Print this Article


ජීවිතයට ශක්තිමත් අරමුණක් ඕනෑ

ජීවිතයට ශක්තිමත් අරමුණක් ඕනෑ

" තමන්ට තමන් හැර අන් පිහිටක්, පිළිසරණක් නොමැති බව තේරුම් ගෙන ජීවත් විය යුතු ය. අනුන්ගෙන් යැපෙන බලාපොරොත්තුවෙන් ජීවත් නොවිය යුතු ය."

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති
ඒවං නින්දා පසංසාසු න සමික්‍ධජන්ති පණ්ඩිතා

සමාජයෙහි ජීවත්වන බොහෝ පුද්ගලයින් අටලෝ දහම හමුවෙහි කම්පිත වෙති. දුක සැප ආදිය සමව විඳ දරා ගැනීමට නොහැකිව බොහෝ පිරිස් තම ජීවිතයෙන් පවා සමුගනී. නිතර කළකිරීමෙන් ජීවත්වන මොවුන් තුළ කිසිදු පෞරුෂ ලක්‍ෂණයක් දැකිය නොහැකි ය.

ඒ නිසාම ධම්මපදයේ දී මනෝ විද්‍යාත්මක අවධාරණය කරනු ලබන්නේ සියලු සැප දුක් හමුවේ සියල්ල විඳ දරාගෙන මැදහත් සිතින් යුක්තව වාසය කිරීම ඉතා වැදගත් වන බවයි. ඒ තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනයක් නිරායාසයෙන් ම ඇතිවන ආකාරය මෙම ගාථාවෙන් පැහැදිලි වේ.

පුද්ගලයෙකුට යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් තිබිය යුතු ය. උත්සාහයෙන් තොරව කිසිදු අරමුණක් ඉටුකර ගත නොහැකි ය. උත්සාහය තුළින් පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයක් ඇති වන අතර උත්සාහයක් නැති පුද්ගලයා සතු ව කිසිදු පෞරුෂ ලක්ෂණයක් දැකිය නොහැකි ය. ඒ අනුව පුද්ගලයාගේ ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට නොපසුබට උත්සාහයය ඉතා වැදගත් වෙයි.

නූතනයේ බොහෝ පුද්ගලයන්ගේ පෞරුෂය හීන වීමට ජීවත්වන වටපිටාව, පරිසර හා සමාජය ප්‍රධාන සාධකයක් වී ඇත. මෙහි දී සමාජ ඇසුර ඉතාම වැදගත් වේ. පෞරුෂ හීන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් නිරායාසයෙන් ම අන්‍යයන්ගේ ද පෞරුෂය හීන භාවයට පත්වේ. යහපත් දැක්මකින් යුත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් පුද්ගල පෞරුෂය සංවර්ධනය කරගත හැකි බව ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක උපදේශනයන් ලබා දෙනු ලබන්නේ මේ ආකාරයෙනි.

“න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ භජේථ පුරිසුත්තමේ”

පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් නොයෙක් ආකාරයෙහි දුරාචාරයන්ට පුද්ගලයන් යොමු වේ. මත්පැන් පානය කිරීම, සූදුව, ජීවිතයට අරමුණක්, බලාපොරොත්තුවක් නොමැති වීම යනාදි වශයෙන් පුද්ගලයන් බොහෝ විෂමාචාරයන්ට යොමු වේ. ඒ හේතුවෙන්ම සමාජයෙන් කොන්වීම, නොපිළිගැනීම පවට බර වීම ආදී කරුණු මුල්කොටගෙන පුද්ගලයා පරිහානියට පත්වන අතර, එසේ නොවීමෙන්, කලණ මිතුරු ඇසුරින් පුද්ගල පෞරුෂය සංවර්ධනයට පත්ව මනා පෞරුෂයෙන් හෙබි පුද්ගලයෙකු ලෙසද සමාජය තුළ ජිවත්විය හැකිය.

“එසේම යහපත් ඇසුරක් නොමැති නම් තනිවම වාසය කිරීම ඉතා වැදගත් වෙයි”. එයින් පුද්ගල පෞරුෂයත් සංවර්ධනයත් ඇතිවන බව ඉතා පැහැදිලිය.

යම් පුද්ගලයෙක් බොරුවෙන් වංචාවෙන් යුක්තව කටයුතු කරන බව සමාජය දැනගත් විට ඔහු සමාජයෙන් කොන් වේ. එසේ ම ගොඩනගා ගෙන තිබූ පෞරුෂය ද බිඳ වැටෙන අතර ඔහුගේ විශ්වාසවන්ත භාවය ද බිඳේ. එවිට සමාජය ඔහු පිළිගන්නේ විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු ලෙස ය. එම නිසා පෞරුෂ සංවර්ධනයේ දී බුදු දහම මනෝවිද්‍යාත්මක ව පෙන්වා දෙනු ලබන්නේ සමාජයෙහි ජීවත්වන විට විශ්වාස වන්ත භාවයෙන් යුක්තව, අන්‍යයන්ගේ සිත් දිනාගෙන ජීවත් විය යුතු බවයි. ඒ අනුව “අවැඩදායක වචන දහක් වුවත් උසස් නොවන අතර වැඩ දායක එක් වචනයකින් පුද්ගලයා උසස් පුද්ගලයෙක් වන බවට ධම්මපදයේ දී අනාවරණය වේ.”

