Print this Article


ශ්‍රද්ධාවේ පැවැත්මට ප්‍රත්‍ය වන ආහාරය සද්ධර්ම ශ්‍රවණයයි

ශ්‍රද්ධාවේ පැවැත්මට ප්‍රත්‍ය වන ආහාරය සද්ධර්ම ශ්‍රවණයයි

"ගොඩක් මිනිස්සු භික්ෂූන් වහන්සේලා රූක්ෂ ප්‍රතිපදාවන් අනුගමනය කරනව නම් කැමැතියි. මිනිස්සු රූක්ෂ ප්‍රතිපදාවලට පහදින බව දන්න නිසයි දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා උදෙසා පංච වරයක් ඉල්ලා සිටියේ. "

සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගේ කටහඬට , ශබ්දයට පැහැදිලා සිටියා. ඒ පැහැදීමෙන් ඇති වෙන්නෙත් ප්‍රසාද ශ්‍රද්ධාවක් විතරයි. ශබ්දය කෙරෙහි ඇලී ඇති වූ ප්‍රසාද ශ්‍රද්ධාව ඇති කෙනා මොන මොන ධර්ම කරුණු කිව්වත් ඒවා අහන්නේ නැහැ. සිහි කරන්නේ නැහැ. එවැනි අය ශබ්දයට, කටහඬට , පමණක් ඇලෙනවා. අදත් ස්වාමීන් වහන්සේලාගේ කට හඬට පැහැදීම් ඇති කර ගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා.

ඒ නිසා තමයි කවි බණ, බෝධි පූජා, චෛත්‍ය පූජා , විවිධ මල් වර්ගවල නම් සඳහන් පූජා, විවිධ තෙල් වර්ගවල නම් සඳහන් පහන් පූජා සිදු කරන්නේ. දහස් ගණන් මිනිස්සු ඒවා පසු පස්සේ යන්නේ ඒ නිසයි. මේවා පින්කම් හැටියට හොඳයි. ඒත් මේවායින් ආර්ය මාර්ගයට කිසිදු අර්ථයක් නැහැ. හැමදාම පින්කම් කර කර සිටීමෙන් පමණක් ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න නොහැකි බව මතක තබා ගන්න.

ගොඩක් මිනිස්සු භික්ෂූන් වහන්සේලා රූක්ෂ ප්‍රතිපදාවන් අනුගමනය කරනව නම් කැමැතියි. මිනිස්සු රූක්ෂ ප්‍රතිපදාවලට පහදින බව දන්න නිසයි දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා උදෙසා පංච වරයක් ඉල්ලා සිටියේ.

භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා ආරණ්‍යවාසි විය යුතුයි.

භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතින විය යුතුයි

භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා වෘක්ෂමූලික විය යුතුයි

භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා පාංශුකූල සිවුරු දැරිය යුතුයි

භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වා මස්මාංශ පරිභෝජනයෙන් වැළකිය යුතුයි.

රූක්ෂ ප්‍රතිපදා කියන්නේ මහා අමාරුවෙන්, වෙහෙසක් දරා ආරක්ෂා කළ යුතු දේවල්. අනුගමනය කළ යුතු දේවල්. මේ පංච වරය බැලූ බැල්මට ම පේනවා අනුගමනය කරන්න අමාරු බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේවා පිළිගත්තේ නැහැ. ඒත් දේවදත්ත හාමුදුරුවෝ මේ රූක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා. ඒක දැකපු මිනිස්සු දේවදත්ත හාමුදුරුවෝ ගැන පැහැදිලා උන්වහන්සේ ගේ අනුගාමිකයෝ වුණා. මිනිස්සු විතරක් නෙවෙයි. භික්ෂූන් වහන්සේලාත් පන්සිය නමක් විතර බුදුරජාණන් වහන්සේගෙන් වෙන්වෙලා මේ අලුත් රූක්ෂ ප්‍රතිපදා පුරන්න එකතු වුණා.

බුද්ධ කාලයේ විතරක් නෙවෙයි. අද වුණත් භික්ෂූන් වහන්සේලා අවම පහසුකම් යටතේ අමාරුවෙන් අපහසුවෙන් ජීවත් වෙනව නම් ගොඩක් මිනිස්සු පහදිනවා. ඒ නිසා නේ ගොඩක් අය ආරණ්‍ය සේනාසන වගේ තැන් සොය සොයා යන්නේ.

මේ ළඟදී එක්තරා මහත්මයෙක් කියනවා” හාමුදුරුවනේ, මම වැඩිපුරම දන් දෙන්නේ, සිල් ගන්න ගියේ ආරණ්‍ය සේනාසනයට. (ප්‍රසිද්ධ ආරණ්‍යයක නමක් කිව්වා) පන්සල්වලට ගියේම නැහැ. දැන් නම් මම ආරණ්‍ය සේනාසනවලටත් යන්නේ නැහැ” කියලා. ඉතින් මම ඇහුවා මොකද? ඒ කියලා. මේ මහත්තයා කියනවා “හාමුදුරුවනේ සේනාසන දැන් පන්සල්වලටත් වඩා දියුණුයි. සැප පහසුකම් වැඩියි. උන්වහන්සේලාට කිසිම අපහසුවක් නැහැ” කියලා.

