Print this Article


සතියට මුල් තැන දෙන වස්සානය

සතියට මුල් තැන දෙන වස්සානය

මෙම ලිපිය් මුල් කොටස නිකිණි පුර පසළොස්වක (04) පත්‍රයේ පළවිය.

මේ අතර ඇතැම් උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමකට වෙනත් කිසියම් බාහිර බාධකයක් නිසා සෙනසුනක් සපයා ගැනීමේ අපහසුතාවක් වැනි කරුණක දී පෙරවස් එළඹීමට අපොහොසත් වුවහොත් උන්වහන්සේට පසුවස් එළඹීමේ හැකියාව පවතිනවා. එසේ වූ භික්ෂුව නිකිණි මස(අගොස්තු) පුරපසළොස්වක දා පොහොය කර්ම සිදු කොට පසුදින අවපෑලවිය දින වස් විසිය යුතුය එම භික්ෂුව එතැන් සිට ඉල්මස(නොවැම්බර්) පුරපසළොස්වක දින පසුවස් පවාරණය සිදු කළ යුතු වෙනවා. එහෙම වුණත් එවැනි භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලබා ගැනීමේ අයිතිය අහිමි වෙනවා. එයට හේතුව වන්නේ චීවර මාසය(ඔක්තෝබර්) වප් පුරසළොස්වක දිනෙන් ආරම්භ වී ඉල්පුර පසළොස්වක (නොවැම්බර)දිනෙන් අවසන් වන නිසා යි.

මාසයට පුර පොහොය දිනය බැගින් පොහොය දින 12 ක් වෙනවා. සමහර වර්ෂවල එක මාසයකට පොහෝ දින 2 ක් යෙදී වර්ෂයට පොහොය දින 13 වන විට මේ වස් විසීමේ කාල වකවානු සංඝ සම්මතයේ ප්‍රකාශයට පත්වෙන අවස්ථා යෙදෙනවා. 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පුර පොහෝ දින දෙකක් යෙදී තිබෙනවා. මේ නිසා වප් පොහොය දෙකක් වෙනවා. මේ අනුව එය අධිවප් පෝය හා වප් පෝය වශයෙන් දින දර්ශනවල සටහන් වී තිබෙනවා. ඉතින් එය අධිමාසපතනයක් වන නිසා මෙවර වස්විසීම ආරම්භ වන්නේ ඇසළ පොහෝ දින පොහොය කර පසුදින නොව නිකිණි පොහොය දින පොහොය කර පසු දින සිට යි. එනම් ව්‍යවහාර ක්‍රමයට අගෝස්තු මස 4 වැනි දා පෙරවස් විසීම ආරම්භ වී ඔක්තෝබර් මස 30 වැනි දා හෙවත් වප් පුරපසළොස්වක් දා පෙරවස් පවාරණයෙන් පෙරවස් කාලය අවසාන වී එතැන් සිට නොවැම්බර් මස 29 වැනිදාට යෙදෙන ඉල්පුර පසළොස්වක දා දක්වා චීවර මාසය වෙනවා. මේ කාලය කඨින පින්කම් සිදු කෙරෙන මාසය බවට පත් වනවා. මේ ක්‍රමයෙන් ම පසුවස් කාලය ආරම්භ වන්නේ බිනර පුර පසළොස්වක දිනය යෙදී ඇති සැප්තැම්බර් මස 01 දා පොහොය කොට පසුදින හෙවත් අවපෑලවිය දින සිට යි. උඳුවප් පුර පසළොස්වක දින යෙදී ඇති දෙසැම්බර් මස 29 වැනි බදාදා දක්වා පසුවස් කාලය යි. එදින පෙරවස් පවාරණය සිදු කළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට බුද්ධත්වයෙන් වසර විස්සක් ගිය තැන මෙම වස් විසීමේ විනය නීතිය අනුදැන වදාරා තිබීමෙන් පසුව අද දක්වාත් මෙම නියමයන්ට අනුව භික්ෂූන් වහන්සේගේ වස් විසීම හා වස් පවාරණය සිදු වෙනවා.

මෙහි දී තවත් ඉතා වැදගත් කරුණක් තිබෙනවා. එනම් ගිහි ජනතාව මෙම වස් කාලය තුළ භික්ෂූන් වහන්සේට සෙනසුන් පිළියෙළ කොට වස් ආරාධනා කළ පසු එම ආරාධනාව පිළිගන්නා භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරමින් වෙනත් කාර්යයන්ට වඩා වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් ආගමික කටයුතුවලට වඩ වඩාත් පෙළඹෙමින් පින් සිදු කරගන්නා කාලයක් බවට පත් කර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ගිහි ජනතාව වෙනුවෙන් මේ කාලය පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේට දන්පැන් පූජා කිරීමෙන් කරන ආමිෂ පූජාවන්ට වඩා භික්ෂූන් වහන්සේ වස් වසවා ගෙන උන්වහන්සේලා ඇසුරෙන් තමන් තුළ ගුණධර්ම දියුණු කර ගැනීමටයි. ඒ අනුව ඔවුන් බණදහම් පිළිබඳ දැනුම ද දියුණු කර ගනිමින් සීලමය ප්‍රතිපදාවන්ට හා භාවනාවට යොමු වී සතියෙන් කල් යවා ආශ්‍රවයන් හීන කරගැනුමට උනන්දු වීම වැදගත් කොට සලකා තිබෙනවා. ඇතැම් අවස්ථාවක සිවුපසයෙන් උපස්ථාන කිරීමේ අවශ්‍යතාවෙන් ම බුදුරජාණන් වහන්සේ වෙත ලැබුණු වස් ආරාධනා භාර නො ගත් අවස්ථා ද තිබෙනවා. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ දවස සිට එම පිරිස් ද සීල භාවනා වඩමින් අධිගමයන්ට පවා පත් වූ බව අපේ බෞද්ධ කථාවන්හි සඳහන් වෙනවා.