රැස් කිරීම
ආනන්ද සිටුවර කතා පුවත
"මරණාසන්න ව යහනෙහි වැතිර සිටින විට මරණ වේදනාවෙන් ඇට, සන්ධි තුළින් අධික වේදනාවක්
එනවිට දෑස වැසෙනවා. ඒ සමඟම පරලොව දී ඇස් ඇරෙනවා. ඒ ලෝකයේ තමා අවට තිබෙන දේ තමයි
එවිට ඔහුට පෙනෙන්නේ. දිනකට තුන් වරක් නහවා, සුවඳ මල් පළඳවා තැබුව ද තමාට තමා හෝ
පිහිට නොවන ආකාරයටයි එදාට කරුණු යෙදෙන්නේ."
තෙරුවන් කෙරෙහි සිතෙහි හට ගන්නා සැකය නැති කොට ගෙන සසර දුකින් මිදෙන අන්දම කියනු
පිණිස ආනන්ද සිටුවරයාගේ කතා පුවත ප්‍රකට වූවක්.
සැවැත් නුවර ආනන්ද නමින් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහුට අසූ කෝටියක් ධනය තිබුණා. ඔහු
අව අටවක සහ පසළොස්වක පෝ දිනවල දී තම ඥාතීන් නිවසට රැස්කර ඔවුන් ඉදිරියේ තම පුතාට
මෙසේ අවවාද කළා.
”පුතේ අසූ කෝටියක් වූ ධනය මහා විශාල ධනයක් කියා හිතන්න එපා. අවශ්‍ය වේවා, අනවශ්‍ය
වේවා මේ ධනය වියදම් කරන්න එපා. තව තවත් ධනය මෙයට එකතු කර ගන්න. එක මස්සක් (රන්
කළඳක් බර කාසියක්) බැගින් වියදම් කළත් මේ ධනය අවසන් වෙනවා. වේයාගේ මුඛය කුඩා වුව ද
කම්මැළි නො වී ඌ ගොඩනගන තුඹස කො තරම් විශාල ද? ඒ අනුව නුඹ ද මේ ධනයට තව තවත් ධනය
රැස්කර ගන්න. අඳුන් පුරවා ඇති බඳුනකින් අඳුන් ගෙන දිනපතා ඇස් ආලේප කරන විට ඒ බඳුනේ
අඳුන් අවසන් වෙනවා. ඒ බව දැන වස්තුව වියදම් නො කොට සිටිය යුතු” යැයි තම පුතාට උදේ,
දවල්, රාත්‍රි උපදෙස් ලබා දෙනවා.
ඔහු කෙ තරම් අනුන්ට උපදෙස් ලබා දුන්න ද, ඔහුට උපදෙස් දෙන්නට කිසිවෙක් සිටියේ නැහැ.
තමා නිදන් කළ ධනය ඔහු තම පුතාටවත් කිව්වේ නැහැ. ඉතාමත් ලෝභ සිතින්, කිසිදු සැපක් නො
විඳ මේ සිටුවරයා මිය පරලොව ගියා.
ආනන්ද සිටුවරයා මියගිය බව අසා කොසොල් රජු ඔහුගේ පුතාට ඒ සිටු තනතුර පිරිනැමුවා.
මේ සිටුතුමා මියගොස් ඒ නගරයේ ම සැඬොල් පවුලක කාන්තාවකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ ගමේ
පවුල් දහසක් ජීවත් වුණා. ඔවුන් බැළ මෙහෙවර කරමින් ඉතාමත් දුක සේ ජීවත් වුණා. ආනන්ද
සිටුතුමා මියගොස් සැඬොල් කාන්තාවගේ කුස තුළ පිළිසිඳ ගත් දා සිට සියලු සැඬොල්
පවුල්වල අයගේ රැකියා අහිමි වුණා. “අපට මෙතෙක් කල් මෙහෙම දෙයක් සිදුවෙලා නැහැ. දැන්
මෙහෙම වන්නේ ඇයි? කවුරු හරි අප අතරේ අවාසනාවන්තයෙක් උපත ලබා සිටිනවා ද?” සැඬොල්
ප්‍රධානියා විමසුවා. එය සෙවීම සඳහා ඔහු උපායක් යෙදුවා.