දැන් බලන්න මේ මහත්තයා මෙච්චර කල් ආරණ්‍ය සේනාසනවලට කැමැති වෙලා තියෙන්නේ අඩු පහසුකම්. අමාරුකම් නිසා. ඒ මහත්මයා ආරණ්‍ය සේනාසනවල වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා ගේ සීලවන්තකමට, ගුණවන්තකමට නෙවෙයි පැහැදිලා සිටියේ. රූක්ෂ ප්‍රතිපදාවටයි. රූක්ෂ ප්‍රතිපදා කෙරෙහි පැහැදීමෙන් ඇති වෙන්නේ පසාද ශ්‍රද්ධාවක් විතරයි.

සමහර මිනිස්සු ධර්මයට වුණත් අලුත් අලුත් අර්ථ කථන දෙමින්, අලුත් අලුත් විදියට කියනව නම් කැමැතියි. ඒ අලුත් ධර්මයට. අලුත් ක්‍රමවලට පහදිනවා. බුදුරජාණන් වහන්සේ ගේ කාලයේත් සාති, මාලුංක්‍යපුත්ත. සුනක්ඛත්ත, අරිට්ඨ ආදි භික්ෂූන් වහන්සේලා ධර්මාර්ථ විකෘති කරමින් මිනිස්සුන්ට ධර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඔවුන් ගෙන්වල සත්‍ය පහදා දුන්නත් පිළිගත්තේ නැහැ. ඔවුන්ට එහෙම පිළිගන්න බැරි වුණේ ඔවුන් පසුපසින් සිටින විශාල අනුගාමිකයෝ පිරිසක් මේ විකෘතිය පිළිගත්ත නිසයි.

බුද්ධ කාලයේ විතරක් නෙවෙයි අද වුණත් අවුරුදු දහස් ගණනක් ආව අපේ ථේරවාදීය සම්ප්‍රදාය විකෘති කරමින් ධර්ම දේශනා කරන ගිහි පැවිදි අය කොච්චර ඉන්නවද? ඒ විකෘතිය පිළිගන්න කොච්චර අනුගාමිකයෝ ඉන්නව ද? ධර්ම විනයධර ස්වාමීන් වහන්සේලා මේ විකෘතියේ ප්‍රකෘතිය පැහැදිලි කරල දුන්නත් ඒ අය පිළිගන්නේ නැහැ. මොකද ඒ විකෘති ධර්මය කෙරෙහි පසාද ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන නිසා.

මේ සතර ආකාරයෙන් ඇති වන පසාද ශ්‍රද්ධාව ස්ථිර නැහැ. එය කොයි මොහොතේ වෙනස් වෙයි ද කියලා කියන්නත් බැහැ. හරියට තරාදියේ කොණ වගෙයි. තරාදි කොණ මඳක් එහා මෙහා වුණොත් උස් පහත් වෙනවා. ඒ වගේමයි පසාද ශ්‍රද්ධාව නිසා ඇති වී තියෙන පැහැදීම සුළු මොහොතකින් එහා මෙහා වෙනවා. එවිට ප්‍රසාදය ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් අප්‍රසාදය ඇති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වෙතත් ආර්ය මාර්ගයේ දී පසාද ශ්‍රද්ධාවට කිසිදු තැනක් හිමි නොවන බව මතක තියා ගන්න.

සත්වයන්ගේ පැවැත්මට ආහාරය ප්‍රත්‍ය වෙනවා වගේම ඒ ඒ ධර්මයන්ගේ පැවැත්මටත් හේතු වන ප්‍රත්‍ය තියෙනවා. ශ්‍රද්ධාවේ පැවැත්මට ප්‍රත්‍ය වන්නේ සද්ධර්ම ශ්‍රවණය නැමැති ආහාරයයි. ‘කොචාහාරො සද්ධාය සද්ධම්ම සවනන්තිස්ස වචනීයං” කිව්වේ එයයි. දැන් ඔබට පැහැදිලියි. ශ්‍රද්ධාව වඩන්න නම් නිතර ධර්මය අහන්න පුරුදු විය යුතු බව. ඊළඟට සත්පුරුෂයන් ඇසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන සෝවාන් අංග හතර වඩන්න. මේවා ශ්‍රද්ධාවේ මූලයෝයි. “අපි ච සප්පුරිස සෙවනං සද්ධම්මසවනං යොනිසොමනසිකාරොධම්මානුධම්ම පටිපත්තීති චත්තාරි සොතාපත්ති අංගානි සද්ධාය මූලං නාම” කියල පාලියෙන් දැක්වූයේ එයයි.

සිල්වතුන් දැකීමට ඇති කැමැත්ත, බණ ඇසීමට ඇති කැමැත්ත හා දන් දීමට ඇති කැමැත්ත යන කරුණු තුන ශ්‍රද්ධාවට නියමිතයි. මේ නිමිති තුනත් පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්න. එවිට ඔබ තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ලෙස පිහිටාවි.