Print this Article


පුණ්‍ය මහිමයෙන් හිමි වන ඉහළම සම්පත් සතරක්

පුණ්‍ය මහිමයෙන් හිමි වන ඉහළම සම්පත් සතරක්

මේ ලෝකයේ තිබෙන ප්‍රධාන කාරණා දෙකක් වශයෙන් සම්පත්තිය සහ විපත්තීන් සඳහන් කළ හැකි යි. කර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සම්පත්තීන් හතරක් වදාළා. ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය ලෙසින්. මේ සම්පත්තීන් සතර ම විපත්ති බවට පත්වෙනවා. කෙසේද? ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය ලෙසින්.

මුලින්ම සම්පත්තියට අයත් කරුණු සතර කුමන ආකාරදැ’යි බලමු. මේ ලෝකයේ යමෙක් වාසනාවන්ත උපතක් ලබනවා නම්, ඒ උපත සැප සහිතයි. එය ධර්මයේ සඳහන් කරන්නේ සුගති නමින්. එනම් යහපත් උපත , මැනවින් ලත් උපත යන අදහස යි. එවිට ගති සම්පත්තියේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, මනු ලොව, දෙව් ලොව, බඹ ලොව ආදී ලෝකවල ඉපදීම ගති සම්පත්තිය ලෙස යි. ගති සම්පත්තිය ලැබීම වාසනා ගුණයක්.

‘මිනිසත් බව දුර්ලභය’ යන්න නිතර අපට ඇසෙන බණ පදයක්. එනම්, සාංසාරික සත්ත්වයන් යළි යළිත් මනුස්සයෙක් ලෙසින් සුගතියක උපත නොලබන අදහස යි. සුගතිය නම් මනු ලොව, දෙව් ලොව, බඹ ලොව, සුගතිය ආදිය යි. එවිට එය අප්පත්තියක් නිසා ධර්මයේ සඳහන් කරනවා, අති සම්පත්තිය වශයෙන්.

තවත් කාරණයක් වන්නේ උපධි සම්පත්තිය යි. එනම්, සුගති සම්පත් ලැබුණු කෙනාට පහසුවෙන් යැපෙන්නට, පහසුවෙන් ජීවත් වන්නට වටපිටාව සකස් වෙනවා. ඇති හැකි සෞභාග්‍ය සම්පන්න පවුල් පසුබිමක උපත ලබනවා. පාරම්පරික දේපළ වස්තුවකට උරුමකම් කියනවා. එහෙමත් නැතිනම්, මව්පියන් තම දරු පරපුර සැපවත් කරනවා, අන් අය පහදවන රූප සම්පත්තියක් ලැබෙනවා. අන් අයට අසා සතුටු වන්නට පුළුවන් තරම් හොඳ කට හඬක් ලැබෙනවා. හඬ පෞරුෂයක් ලැබෙනවා.

අප දන්නවා, මේ ලෝකයේ සෑම දෙනාට ම හඬ පෞරුෂය ලැබෙන්නේ නැහැ. ගායන ක්ෂේත්‍රයෙන් ගත්තත් ඇතැම් ගායකයන් මිය පරලොව ගිහින් දසක ගණන් ගත වුණත්, ඒ අය තවමත් අපේ සමාජය තුළ ජීවමාන කියන ගෞරවය ලබනවා. එය උපධි සම්පත්තියක් වශයෙන් හඳුන්වනවා.

භව බෝග සම්පත් ලැබීම, පහසුවෙන් ජීවත් වන්නට ලැබීම, සිත පහදින ආකාරයේ රූප සම්පත්තියක් ලැබීම, මනා හඬ පෞර්ෂය, නිරෝගී සම්පත් ලැබීම, අඟ පසඟ මැනවින් පිහිටන පරිපූර්ණ දේහයක් ලැබීම ආදිය සෑම දෙයක් ම උපධි සම්පත්තියට අයත් වෙනවා.

තවත් දෙයක් ධර්මයේ සඳහන් වෙනවා, ඇතැම් කෙනෙක් සුගතියේ උපත ලැබුවත් දුක් විඳින්නට සිදු වෙනවා. මනුස්ස ලෝකයේ මනුස්සයෙක් ලෙස දුර්ලභ මිනිස් දිවියක් ලැබෙනවා. හැබැයි, අන්ත අසරණ පීඩිත පන්තියේ පවුලක උපත ලබනවා. එවිට කුසගින්නේ, හරි හමන් වස්ත්‍ර නොමැති ව, අධ්‍යාපනය ලබන්නට උදව් කරන්නට කෙනෙක් නොමැති ව , හරි හමන් රැකියාවක් නැතිව, පිහිට වන්නට කෙනෙක් නැතිව ඉන්නට සිදු වෙනවා. ඒ අයගේ දුක කවුරුත් නොඅසා, ඒ අය ගණන් නොගෙන ජීවත් වෙනවා. එතන සුගති සම්පත්තියක්. එනම්, ගති සම්පත්තියක් තිබුණ ද උපධි සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ම එය විපතක් බවට පත් වන අවස්ථා තිබෙනවා.