පවුල් දහස පවුල් පන්සියයක් බැගින් දෙ කොටසක් කළා. සිටුවරයා පිළිසඳගත් කාන්තාව සිටි
පවුල් පන්සියයට රැකියා අහිමි වුණා. අනෙක් පවුල් පන්සියයට රැකියා ලැබුණා. නැවතත් ඒ
පවුල් පන්සියය පවුල් දෙසිය පනහ බැගින් වෙන් කළා. එහිදීත් අර කාන්තාව සිටි පවුල්
දෙසිය පනහට රැකියා අහිමි වුණා. මේ ආකාරයට බෙදා ගෙන යද්දී ආනන්ද සිටුවරයා පිළිසිඳ
ගත් ඒ කාන්තාවත්, ඇගේ සැමියාත් තනි වුණා. ඔවුන් දෙදෙනා සැඬොල් කුලයෙන් නෙරපා
දැමුවා. සැමියා ද ඈ අතහැර දැමුවා.
දරුවා කුස දරා සිඟමන් ගිය ද ඇයට වෙනදා මෙන් කිසිදු දෙයක් ලැබුණේ නැහැ. බොහෝ දිනවල
නිරාහාර ව කල්ගත කළා. ඇය ඉතා දුබල වුණා. අවසානයේ දී ඉතා අවාසනාවන්ත දරුවෙකු බිහි
කළා. ඔහුගේ ඇස්, කන්, නාසා ඉතා විරූපි යි. ඔහු මිනිස් ලොව සිටිය දී කිසිදු පිනක් නො
කළ බැවින්, ඔහු ඉතා අවලස්සන වුණා. විරූපි පේ‍්‍රතයෙක් වගේ දුටුවන් බියට පත්වෙන
රූපයක් ලැබුණා. කෙ තරම් අවලස්සන වුව ද මව ඔහු පෝෂණය කළා. දරුවා කැටුව ගිය කිසිම
දිනයක දී ඇයට සිඟමනක් ලැබුණේ නැහැ. දරුවා නිවසේ රඳවා ගිය දිනවල දී ඇය යමක් උපයා
ගත්තා. දරුවාට ඇවිද ගන්නට පුළුවන් වයසට ආ විට ඇය පිඟානක් දරුවාගේ අතට දී “පුතේ නුඹ
නිසා මා විඳි දුක් අපමණ යි. තවදුරටත් නුඹ රැක ගැනීම මට ඉතා අසීරු යි. ඒ නිසා නුඹ මේ
නුවර සිඟා කා ජීවත් වෙන්න” කියා දරුවා තනිකර දමා ඇය පිටව ගියා.
දිනක් මේ දරුවා සිඟමනේ යද්දී ආනන්ද සිටුතුමා ජීවත් වූ මාළිගය පිහිටි ස්ථානයට ආවා.
තමා මීට පෙර ජීවිතයේ ජීවත් වූ මාළිගය මේ යැයි මතකයට ආ දරුවා මැඳුරට පිවිසෙන වාසල්
දොරවල් තුනක් පසුකර ඉදිරියට ගියා. සිටු මැඳුරේ වාසල් දොරටුව අසල දී මාළිගයේ දාසයන්
එක් වී විරූපී කොලුවාට තළා පෙළා මහමඟ තිබූ කසළ ගොඩකට ඇද දැමුවා.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමඟ ඒ සිටු මැදුර අසලින්
පිඬුසිඟා වඩිද්දී දරුවා සිටි ස්ථානයේ තනතර වූ සේක. බුදුන් වහන්සේ පුත්‍ර සිටුවරයා ඒ
ස්ථානයට කැඳවූවා. අවට ජනතාව ද ඒ ස්ථානයට එක්රැස් වුණා. බුදුන් වහන්සේ වදාළා
”සිටුුතුමනි, මේ කවුරුද කියා හඳුනනවා ද?”
