Print this Article


නිවනට උපකාරවන දිවි පෙවෙත

නිවනට උපකාරවන දිවි පෙවෙත

බුදුන් වහන්සේ තරම් ජන ජීවිතය යථාර්ථයෙන් දුටු තවත් ශාස්තෘන් වහන්සේලා නැත. උන්වහන්සේ නිරන්තරයෙන් ම ජන ජීවිතය අධ්‍යයනය කරමින්, එහි යහ පැවැත්ම සහ අපචාරී පැවැත්ම ප්‍රත්‍යක්ෂ ලෙස ම දැක ඒවා පිළිබඳ ව ධර්ම දේශනා පවත්වමින්, ජන සමාජය සුමගට පත් කිරීමට ඇප කැප වූ සේක. සම්බුද්ධ ශ්‍රාවකයන් හැටියට, මහා සංඝ රත්නය අදත් බුදු බණ අනුව යමින් මානව සමාජය සුගතියට පත් කිරීමට බුදු බණ ජනතාවට පැහැදිලි කර දෙති.

දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තාපස ගුණය, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, විරෝධතා කල්ප නොවීම යන කරුණු දසරාජ ධර්මය ලෙස නම්කර ඇත්තේ විශේෂයෙන් රටේ පාලකයන් වන රජවරුන් මේ දස ගුණය අනුගමනය කළ යුතු බැවිනි. එසේ වුව ද මෙම දස ගුණයන් රජවරුන්ට පමණක් සීමා වන්නේ නැත. විශේෂයෙන් ආයතන පාලකයන් තුළ සේවක පලකයන් තුළ මෙන් ම, පොදුවේ ජනතාව තුළ මෙම දස ගුණය පවතින්නේ නම්, මහජන සේවාවන් මොන තරම් ආකර්ශණීය වන්නේ ද? මේ ගුණ දහම් ජන සමාජය තුළ සජීවී ව පවතින්නේ නම් සැබැවින් ම වෘත්තීය අරගල, සේවක ගැටුම්, රටවැසි ගැටුම් ඇති වන්නේ නැත.

දස රාජ ධර්මය සේ ම රාජ්‍ය පාලනයට මෙන්ම ජන ජීවිතයේ පැවැත්මට යහපත් වන සතර සංග්‍රහ වස්තු බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත. ඒවා මෙසේ ය. “දානය, පි‍්‍රය වචන, අත්තචරියා හා සමානත්තතා” මේ සම්බුදු වදනයි. ත්‍රිපිටකයෙහි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත්, “සංගහ වත්ථු” සූත්‍රය දේශනා කළ බුදුන් වහන්සේ මෙම සතර ගුණයෙන් පොදු ජනතාවට සංග්‍රහ කරන විට නැණවත් අය උසස් බවට ද, සම්මානයට ද, ලෝක ජනයාගේ ප්‍රසාදයට ද පත්වන බව දේශනා කළ සේක. මේ වස්තු හතරෙන් මිත්‍රයන්ට සැලකීමෙන් ජනපි‍්‍රයත්වයට පත්වන බව සිඟාලෝවාද සූත්‍රයෙන් පෙන්වා දී තිබේ. දීඝ නිකායේ ‘ලක්ඛණ’ සූත්‍රයේ දී මේ සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට සංග්‍රහ කළ අය මරණින් මතු සුගතියට පත්වන බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. මේ ගුණ ධර්මවලට අනුගත වෙමින් ජීවත් වන අය මරණින් මතු මිනිසත් බවක් ලැබූ විට මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලබන බව උන්වහන්සේ විස්තර කර තිබේ.

‘සතර සංග්‍රහ වස්තුවල දී පළමු කාරණය දානයයි. දෙවන කාරණය වන පි‍්‍රය වචනය යන්නෙන් අදහස් කරන්නේ අනුන්ගේ සිත් සතන් සතුටුවන ආකාරයට පි‍්‍රය වචන කතා කිරීම ය. සැඩ පරුෂ, අසභ්‍ය, අපි‍්‍රය, ක්‍රෝධ වචන අසන්නට කිසිවෙකු කැමති නැත.

හැම විටම, හැම තැනක දී ම, හැම දෙනාට ම පි‍්‍රය වචනයෙන්, මටසිලිටි වචනයෙන්, සුහදශීලී වචනයෙන් කතා කරන්නේ නම්, හෙතෙම සමාජය තුළ ඉක්මනින් ගරු බුහුමනට පත්වන තැනැත්තෙකු බවට පත්වේ. තමන් සමාජයෙන් ගරු බුහුමන් ලබන්නට නම්, ඊට පෙර අනුන්ට ගරු බුහුමන් දැක්විය යුතු යැයි බුදු බණෙහි විස්තර වේ.

“අර්ථචරියා” යනු ලෝකයාගේ යහපැවැත්ම සඳහා හොඳ නරක, ගුණ දොස් කියාදීමයි. අපචාරී ගති පැවැතුම්වලින් වැළකී මිනිස්කමට ගැළපෙන යහපත් ගුණ දහම්වලින් ජීවිතය ගොඩනඟා ගැනීමට ලෝකයාට කියා දීම ‘අත්ථචරියා’ ලෙස විස්තර වේ. සංඝ රත්නයෙන්, ගුරුන්ගෙන්, දෙගුරුන්ගෙන් මෙම සාමාජීය මෙහෙවර සමාජයට ඉටුවිය යුතු ය. එසේ කියා දෙන ගුරුහරුකම් අඳබාල ලෝකයා විසින් පිළිගෙන ඒ අනුව සිය දිවි පෙවෙත හසුරුවා ගත යුතු ය.

“සමානත්තතා” යනුවෙන් අර්ථවත් කෙරෙන්නේ තමා මෙන් ම, සෙසු අය ද දුකට කරදරවලට, විපත්වලට අකැමැති බව ය. එසේම තමා මෙන්ම සෙසු අය ද සැපතට, නම්බුවට, කීර්තියට, ගෞරවයට කැමති බව ය. මේ අනුව තමන් තත්ත්වයෙහිලා සෙසු අය පිළිබඳව ද සම ගුණයෙන්, යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීම මෙහි අදහස වේ. තමා දුකට, දඬුවමට, විපතට කැමති නැතිනම් සෙසු අය ද කැමති නැත. තමා සැපතට කැමති නම් සෙසු අය ද සැපතට කැමති ය.

මේ යථාර්ථය තේරුම් ගෙන ඒ අනුව සිය දිවි පෙවෙත හසුරුවා ගන්නේ නම්, එම දිවි පෙවෙත බුදු දහමට අනුගත සේ ම නිවනට ද උපකාර වේ.