එහෙමනම්, සුගති සම්පත්තියක් ලද පමණින් සෑම කෙනෙක් ම සමාන සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් ලබන්නේ නැහැ. එය තමන්ගේ ලැබීම නොලැබීම අනුව සිද්ධ වෙයි. තමන්ගේ පුණ්‍ය ගුණය බලවත් නම්, අප කරන වැඩපිළිවෙළට අපට උදවු උපකාර කරනවා. සුගති සම්පත් ලැබුණත් පින් බලය අඩුනම්, යම් යම්, ක්ෂේත්‍රවල, ඒ සමාජය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න වෙන්නේ බාධා කම්කටොළු මැද යි.

තෙවන කාරණය වන්නේ කාල සම්පත්තිය යි. යුධ කලකෝළාහල නැති, ස්වභාවික විපත් නැති, වසංගත නැති පරිසරයක උපත ලබන්නට ලැබෙනවා. එවැනි රටක, එය කාල සම්පත්තිය යි. එහෙත්, ඇතැම් අවස්ථා තියෙනවා, සුගති සම්පත් ලැබෙනවා, එසේම උපධි සම්පත්තියත් ලැබෙනවා. හැබැයි, යුද්ධ කාලයක උපත ලබනවා. වසංගත කාල පවතින වකවානුවක උපත ලබනවා. ස්වභාවික ආපදා බහුල ප්‍රදේශයක නාය යාම්, ගිනි කඳු පිපිරීම් සුනාමි තත්ත්වයන් ඇති පරිසරයක උපත ලබනවා. මිනිස් ආත්මයක් ලැබුවත්, සැප පහසුව ජීවත් වන්නට වාසනාව තිබුණත්, නැවත නැවතත් ආපදාවන්ට ලක්වීම නිසා, කාල විපත්තීන් නිසා දුකට පත් වෙන්නට සිදු වෙනවා. මේ එකකට එකක් පෑහෙන්නේ නැහැ. පරස්පර යි. ඇතැම් අයට සුගති සම්පත්, උපධි සම්පත් ලැබී වාසනාවන්ත කාල සමයක උප්පත්තිය ලබනවා. හොඳම කාල සම්පත්තිය වන්නේ බුද්ධ ශාසනයක් ඇති කාලයක උපත ලැබීම යි. එවිට ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදා ගන්නට ලැබෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරනවා. ශීල, සමාධි, ප්‍රඥා , නිවන් මඟ ප්‍රගුණ කර ගන්නට ලැබෙනවා.

බුදුවරු සම්බුද්ධත්වයට පෙර ඇතිව තුසිත දිව්‍ය භවනේ මහා බෝධි සත්ත්වයෙක් ලෙස වැඩ වාසය කරද්දී උන්වහන්සේලා පස් මහ බැලුම්වලින් බලන ප්‍රධාන කාරණයක් වන්නේ කාලය යි. එය එතරම් ම වැදගත් කාරණයක්. එය ද කර්මානුරූපී ව සිද්ධ වන්නක්.

සිව් වැන්න ප්‍රයෝග සම්පත්තිය යි. එනම්, හොඳ ගතිගුණ පිහිටීම යි. දන් දෙන්න, සිල්වත් වෙන්න, භාවනා කරන්න , අසරණයන්ට පිහිට වන්නට , අන් අයගේ දුකට උණුවන සිතක් ඇති ව අසරණයන් වෙනුවෙන් පෙනී සිට පිහිට වන්නට සිතෙනවා. යහපත් ගතිගුණ, ගුණ ධර්ම පිහිටනවා. ඒ ප්‍රයෝග සම්පත්තිය කාරණය හේතු කරගෙනයි. කෙනෙකුට ගති සම්පත්තිය ලැබුණොත්, එනම් සුගතියේ උපත ලැබුවොත්, භව භෝග සම්පත්, එය උපධි සම්පත්තිය යි. ස්වභාවික විපත් නැති කාල එනම් කාල සම්පත්තිය, ලැබෙනවා. නමුත් දුෂ්ඨ ගතිගුණ පිහිටනවා. අසීලාචාර අමනෝඥ ගති ඇතිනම් මේ එකක්වත් වැදගත් වන්නේ නැහැ.

ඒ නිසා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ගති සම්පත්, උපධි සම්පත්, කාල සම්පත් වගේම ප්‍රයෝග සම්පත් සතරම ලැබෙන්නේ ඉමහත් පුණ්‍ය බල මහිමය නිස යි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි , ඇතැම් පළාවත්වල දුර්භික්ෂ හට ගත්තා. නියං හට ගත්තා. උන්වහන්සේ ඒවාට ඔරොත්තු දුන්නා. එහෙම නම්, බුදු කෙනෙක් පහළ වුණත් මේ කාරණා සතර අංග සම්පූර්ණ වන්නේ නැහැ. එය ලෝක ස්වභාවය යි.

