත එය යි. ක්‍රෝධයෙන් මිදීමේ පිළිවෙත එය යි.

එසේ ම ක්‍රෝධය යනු නිවන වළකන බාධකයකි. නිවනින් අප ඈත් කර තබන්නේ මෙම ක්‍රෝධය යි. බුදුරජාණන් වහන්සේ මෙය තේරුම් ගැනීමට ලස්සන උපමාවක් දේශනා කර තිබෙනවා. එනම් ක්‍රෝධය විෂ මුල් ඇති මිහිරි අග ඇති ගසක් වැනි ය. විෂ මුල් කියන තරහින් තමා එය පෝෂණය වන්නේ. පළිගැනීමෙන් තමා සතුටු වෙන්නේ. කුමන දෙයක් කර හෝ පළිගැනීම එක ම අරමුණ වේ. එය අපගේ අනර්ථය පිණිස, දුක් පිණිස හේතු වන අකුසලකාරකය කි.

එම නිසා ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදෙන්නට අපාය භය සිහිකළ යුතු ය. ක්‍රෝධය මුල් කරගෙන මම මේ වන විට නිරයේ කොයි තරම් නම් දුක් විඳලා ඇති දැයි සිතිය යුතු ය. අනාගතයේ ක්‍රෝධ කිරීම නිසා කොයි තරම් දුක් විඳින්න සිද්ධ වේ දැයි කල්පනා කළ යුතු ය. එවිට ක්‍රෝධයෙන් මිදිය හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටියා එක්තරා කරණවෑමියෙක්. ඔහු වයසට ගොස් තම දරුවන් දෙදෙනා ද සමඟ පැවිදි වුණා. දවසක් මෙම භික්ෂුවට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න. ඒක නිසා තම දරුවන් දෙදෙනා ද කරණවෑමි කටයුතු දන්න නිසා දරුවන් දෙදෙනා ගම්වලට පිටත් කර හරිනවා කොණ්ඩෙ කපලා මුදල් සොයා ගෙන එන්න කියලා. මිනිසුන් ද මුදල් දීලා පොඩි හාමුදුරුවරු දෙදෙනාගෙන් කොණ්ඩෙ කපා ගත්තා. මුදල් සොයා ගෙන ආවට පස්සේ එම මුදල්වලින් දානය පිළියෙළ කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් වුණා. දානයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවගෙන් ඇසුවා කොහොමද මේ දානය පිළියෙළ කළේ කියලා. ඒ වෙලාවේ අර භික්ෂුව සියලු විස්තර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අප්‍රසාදය දක්වා දන් නො වළ දා ම නිවසින් පිට ව ගියා. ඒ පිළිබඳව අර මහලු භික්ෂුව වෛරයක්, ක්‍රෝධයක් ඇති කර ගත්තා. එම භික්ෂුව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිය දී අභද්‍ර වචනය ප්‍රකාශ කළ සුභද්‍ර භික්ෂුව.

ක්‍රෝධයේ ලක්ෂණය මෙය යි. තමාගේ ශාස්තෘවරයන් වහන්සේගේ පිරිනිවීම පවා සතුට දනවන කරුණක් බවට පත් කරගන්නේ මෙම ක්‍රෝධයේ ඇති පහත්, නිවට නියාලු ගතිය මොනවට පැහැදිලි කරමිනි. මෙවැන්නෙකුට සසර ගමනින් මිදීම අතිශය අපහසු ය. සසර ගමන් තව තවත් දීර්ඝ වීමක් ම පමණක් ම වේ.