Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 14 කොටස: ලුම්බිණි විහාරයට වන්දනා නඩයක් පැමිණෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 14 කොටස

ලුම්බිණි විහාරයට වන්දනා නඩයක් පැමිණෙයි

සැතපීමට ගිය ද පදුමකිත්ති හිමියන්ගේ හිත දැඩි ලෙසින් පෑරී තිබුණේ පස්වරුවේ වූ සිදුවීමටය. තමන් පැමිණ පැය කිහිපයක් හෝ යන්නට කලින් එලෙසින් බැණ වැදීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි පදුමකිත්ති හිමියෝ කල්පනා කළහ.

නාගදීපයේ සිට පිරිවෙන් අධ්‍යාපන කටයුතු පිණිස අනුරාධපුර විමල ධර්මදූත මධ්‍යස්ථානයට වැඩම කළ නවදගල පදුමකිත්ති හිමියන්ට එහිදී විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදු විය. එහි නාහිමියන් ද කිසිවකුට නොදන්වා වෙනත් විහාරස්ථානයකට ගොස් තිබුණේ එහිදී සිදුවූ සිදුවීම් නිසා ය. පිරිවෙන් නිවාඩු සමයේ නාගදීපයට වැඩම කළ පදුමකිත්ති හිමියන් කිළිනොච්චියේ ලුම්බිණි විහාරයට වැඩම කරන්නට සූදානම් වන විටම අනුරාධපුර විමල ධර්මදූත මධ්‍යස්ථානයේ හිමියන්ගෙන් නාගදීපයේ නා හිමියන්ට ලිපියක් ලැබුණි.

ලිපිය කියවන්නට වූ නා හිමියන්ගේ නළල රැලි වැටෙන්නට විය. ‘‘යන තැන ලෙඩ ගොඩයි...‘‘ කියමින් නා හිමියන් පදුමකිත්ති හිමියන්ට දොස් පවරන්නට විය.

‘‘යනව.. යනව, එතනවත් වනසන්නෙ නැතුව ඉන්නවා, ‘‘ කියූ ධම්මකිත්ති නා හිමියෝ ආවාසයට වැඩම කළහ. පදුමකිත්ති හිමියෝ කිළිනොච්චියේ ලුම්බිණි විහාරයට වැඩම කළහ.

එහි විහාරාධිකාරි ධුරය දැරූවේ ධම්මානන්ද නම් හිමි නමකි. උන් වහන්සේ පදුමකිත්ති හිමියන් පැමිණි විගසම තම දේශනය පටන් ගත්හ.

‘‘මෙතන වැඩ කරගෙන මම කියන විදිහට ඉන්න ඕන, කලින් හිටපු උන්නාන්සෙ මට ඉහළින් වැඩ කරන්න ගිහින් මම එළවල දැම්ම, අන්න දැන් වෙන පන්සලක ඉන්නව‘‘

‘‘මම ආවෙ කාගෙවත් වැඩ කරන්න නෙමෙයි, නායක හාමුදුරුවො කියපු නිසා පන්සල බලාගෙන ඉන්නයි මම ආවෙ, ඒකට උදවු කරන්න පුළුවන්, ඒ වුණාට කාගෙවත් වැඩපළ කරන්න මට බැහැ.‘‘ පදුමකිත්ති හිමියෝ ද පිළිතුරු දුන්හ. එතැනින් කතාබහ නැවතුණු අතර ධම්මානන්ද හිමියන් පදුමකිත්ති හිමියන්ට කාමරයක් ලබා දුන්හ. එහි මඳ වේලාවක් සිටි පදුමකිත්ති හිමියෝ බෝමළුවේ සක්මන් කරමින් සිටි අතර තරමක් රෑ බෝවී එන විටම නාගදීපය බලා යන වන්දනා නඩයක් පැමිණි අතර උතුරේ කලබලකාරී තත්ත්වය මත ඔවුහු රාත්‍රියේ ගමනට අකමැති වූහ.

වන්දනාකරුවන්ගේ නඩේ ගුරා පදුමකිත්ති හිමිගෙන් විස්තර විමසී ය.

‘‘නාගදීපයේ කිසි ප්‍රශ්නයක් නැහැ, නායක හාමුදුරුවන්ට ඉහළින් කවුරුත් වැඩ කරන්න යන්නෙ නැහැ.‘‘ පදුමකිත්ති හිමියෝ විස්තර කළහ. විනාඩි 10කට වැඩි වේලාවක් වන්දනා නඩය සමඟ පදුමකිත්ති හිමියෝ කතා කරමින් සිටියහ. එතැනට පැමිණි විහාරාධිකාරී ධම්මරතන හිමියෝ පදුමකිත්ති හිමියන්ට බැණ වැදුණාහ.

‘‘මෙතන කයිය ගහන්නද ආවෙ, පන්සලේ වෙන වැඩ නැද්ද?‘‘

ධම්මරතන හිමියන්ගේ ඒ දෝෂාරෝපණයට වන්දනා නඩයේ සිටි අය තුෂ්නිම්භූත වූහ. මඳක් නිහඬව පසෙකට වූ පදුමකිත්ති හිමියෝ යළිත් පැමිණ නඩේ ගුරා හමු විය.

