Print this Article


සෙන් කතා : අපාය සහ දිව්‍ය ලෝකය

සෙන් කතා :

අපාය සහ දිව්‍ය ලෝකය

සමුරයි යනු ජපානයේ අභිමානවත් රණශූර කුලය හඳුන්වන වචනයකි. පොදුවේ එම යුද භටයන් හැඳීන්වූයේ ද සමුරයි යනුවෙනි. එක් දිනක් මෙම යුද භටයෙකුට අපාය සහ දිව්‍ය ලෝකය කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය විය. කවරෙකුගෙන් එය අසා දැන ගත යුතුදැයි කල්පනා කළ ඔහුට මෙය නිවැරදිව දැන ගැනීමට නම් භික්‍ෂුවක් ම මුණ ගැසිය යුතු යයි තීරණය කෙළේ ය.

එකල හකුඉන් නම් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙකු ඔහුගේ ගමට සමීප කන්දක් මුදුණේ කැලෑවක ආශ්‍රමයක් තනා ගෙන වාසය කළේ ය. නිරන්තරයෙන් භාවනාවේ යෙදුණු හකුඉන් 'සෙන්' ගුරුවරයාගෙන් තමාගේ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි යයි විශ්වාස කළ සමුරයි, දුෂ්කර මඟ ගෙවා ඔහු හමුවීමට තීරණය කෙළේ ය.

ගල් සහිත වලගොඩැති දුෂ්කර ගමන් මඟ ගෙවා අධික වෙහෙසැති ව ඔහු ආශ්‍රමයට ළඟා විය. ආශ්‍රමයට පහළ දොළෙන් ජලය පානය කර මඳක් වෙහෙස නිවාගෙන හකුඉන් ගුරුවරයා මුණ ගැසීමට අදහස් කළේ ය.

එලෙස කල්පනා කළ ඔහු දොළෙන් ජලය පානය කර මුහුණ කට සෝදා පිරිසිදුව ආශ්‍රමය අසල රුක් සෙවනක වාඩි වී සිටියේ ය. හකුඉන් ගුරුතුමා ආශ්‍රමයෙන් පිටතට පැමිණෙනු එක්වරම දුටු සමුරයි, ගුරුතුමා වෙත ගොස් “මට දිව්‍යලෝකය සහ අපාය ගැන දැන ගන්න ඕන. ඇත්තටම ඒවා තියෙනව ද?” යනුවෙන් හකුඉන් ගුරුතුමාගෙන් ප්‍රශ්න කළේ ය.

ගුරුතුමා ඔහු දෙස විමසුම් සහිතව බලා “ඔබ කව්ද?” යනුවෙන් පිළිතුරක් වෙනුවට ප්‍රශ්නයක් ඇසී ය. පිළිතුරක් දීම වෙනුවට ප්‍රශ්නයක් ඇසීම ගැන මඳක් අසතුටු වූ සමුරයි “ මම සමුරයි” යයි ඉමහත් ආඩම්රයෙන් හා අභිමානයෙන් පැවසී ය.

“ හා ” යයි ශබ්ද නඟා “ උඹ මොනව ද හිතන්නෙ, ඔබට පුළුවන් ද එච්චර බුද්ධි ගෝචර සියුම් දෙයක් අවබෝධ කර ගන්න. උඹ නිකම්ම නිකම් අනුකම්පා විරහිත කෲර සොල්දාදුවෙක් පමණයි. “මෙතනින් පිටවෙලා යන්න, මගේ වටිනා කාලය උඹේ මෝඩ ප්‍රශ්නවලට විනාශ කළ නො හැකි යි” කියා පිටවෙන ලෙස ට අතින් ද සංඥා කළේ ය.

කෝපයෙන් දිලිහෙන සමුරයි ට හකුඉන් ගුරුතුමා කළ අපහාසය දරා ගැනීමට නොහැකි විය. සමුරයි ඔහුගේ කඩුව ඇද ගත්තේ ය. හකුඉන් මැරීමට සූදානම් විය. එවිට හකුඉන් ගුරුතුමා බොහෝම සන්සුන්ව “ඒක තමයි අපාය” යනුවෙන් පිළිතුරු දුණි.

සමුරයි අඩියක් දෙකක් පස්සට ගියේ ය. ඔහුගේ මුහුණ සෞම්‍ය විය. හකුඉන් ගුරුතුමාගේ නිහතමානී ප්‍රඥාව ගැන කල්පනා කළේ ය. ඔහුගේ කඩුව කොපුව තුළට දා ගත්තේ ය. ඔහු හකුඉන් ගුරුතුමා ළඟ වැඳ වැටුණි. “මේක තමයි දිව්‍ය ලෝකය” යනුවෙන් නැවතත් හකුඉන් ගුරුතුමා ශාන්තව පැවසී ය.

ආදර්ශය : කෙනෙකු ද්වේෂ සහගත ව, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරයි නම්, එතන ඇත්තේ අපායයි, දුකයි. මෛත්‍රී සහගත ව කරුණාවෙන් කටයුතු කරයි නම් එතන ඇත්තේ සතුටයි, දිව්‍ය ලෝකයයි. දිව්‍ය ලෝකය සහ අපාය මවා ගනුයේ තමා විසින්ම යි.