Print this Article


තණ්ඩුලනාළි ජාතක කතාව : ලාභයෙහි දැඩි ලෝභය අනුවණයාගෙ පුරුදු ය

තණ්ඩුලනාළි ජාතක කතාව :

ලාභයෙහි දැඩි ලෝභය අනුවණයාගෙ පුරුදු ය

“පින්වත් ආනන්දයෙනි, උදායි තෙරුන් වහන්සේ තමා අඥාන බැවින් අනුන්ට ලාබ හානි කළේ දැන් පමණක් නොවෙයි පෙරත් එසේ කළා”

“දබ්බමල්ලපුත්ත තෙරුන් ලාබත් බෙදන්න දන්නව ද?” ඇයි අප නො දනිම් ද?

 

එක් සමයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ ලාළුදායි නම් තෙර නමක් උදෙසා මෙම ජාතක කතාව දේශනා කොට වදාළා. එම ලාළුදායි තෙරුන් වහන්සේගේ කතාව මෙසේයි.

එක කාලයක දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේ අනෙකුත් සංඝයා වහන්සේලාට ලාබත් (පේරු දානය/ සලාක දානය) සඳහා දායකයන්ගේ නම් ඇතුළත් කාඩ්පත් ලබා දුන්නා. උන්වහන්සේ සෑම උදෑසනක ම එම කටයුත්ත බොහෝ ම වුවමනාවෙන්, ගෞරවයෙන් ඉටු කළා. උදායි තෙරුන් වහන්සේට විටෙක යහපත් දාන ඇති දායකයන්ගේ නම් ලැබුණු අතර, සමහර විටෙක අයහපත් දාන ඇති දායකයන්ගේ නම් ලැබෙයි. එසේ අයහපත් නපුරු දානයක් උදායි ස්ථවිරයන් වහන්සේට ලැබුණු දවසට ලාබත් බෙදන ස්ථානයේ සිට කලබල ඇති කර ගත්තා.

“දබ්බමල්ලපුත්ත තෙරුන් ලාබත් බෙදන්න දන්නව ද?” ඇයි අප නො දනිම් ද? අපටත් පුළුවන් ලාබත් බෙදන්න” කියා රණ්ඩු සරුවල් කළා. දවසක් එසේ ආරවුලට ආ අවස්ථාවක දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේ, “එසේනම් නුඹ වහන්සේ ම මේ සලාක දානවලට අදාළ දායකයන්ගේ නම් සඳහන් කාඩ්පත් මහා සංඝ රත්නයට බෙදා දුන මැනව“ කියා ලාබත් පෙට්ටිය ලාළුදායි තෙරුන් අතට දී ඉවතට ගියා. එතැන් පටන් සංඝයා වහන්සේට ලාළුදායි ස්ථවිරයන් වහන්සේ ලාබත් බෙදා දුන්නා. එහෙත් උන්වහන්සේ ලාබත් බෙදීම පිළිබඳ ව කිසිවක් නො දන්නා නිසා විවිධ ගැටලු ඇති වුණා.

පේළියේ වඩින භික්ෂූන් වහන්සේ පිළිබඳ දන්නේ නැහැ. මහා තෙරවරු, කුඩා තෙරවරු කවුද කියා දන්නේ නැහැ. එබැවින් භික්ෂූහු ලාබයෙන් පිරී ගියා. මෙය තවදුරටත් ඉවසාගත නොහැකි වූ බාල භික්ෂු පිරිසකුත්, සාමණේර භික්ෂු පිරිසකුත් පැමිණ “ඇවැත් වූ කලත් ලාළුදායි ස්ථවිරයන් වහන්ස, නුඹ වහන්සේ මෙසේ ලාබත් බෙදා දෙතොත් භික්ෂූන් වහන්සේලා බොහෝ ලාභයෙන් පිරිහී යනවා. නුඹ වහන්සේ බත් බෙදා දෙන්නට සුදුසු නොවෙයි. මෙතැනින් නික්මුණ මැනව“ යි කියා ලාබත් බෙදා දෙන තැනින් නෙරපා දැමුවා. ඒ වෙලාවේ ලාබත් බෙදා දෙන තැන මහා ශබ්දය අසා ඒ කුමක් දැයි සර්වඥයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසා සිටියා.