‘‘හෙට උදේම මාත් එනව ඔයාලත් එක්ක නාගදීපයේ යන්න, අර තියෙන්නෙ මගේ කාමරේ උදේට මට කතා කරන්න‘‘

‘‘එහෙමයි හාමුදුරුවනේ, අපි පාන්දර 5ට විතර යනවා, මම කතා කරන්නම්‘‘

නින්දට ගිය ද පදුමකිත්ති හිමියන්ගේ හිත දැඩි ලෙසින් පෑරී තිබුණේ පස්වරුවේ වූ සිදුවීමටය. තමන් පැමිණ පැය කිහිපයක් හෝ යන්නට කලින් එලෙසින් බැණ වැදීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි පදුමකිත්ති හිමියෝ කල්පනා කළහ.

‘මේ පන්සලට ඇවිත් පැය 24ක් වත් මට ඉන්න ලැබුණෙ නෑනෙ, හෙට පාන්දර වන්දනා නඩෙත් එක්ක මම යනවා‘

අලුයම ‘හාමුදුරුවනේ‘ යනුවෙන් කවුදෝ කතා කරනවා උන් වහන්සේට සිහිනෙන් මෙන් ඇසුණි. එහෙත් උන් වහන්සේ අනෙක් පසට හැරී සැතපුණේ තද නින්දේ පසු වූ නිසාය.

පසු දිනම පදුමකිත්ති හිමියන් අවදි වන විට හොඳටම එළිය වැටී තිබුණි. ඒ වන විටත් වන්දනා නඩය පිටත්ව ගොසිනි. සිහිනෙන් මෙන් ඇසුණේ තමන්ට කතා කළ හඬ බව පදුමකිත්ති හිමියන්ට තේරුම් ගියේ එවිටය. ‘පැය 24ක්වත් මට මේ පන්සලෙත් ඉන්න බැරි වුණානෙ‘ යැයි යළිත් සිතමින් උන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමට සූදානම් වූහ. කෙසේ වුවත් භාරකාර හිමියන්ට දැනුම් දී යාම කළ යුතු යැයි සිතූ පදුමකිත්ති හිමියෝ උන් වහන්සේ සොයා ලැඟුම් ගෙට වැඩම කළද උන් වහන්සේ එහි නොවූහ. දාන ශාලාව සොයා වැඩම කළ උන් වහන්සේ දුටු ධම්මානන්ද හිමියෝ ආ උන්නාන්සෙ වඩින කල් හිටියෙ, පරක්කු නිසා මම වළඳන්න ගත්තා, උන්නාන්සෙ වළඳන්න මෙන්න පිඟාන‘ යැයි පැවසූහ.

‘‘එපා හාමුදුරුවනේ, මම ආපහු නාගදීපෙට යනවා, ඔබ වහන්සේට කියලා යන්නයි ආවෙ‘‘

‘‘මොකක්..... උන්නාන්සෙට පිස්සු ද? කොහේවත් යන්න එපා, මොනවද වෙන්න ඕන කියන්න‘‘ දානය වැළඳීම පසෙක තැබූ ධම්මානන්ද හිමියෝ පදුමකිත්ති හිමියන් දෙසට වැඩම කළහ.

‘‘නැහැ, හාමුදුරුවනේ මට මුකුත්ම වෙන්න ඕන නැහැ...‘‘ කියූ පදුමකිත්ති හිමියන් කිළිනොච්චියේ ලුම්බිණි විහාරයෙන් පිටවිය. නාගදීපයෙන් ගොස් පැය 24ක් යාමටත් පෙර පදුමකිත්ති හිමියන් ආපසු වැඩම කරනු දුටු ධම්මකිත්ති හිමියෝ ඇස් අයා ගෙන බලා උන්හ.

‘‘මේ.. මොකෝ..‘‘ ධම්මකිත්ති හිමියෝ වැල නොකැඩී ප්‍රශ්න කරන්නට වූහ.

‘‘ඒ, උන්නාන්සෙ එක්ක මට ඉන්න බැහැ ලොකු හාමුදුරුවනේ, ගිය ගමන් මගෙන් වැඩ ගන්න හැදුවා, ‘මට ඕන විදිහට ඉන්න බැරි අය එළවනවා‘ කිව්වා. කලින් හිටපු හාමුදුරුවොත් එළෙව්වා කිව්ව‘‘ යැයි පදුමකිත්ති හිමියෝ සියලු විස්තර පැවසූහ.

‘‘ඒ ධම්මානන්දත් එක විදිහක් තමයි, කලින් උන්න උන්නාන්සෙත් පන්සලෙන් ගියේ එයාගෙ කෙරුවාව නිසා තමයි‘‘ තමාටම කියාගත් නා හිමියෝ‘‘ දැන් ඉතින් ඔතන හිටියා මදැයි ගිහින් මුහුණ කට හෝදගෙන ගිලන් පස එකක් හදව ගන්නව‘‘ කියමින් ආවාස ගෙයින් එළියට වැඩම කළහ.

දෙදිනක්ම ගෙවී ගියේ දැඩි අලසකමින් යුක්තව ය. හදිසියේම නා හිමියන් පදුමකිත්ති හිමියන් අමතා වදාළේ, ‘‘අපේ හිතවත් මහත්තයකුගෙ මළ ගෙයක් වෙලා අද රෑ කෝච්චියෙම යන්න ඕන, මාත් එක්ක උන්නාන්සෙත් යන්න ලෑස්ති වෙන්න ඕන‘‘ යනුවෙනි.

මතු සම්බන්ධයි