Print this Article


සුමංගල මාතා මහ රහත් තෙරණිය

සුමංගල මාතා මහ රහත් තෙරණිය

අපගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහත් වූ වීර්ය වඩා සිව්සිඹියා සහිත ව නිකෙලෙස් වූ මහරහත් තෙරණින් වහන්සේ නමකි.

උන්වහන්සේ පෙර බොහෝ බුදුරජාණන් වහන්සේ් ශාසනය බබළන කාලයේ මිනිස් ලොව ඉපිද පින් දහම් කරමින් නිර්වාණය ප්‍රාර්ථනා කළා. ඉපිද- ඉපිද, මැරි- මැරී යන මේ සසර දුකෙන් එතෙර වේවායි! ප්‍රාර්ථනා කළා. මිනිස් ලොව සිදු කරගත් බොහෝ පින් නිසා ඇය දෙව්ලොව ඉපිද බොහෝ ආයුෂ වින්දා.

එම ආයුෂ කෙළවර අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බබළන කාලයේ සැවැත් නුවර දිළිඳු පවුලක සුමුත්තිකා නමින් උපන්නා. ඒ දුප්පත් මව්පියන් දරුවන් හදාවඩා ගැනීමට බොහෝ දුුක් වින්ඳා. එ නිසාම ඇය ද මව්පියන් සමඟ හරි හරියට වැඩ කළා. ගොවිතැන් කළා. දාසියක් සේ වැඩ කරමින් මව්පියන්ගේ ජීවන බරට රුකුලක් වුණා. ඇය කුඹුරේ වැඩ අවසන් කර නිවසට පැමිණ දිනපතා ම මෝල් ගසක් රැගෙන වී කෙටුවා. මෝල්ගස ඉතා බර වුවත් ඇය දිනපතා වී කෙටුවා.

වැඩිවියට පත් ඇයට මව්පියන් විසින් රැකියාව පිණිස බටපොතු වලින් කූඩ වියන්නෙකුට විවාහ කර දෙනු ලැබුවා. ඇය විවහා ජීවිතයේදීත් බොහෝ දුක් ගැහැට වින්ඳා. ස්වාමියා සමඟ වැඩපළ කළා. දුකසේ ම ජීවිතය ගෙව්වා. කල් යත්ම ඇය මහත් වූ පින් ඇති පුතකු බිහි කළා. ඔහුට සුමංගල යන නම තැබුවා. එතැන් පටන් සියල්ලෝ ම ඇය සුමංගල මාතා යන නමින් හැඳින්වූවා.

ඇයගේ ස්වාමියාගේ රැකියාව වූ කූඩ නිෂ්පාදනය කිරීමට ඇය කැමැති වුණේ නැහැ. සැමියාගේ සිරුරෙන් ගලන දහඩිය ඇයට ඇති කළේ පිළිකුලක්. හුණුදඬු රැගෙන දිනපතා ම කූඩ සෑදීමෙන් ගත කරන දුක්ඛිත ජීවිතය ඇයට එපා වුණා. ඒ ජීවිතය පිළිකුල් වුණා. “අන් අයට දුඟඳ ගෙන දෙන්නා වූ අහිතකර වාතයක් මගේ සිරුරෙන් හමනවා වගෙයි මට දැනෙන්නේ. මම බත් උයන්නේ එකම හැලියේ. ඒ භාජනය බොහෝ කලක් තිස්සේයි මම පාවිච්චි කරන්නේ. ඒ හැලිය දැන් බොහෝ ම අපිරිසුදුයි. පිළිණු ගඳ එයින් හමනවා. මට ඒ ගඳ පිළිකුල්. මගේ සැමියා ළඟින් එන්නේ ඉවසිය නොහැකි දහඩිය දුඟදක්. ඔහු ලැජ්ජා නැති පුද්ගලයෙක්. ඒ නිසයි මට ඔහු ව නුරුස්සන්නේ. මට මේ දුක් විඳීන ජීවිතයෙන් මිදෙන්නට ඕනේ. පුන්සඳ අහසේ බබළන්නේ යම් සේ ද, මගේ ජීවිතය ද එසේම බබළන්න ඕනේ. ඇය නිතර නිතර සිහි කළා.

ඇයගේ පුතා ඉතාමත් පින්වන්තයි. දක්ෂයි. තරුණ වියට පත් ඔහු ගිහි ගෙදර ඇති ඵලය කුමක් ද කියා සිතා මව්පියන්ගෙන් අවසර ගෙන පැවිදි වුණා. උන්වහන්සේ නොබෝ කලකින් උතුම් අරහත්වය සාක්ෂාත් කර ගත්තා. කාලයක් යද්දී වැඩිවියට පත් වූ ඇයගේ පුතා බුදු සසුනේ පැවිදි වූ පසු මහා කළකිරීමෙන් සිටි සුමංගල මාතාව ද ගිහි ගෙදර අතහැර දමා භික්ෂුණී ආරාමයේ පැවිදි වුණා. එදා පටන් ඇය භාවනාව ප්‍රගුණ කළා. දිනක් තමා ගිහි ජීවිතයේ දී විඳි දුක් ආවර්ජණය කර සංවේගයට පැමිණියා. විදසුන් වඩා අරහත්වයට පත්වුණා. උන්වහන්සේ උදානයක් ලෙස මෙසේ වදාළා.

ත ”සුමුත්තිකා වන මම හැම දෙයින් ම මිදුණා. මෝල්ගහෙනුත් මිදුනා. කිසිදු ලජ්ජාවක් නැති සැමියාගෙනුත් මිදුණා. බත් උයපු හැළියෙනුත,් පිළුණු ගඳෙනුත් මිදුණා.

ත චිටි චිටි සද්දෙන් රාග, ද්වේෂ, මෝහය නැති කර දැමුවා. මට දැන් ගසක් මුලට ගියාම තිබෙන සැප මෙතැකයි කියන්න බැහැ. මම ඉතාම සතුටු සිතින් සැපසේ ධ්‍යාන වඩනවා.