“ආනන්දයෙනි, කිමෙක් ද? ලාබත් බෙදන තැන මහත් වූ කෝලාහල ඇසෙන්නේ”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ ලාබත් බෙදා දීමේ දී උදායි තෙරුන් වහන්සේ අන්‍ය භික්ෂූන්ගේ ලාබය නැති කළා” යැයි ඇති වූ ගැටලුවක්.

“පින්වත් ආනන්දයෙනි, උදායි තෙරුන් වහන්සේ තමා අඥාන බැවින් අනුන්ට ලාබ හානි කළේ දැන් පමණක් නොවෙයි පෙරත් එසේ කළා”

එහිදී දම්සභා මණ්ඩපයේ රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ආරාධනා ලැබූ තථාගතයන් වහන්සේ එම අතීත කතාව ද දේශනා කොට වදාළා.

පෙර කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කළා. එකල අප මහා බෝසතාණෝ රජ්ජුරුවන්ට වන්නකුකම් කළා. එනම් රජ මාළිගයෙන් බැහැර කරන සහ රජ මාළිගාවට ලබා ගන්න අස්ව, ඇත් ආදීන්ට හා රන්, මුතු, මැණික් ආදීන්ට මිළ ගණන් නියම කරන අයකැමි තනතුර යි. මෙම තනතුර කිසිදු හොරයක්, වංචාවක් නො මැති ව වස්තුවට හිමි මුදලම නියම කොට වස්තුව හිමි ස්වාමියාට අදාළ මිලම දුන්නා. රජ්ජුරුවෝ ඉතා ලෝභ වූවෙක් නිසා මෙසේ සිතුවා. “මේ පුරුෂයා තවදුරටත් වන්නකුකම් කෙරේනම් නොබෝ දිනකින් ම මගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා වෙනවා. ඒ නිසා වෙනත් පුද්ගලයෙකු වන්නකුකම් තනතුරේ තැබීම සුදුසුයි.” කියලා. පසුව රජතුමා සිව්මැදුරු කවුළුවෙන් රාජංගනය දෙස බලන කල එහි ඉතා ලෝභී වූ අඥාන එක් ගම්වැසි පුරුෂයෙකු දැක “මේ තෙමේ මගේ සියලු වස්තුවෙහි අගය තබා අයවැය කරන්නට සමර්ථ වෙයි.” සිතා රාජ පුරුෂයෙකු ලවා ඔහු ගෙට ගෙන්වා ගෙන

“දරුව, නුඹ මාගේ භාණ්ඩාගාරයෙහි සේවය කරමින් වස්තුවෙහි අගය තබා අයවැය කොට වනක්කුකම් කරන්නට සමත් වෙයිදැ”යි ඇසුවා. ඒ පුරුෂයාත්

“යහපත ස්වාමීනි” යි

ගිවිස ගත්තා. රජතුමා ඒ අඥාන පුද්ගලයා වන්නකුකම් තනතුරේ තබා බෝසතාණන් වහන්සේ ඒ තනතුරෙන් නෙරපා හැරියා.

එතැන් පටන් ඒ පුරුෂයා ඇත්, අස්, ආදීන් සහ රන් රුවන් ආදියෙහි මිල නියම කළා. එහෙත් කිසිම වස්තුවක වටිනාකම නො දන්නා නිසා නියම වටිනාකම නො කියා මුවට නැගෙන බාල මිලක් කැමති පරිදි කීවා. ඉතින් ඔහු වන්නකුකම් තනතුර දැරූ නිසා යම් මිලක් කීවේ ද, එයම එම වස්තුවේ මිල ලෙස නියම වුණා. එහෙත් පෙර මෙන් නො තිබූ වටිනාකමෙනුත් බාල මිල ගණන් තමයි ඔහු කීවේ. අනෙක් අතට එය රාජ නියෝගයෙන් දුන් තනතුරක් බැවින් ඔහුගේ වචනයට පිටින් කිසිවෙක් උත්තර බැන්දෙත් නැහැ.