යම් පුද්ගලයෙක් තමන් ගැන පමණක් සිතමින් අන්‍යයන් ගැන නොසිතමින් කටයුතු කිරීම, නැතහොත් ආත්මාර්ථකාමීත්වයෙන් යුක්තව ජීවත් වීමෙන් පෞරුෂය පරිහානියට පත්වෙයි. ඒ නිසා ජීවත් වන කාලය තුළදී කිසිම පුද්ගලයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොකොට ජීවත් විය යුතු ය. ධම්මපදයේ දී අවධාරණය කරනු ලබන්නේ “සියල්ලෝ දඩුවමට බිය වෙත්, සියල්ලෝ මරණයට බිය වෙත්, එබැවින් අනුන් තමාට සමාන සේ සිතා අනුන්ට හිංසා නොකළ යුතු ය. අනුන්ට හිසා නොකරවිය යුතු ය” යනුවෙනි.

පුද්ගලයා කුමන ආකාරයෙන්වත් පශ්චත්තාපයට පත්වන කටයුතු නොකළ යුතු ය. එසේ කිරීම තුළින් පුද්ගල පෞරුෂය විනාශ විය හැකි ය. විශේෂයෙන් තරුණ කාලයේ දී අනාගත තම ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතු ය. තමාට පුළුවන් හැකි සෑම අවස්ථාවක දී ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු ය. එසේ කටයුතු නොකොට සිටීමෙන් පුළුවන්කල එම කාලය කා දමමින් කටයුතු කිරීමෙන් පුද්ගල පෞරුෂය පසුකාලීන ව විනාශයට පත්වෙයි.

එසේම තමන්ට තමන් හැර අන් පිහිටක්, පිළිසරණක් නොමැති බව තේරුම් ගෙන ජීවත් විය යුතු ය. අනුන්ගෙන් යැපෙන, බලාපොරොත්තු වන අයුරින් ජීවත් නොවිය යුතු ය. එසේ වීමෙන් පුද්ගල පෞරුෂ සංවර්ධනයේ දී ඉතාම වැදගත් කරුණක් ලෙස තමාගේ පෙර වැරදි නිවරදි කරගෙන ජීවත්වීම ඉතා වැදගත් ය. සමාජයෙහි ජීවත් වන බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. එය මිනිස් ස්වභාවයකි. සිදු වූ නොවූ වැරදි නිවරදි කරගෙන යමෙකුට ජීවත්විය හැකි නම් ඔහුගේ පෞරුෂය ඉතාම සංවර්ධනය වූවකි. “පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා වලාකුළින් නිකුත් වූ සඳමෙන් මේ ලෝකය බබුළුවයි” යනුවෙන් ධම්මපදයේ දී පෙන්වා දේ.

පුද්ගල පෞරුෂය ඇතිකර ගැනීමේ දී ඉවසීමේ ගුණය ඉතාම වැදගත් වේ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්නාගේ පෞරුෂය සංවර්ධනය වන බව ධම්ම පදයේ දී මනෝවිද්‍යාත්මක ව අවධාරණ කරන්නේ “ඛන්නිපරමං තපෝ තිතික්ඛා” යනුවෙනි.

යමෙක් බියෙන් කටුයතු කරන්නේ නම් ඔහු පෞරුෂයෙන් හීන වු පුද්ගලයකි. මෙලෙස පෞරුෂයෙන් හීන වු පුද්ගලයන් නොයෙක් දේ් වලින් පිහිට ආරක්‍ෂාව පතයි. ධම්ම පදයේ දී මනෝ විද්‍යාත්මක අවධාරණය කරනු ලබන්නේ මෙලෙස බියට පත් වූවන් නොයෙක් නොයෙක් දෑ හි සරණ පතන බවයි. එම නිසා නිසි පෞරුෂ සංවර්ධනයට බිය පහ කරගත යුතු ය. එසේම පෞරුෂ සංවර්ධනයේ දී නිරෝගීමත් භාවය ද, ලද දෙයින් සතුටු වීම ද විශ්වාසවන්ත භාවයෙන් යුක්තව ජීවත් වීම ද ඉතාම වැදගත් වේ. මෙම කරුණු ද පෞරුෂ සංවර්ධනයේ දී බෙහෙවින් ම උපකාරීව වන බව ධම්ම පදය අවධාරණය කරයි.

බුද දහමට අනුව පුද්ගලයෙක් මානයෙන් ක්‍රෝධයෙන් සංයෝජන ධර්මවලින් යුක්තව වාසය කරන්නේ නම්, එම පුද්ගලයා ද පරිහානියට පත් වේ.

පුද්ලයෙකුට පෞරුෂයක් නඟා ගැනීමට ආකාර තුනක් බලපානු ලබයි. එනම් සිතින් පෞරුෂයක් ගොඩනගා ගත හැකි ය. කයින් හා වචනයෙන් පෞරුෂයක් ගොඩනඟා ගත හැකිය. එසේ පුද්ගල පෞරුෂ පරිහානියට ද බලපානු ලබන්නේ ද සිත කය වචනය යන තිදොරයි.