Print this Article


දුර බලන්න

දුර බලන්න

අනුතප්පති යනු පසුතැවිලි වීම ය. කළ කම් ගැන සිතා දුක්වීම ය. පසුතැවුල මිනිසාගේ සැපය නැති කොට කයෙහි නොයෙක් වේදනා ඇති කරයි. ඒ අනුව සිතා බලා යමක් කිරීම වැඩදායක ය.

විවිධ අයුරින් ක්‍රියා කොට පසුවට ඒ ගැන සිතා පසුතැවිලි වීම, දුක්වීම, කනගාටුවට පත්වීම සුලභ ව සිදුවන්නකි. අප ජීවත්ව න සමාජය තුළ කරන ක්‍රියා කොටස් දෙකකින් යුක්ත ය. එනම් හොඳ ක්‍රියා හා නරක ක්‍රියා යි. එයින් පසුතැවිල්ලට හේතු වන්නේ නරක ක්‍රියා යි.

බුදුදහමට අනුව ඒවා අකුසල්, පව් ආදී වශයෙන් හැඳින්වේ. ධම්ම පදයේ බාල වග්ගය තුළ සඳහන් අට වෙනි ගාථාව මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. එනම්

නතං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටි සේවති

යම් කර්මයක් කොට පසුතැවේ ද, යම් කර්මයක් විපාකය කඳුළින් වැකුණු මුහුණු ඇතිව හඬමින් විඳී ද, එවැනි කර්මයන් නො කර සිටීම මැනවි.

ඇත්තෙන්ම බොහෝ අය ආවේගශීලි වී හෝ, කෝපයෙන් හෝ පළිගැනීම් මාත්‍රයෙන් හෝ විවිධ ක්‍රියා සිදු කරති. දුරදිග නො බලා ක්ෂණික හැඟීම් මත යම් යම් සිදු කරති. නමුදු පසුවට ඒ ගැන සිතීමේ දී ඒ ගැන දුක්වීමට සිදු වේ. තමාටත් අවැඩ, අනුන්ටත් අවැඩ මෙලොවටත් අවැඩ, පරලොවටත් අවැඩ දෙයක්නම් එය දුක් සහගත ව විඳගැනීමට සිදුවේ.

ඉහත ගාථාව තුළ ඇති පද විවරණය දෙස බැලීමේ දී තවදුරටත් ඒ බව පැහැදිලි වේ. ‘න සාදු’ නම් යහපත පිණිස නො පවත්නා බව ය. පසුතැවිල්ලට හේතුවන දේ සිදු කොට අපායෙහි ඉපිද දරුණු දුක් විඳීමට හේතුවන පවුකිරීම ඉතා නොහබනා බව දක්වා ඇත. අනුතප්පති යනු පසුතැවිලි වීම ය. කළ කම් ගැන සිතා දුක්වීම ය. පසුතැවුල මිනිසාගේ සැපය නැති කොට කයෙහි නොයෙක් වේදනා ඇති කරන්නෙකි. ඒ අනුව සිතා බලා යමක් කිරීම වැඩදායක ය. පිරික්සා බලන විට කරන දැයෙහි විපාකය (හොඳ – නො හොඳ) වැටහෙන බව ඉන් පැහැදිලි වේ.

මෙලොවදී කරන පින්කම්වලට විපාකය, මෙලොව පල නුදුනත් බොහෝ සෙයින් පරලොව දී පලදීම නිසැක ය. මෙහිදි පසුතැවීමට හේතු වන්නේ ති දොර හරහා එනම් සිත,කය, වචනය තුළින් සිදුවන අකුසල කර්මත් සමඟ ය. ඒවාට අප දස අකුසල් කියා කියනු ඇත. එනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිශුනාවාචා, පරුෂාවාචා සම්ඵප්පලාපා, අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨි වශයෙනි.

යමෙක් නරක සිතින් නරක දෙයක් කරන්නේ නම්, එම ක්‍රියාව පසුතැවීමට හේතුවන අකුසලයකි. එහිදී විශේෂයෙන් මනස තුළ හටගන්නේ ලෝභ, දෝෂ, මෝහ නම් වූ ත්‍රිවිධ අකුසල මූලයන් ය. එවැනි සිතක් ඇතිව කරන අයහපත් දෙය තුළ ඵලය වන්නේ “චක්කං ව වහතෝ පදං” යන විග්‍රහයට අනුව ගොනා පසුපස එන ගැල මෙනි. ඒ අනුව ක්ෂණික ව විපාක නො ලැබුණත් කළ අකුසලයන්හි විපාක අපට එන බැව් බාල වග්ගය තුළ පැහැදිලි වේ.

කිරි දෙවූ කෙණෙහි ම නො මිදේ. කිරි මිදවීමට උණු කර ගත් කිරට මෝරු ආදී මුහුන් දැමිය යුතු වේ. එවිට කිරි මිදේ. එපරිද්දෙන් පාප කර්මය කළ විගසම විපාක දෙන්නේ නොවේ.

එනමුදු ක්ෂණික ව විපාක නො දෙන්නේ යැයි සිතා දස අකුසල් කිරීම පසුවට දුක් විඳීමට හේතු වන්නකි. දීඝිති කෝසල ජාතකය තුළ සඳහන් වන්නේ “දීඝං වා මා රස්ස” දුර බලන්න ළඟ නො බලන්න යනුවෙනි. උසස් මනසක් ලැබූවන් වශයෙන් මිනිස් වර්ගයා විසින් ක්ෂණික තීරණ නො ගෙන බුද්ධිමත් ව සිතා බලා කටයුතු කළ යුතු ය.

අද බොහෝදුරට සමාජය ප්‍රපාතයට වැටී තිබෙන්නේ දුරදිග නො බලා කටයුතු කිරීම හේතුවෙනි. පැරැණි කියමනක් තියෙනවා” පනින්න පෙර සිතා බලනු” යනුවෙන් ඒවා තුළ වුව ද ගැඹුරු අර්ථයක් නිරූපණය වේ.

පසුවට හැඬීම, වැලපීම, සෝක කිරිම සිදුවන්නේ තුන්දොර අයහපතට යෙදවීම තුළිනි. අප නිරතුරුව ම පසුවට සෝක නො වන කටයුතු ම සිදු කිරීමට සිතට ගත යුතු ය. සෝක වන කටයුතු එදිනෙදා ජීවිතයට වුව ද ඍජුවම බලපානු ඇත.

අද බොහෝ පවුල් සංස්ථා බිඳ වැටී ඇත්තේ ද එම හේතුව තුළිනි. මෙලොව ජීවිතය අසාර්ථක වුවහොත් පරලොව ලෞකික ජීවිතය ද දුක් සහගත වනු ඇත. එබැවින් පසුවට දුක්වන කටයුතු නො කොට කරන කටයුත්ත සැනසිලිදායක එකක් ම වීමට තම තමන් විසින් ම වගබලා ගත යුතු අතර ම ඒ සඳහා සැමට ම ප්‍රඥා ඇස පහළ වේවා.