මේ අතර දවසක් උත්තරා පතයෙහි වාසය කරන එක් අශ්ව වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් රැගෙන බරණැස් නුවරට පැමිණියා. එම අඥානවන්තයා අසුන් සඳහා සහල් නැළියක් වටී යැයි අගය කී අතර, රාජ අස් ගාලේ අසුන් පන්සිය දෙනා බැන්දා. තම අසුන් පන්සිය දෙනා එකම සහල් නැළියකට මිල වීමෙන් දුකට පත් වූ වෙළෙන්දා පළමු වන්නකුකම් කළ බෝසතාණන් වහන්සේ වෙත එළඹ මේ පුවත කීවා. එතුමා ඔහුට උපායක් කියා දුන්නා. ඒ පුරුෂයාට මෙහෙම කියන්න.

“අපගේ අශ්වයන් එකම සහල් නැළියකට වටින්නේ නම් එම සහල් නැළියේ අගය කොතෙක්දැයි දැන ගැනීමට කැමතියි. ඒ නිසා රජ්ජුරුවන් සමීපයේ සිට එම සහල් නැළියේ මිල කියන්නට ඔබට හැකි නම්, මා ඔබව අල්ලසක් දෙන්නම්” කියා. අල්ලසෙහි ගිජු වූ වන්නක්කයා

“එසේය, මට එය කියන්න පුළුවනි” යැයි පිළිතුරු දුන්නා.

පසුව අස් වෙළෙන්දා එම වන්නක්කයා ද කැටුව රජ්ජුරුවන් සමීපයට ගියා. බෝසතාණන් වහන්සේත්, ඇමති මණ්ඩලයත් ඒ මොහොතේ පැමිණියා. රජ්ජුරුවන් වහන්සේ ඉදිරියේ සහල් නැලියේ අගය කියවීම අරමුණු කරගත් අස් වෙළෙන්දා රජුට පුවත් කියා රජු ලවා සහල් නැලියේ අගය විමසුම් කළා.

‘එම්බා වන්නක්කය, පන්සියයක් අසුන් කෙතෙක් මිල ද?’

‘ස්වාමීනි, සාල් නැළියක් වටියි’ කීවා

‘දරුව පන්සියයක් අසුන් එක් සාල් නැළියක් වටින්නේ නම්, සාල් නැළියක් කෙතෙක් අගනේ ද?’

‘ස්වාමීනි, යොදුන් දොළොසක් සහිත අතුල් නුවර සහ යොදුන් තුන්සියයක් පිටි නුවර සමඟ බරණැස් රාජ්‍යම එකම සහල් නැළියකට අගනේ’ යැයි වන්නක්කයා පිළිතුරු දුන්නා.

ඒ අසා අමාත්‍ය මණ්ඩලය ඔහුටත් ගර්හා කර ‘අප මෙතෙක් කල් දැන සිටියේ බරණැස් නුවර රාජ්‍ය අනර්ඝ ය. මිල කළ නොහැකි ය කියා යි. එහෙත් මේ සා මහත් රාජ්‍යයක් එකම සහල් නැළියකට මිල වුණා.’ යි කියමින් අත්පොළසන් දෙමින්, සිනාසෙමින් රජුටත් එම පුද්ගලයාටත් අපහාස නින්දා වන ආකාරයට කලබල හැසිරුණා.

එයින් රජ්ජුරුවෝ මහත් ලජ්ජාවට පත්ව ඒ අඥාන ලෝභි වූ පුද්ගලයා නුවරින් පිටුවහල් කොට නැවතත් මහ බෝසතාණන් ම වන්නකු තනතුරේ තැබුවා. බෝධි සත්ත්වයන් ද එතැන් පටන් සාධාරණ මිල ගණන් කියමින් භාණ්ඩාගාරයත්, රජ්ජුරුවනුත් ආරක්ෂා කර ගනිමින් රජුට සේවය කළා.

ශාස්තෘ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ‘ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා මා හට ලාභයේ හානි කළේ දැන් පමණක් නොවේ. පෙරත් තමා අනුවණ බැවින් රාජ්‍ය පවා නැතිවන්නට ගියා” යි කියමින් තණ්ඩුලනාළි ජාතක දේශනය නිමවා වදාළා.

ඒ සමයෙහි ගම්වැසි අඥාන වන්නකු පුරුෂයා දැන් මේ ලාළුදායි ස්ථවිර යි නුවණැති වන්නකු පුරුෂයා නම් ලෝකස්වාමී වූ මම්ම නො වේදැ’යි තමන් වහන්සේ දක්වා වදාළා.