” නැත ස්වාමිනි”
” සිටුතුමනි, මේ සිටින්නේ ඔබගේ පියාණන් වන ආනන්ද සිටුවරයායි” එවිට පුත්‍ර සිටුතුමා
මහත් කළබලයට පත්ව බුදුන් වහන්සේට චෝදනා කරමින්,
”ස්වාමිනි, මගේ පියා මහා ධනයක් තිබූ කෙනෙක්. ඔහු මේ වගේ විරූපී දරුවෙක් වෙන්නේ
කොහොම ද? ඔබ වහන්සේ කියන දේ මා කිසිසේත් පිළිගන්නේ නැහැ”
එවිට භාග්‍යවතුන් වහ්නසේ සැඬොල් දරුවා දෙසට හැරී “දරුව, ඔබ පෙර ආත්මයේ සඟවා තිබූ
නිධාන පෙන්වන්න” කියා වදාළා. එවිට දරුවා වත්ත පහළට ගොස් වළ දමා තිබූ ඒ නිධානය
පෙන්වූවා. ඒ අසල සිටි සියලු දෙනාම මේ සිටින්නේ ආනන්ද සිටුතුමා බව පිළිගත්තා.
භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනාට ධර්මය දේශනා කළ සේක. සිටුතුමාගේ නුවණ මෝරා නො තිබුණ
නිසා ඔහුට ධර්මය අවබෝධ කර ගැනීමට නො හැකි වුණා. නමුත් ඔහු තෙරුවන් සරණයෙහි
පිහිටියා.
බුදුරජාණන් වහන්සේ වදාළා “අනුවණයෝ උපන් ලෝභයෙන් පීඩා විඳිනවා. දරුවෝ ද නැති වෙනවා.
නුවණ ද නැති වෙනවා. ඊළඟ ජීවිතයේ ද ඔහු දරුවන් රකිනු පිණිස ද, ධනය රැස්කර ගැනීම
පිණිස ද, රෑ දවල් මහා දුක් ගොඩක් විඳිනවා. එසේ දුක් විඳ අවසන මරණාසන්න ව යහනෙහි
වැතිර සිටින විට මරණ වේදනාවෙන් ඇට, සන්ධි තුළින් අධික වේදනාවක් එනවිට දෑස වැසෙනවා.
ඒ සමඟම පරලොවදී ඇස් ඇරෙනවා. ඒ ලෝකයේ තමා අවට තිබෙන දේ තමයි එවිට ඔහුට පෙනෙන්නේ.
දිනකට තුන් වරක් නහවා, සුවඳ මල් පළඳවා තැබුවද තමාට තමා හෝ පිහිට නොවන ආකාරයටයි එදාට
කරුණු යෙදෙන්නේ.
මේ ආනන්ද සිටුතුමා කිසිවෙකුට කිසිවක් නො දී දරුවන් සඳහා යැයි කියමින් ධනය රැස් කළා.
ඒ භවයේ මරණාසන්න ව සිටිද්දීත්, දැන් මෙසේ විරූපී ව දුකට පත්වෙලා සිටිද්දීත් ඔහුට
දරුවන්ගෙන් පිහිටික් නැහැ. වස්තුවෙන් ද පිහිටක් නැහැ. වස්තුව ඇති තැනැත්තා ඒ වස්තුව
තමාගේ යහපත වෙනුවෙන් යොදාගත යුතුයැයි” වදාළ සේක.
මනුෂ්‍යයෝ යම් ක්‍රියාවක් කොට අනේ අප කළේ කුමක්දැයි පසුතැවිලි වෙනවානම්, කළා වූ
අකුසලයේ විපාක හඬ හඬා විඳිනවා නම්, ජීවිතය අහිමි වුවත්, එවනි පව්නම් නො කර සිටිය
යුතුයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සියලු දෙනා සතුටින් ඒ ධර්මය අසා මාර්ගඵල උපදවා ගත්තා. දරුවන් කෙරෙහිත්, ධනය
කෙරෙහිත් ඇති ආශාව අතහැර දැමුවා.
- නයනා නිල්මිණී |