ඊළඟ කාරණා සතර ගැන ධර්මයේ සඳහන් වන්නේ ගති විපත්, උපධි විපත්, කාල විපත් , ප්‍රයෝග විපත් යනුවෙනි. ගති විපත් යනු නරක, තිරිසන්, පේත , අසුර ආදියෙන් සතර අපාගත වීම යි. ඒ දුර්භාග්‍ය සම්පන්න ගතිය, උප්පත්තිය ගති විපත්තිය වෙයි. දෙවන කාරණය වශයෙන් උපධි විපත්තිය යි. එනම්, සැප පහසුකම් නැති, සනීපයට ජීවත් වන්නට ඉඩ ලැබෙන්නේ නැති, උප්පත්තිය යි. එනම්, උපධි විපත්තියේ දී ඒකාන්ත වශයෙන් ම සතර අපාගත සත්ත්වයන් අතර ගත්විට, ඇතැම් සත්ත්වයන් තිරිසන් සත්ත්වයන් වනවා. එනම් ගති සම්පත්තිය නැති ගති විපත්තිය යි. උදාහරණයක් ලෙස ගත් විට ඇතැම් සුනඛයන් ජීවිතයෙන් සමුගත් පසුව පාංශකූල පින්කම් පවා සිදු කරනවා. එය ගැළපෙන නොගැළපෙන දේ මෙතනදී සඳහන් කරන්නේ නැහැ. නමුත් ඒ සතාගේ හිමිකරු එවැනි පින්කමක් කරන්නේ ඒ සතා තුළ ඇති යම්කිසි පුණ්‍ය බල මහිමයක් නිස යි. උප්පත්තියෙන් තිරිසන් වුවත්, සැප බහුල දිවියක් ගෙවන්න ඒ සත්ත්වයාට එම අවස්ථාව ලැබුණේ උපධි සම්පත්තිය නිස යි. එහෙමනම්, එය මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට පමණක් බලපාන දෙයක් නොවෙයි. ඇතැම් තිරිසන් සත්ත්වයන්ටත්, උපධි සම්පත්තිය බලපාන අවස්ථා තිබෙනවා. ඇතැම් විට පීඩිත පන්තියේ මිනිසුන්ට එවැනි ආදර බර ගෞරවයක්, සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා උපධි විපත්තිය යනු සැප සනීපෙට ජීවත් වන්නට ඉඩ අවස්ථාව නොලැබීම යි.

ලෙඩ රෝග බහුලව, මානසික දුක් පීඩා ඇති ආනුභාව සම්පන්න නැති රූප සම්පත්තිය, කටහඬ සම්පත්තිය නැති ස්වභාවය මෙතැනදී උපධි විපත්තිය වෙයි.

වර්තමාන පසුබිම ගත්විට, ගෝලීය වශයෙන් කාල විපත්ති සමයක්. කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ස්වාධීන කලාප ඇතුළුව රටවල් රැසක් මේ වසංගතයට ගොදුරු වෙලා. මේ නිසා ලක්ෂ ගණන් පිරිස ජීවිත වලින් සමු අරගෙන. මිලියන දහයකට අධික පිරිසක් රෝගයට ගොදුරු වෙලා තිබෙනවා. අසල්වාසී ඉන්දියාවෙන් පවා දස ලක්ෂයකට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා කරනවා. ඒ නිසා කාල විපත්ති ඇති කාලයක වසංගත පැතිර යනවා. ගංවතුරු , නාය යාම්, ලැව් ගිනි, සුනාමි තත්ත්වයන්, යුධ කලකෝළාහල, සොර සතුරු විපත් ආදිය ඇති වන්නේ කාලවිපත්ති සමය තුළ යි.

සිව්වැන්න ප්‍රයෝග විප්තිය යි. පින් දහම් කිරීම, සංවරකම, දමනය වීම, ධර්මයට අනුගත ජීවිතයක් ගෙවීම, මෙත් සිතින් වාසය, කාරුණික බව, ඊර්ෂ්‍යා ඇත්තෙක් නොවිය යුතු යි. ද්වේශය, පළිගැනීම, වෛරය, අන් අය දුකට පත් කිරීම,අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීම, හටගැනීම සිතකට මෙවැනි විපත්තියක් වී නරක , ගතිගුණ පිහිටීම හඳුන්වන්නේ ධර්මයේ ප්‍රයෝග විපත්ති වශයෙනි.

අපට සුගති උප්පත්තිය ලැබී තියෙනවා. එය ප්‍රධාන වාසනා ගුණයක්. අපට ඇතැම් විට නැති බැරිකම්, අගහිඟකම් ඇතිවිය හැකි යි. එය ගැන දුක් නොවී සුගතියේ උපත ලැබූ අපට එයම සතුටට කාරණයක්. ඒ නිසා පින් දහම් රැස්කර ගන්නට, ගුණ ධර්ම දියුණුවට මහන්සි ගත යුතු යි. උත්සාහයෙන් නැඟී සිටිය යුතු යි. කාල විපත්තිය අටලෝ දහමට අනුව කැරකෙනවා, පෙරළෙනවා. ඒ නිසා ඒ ගැනත් අමුතුවෙන් දුක් නොවිය යුතු යි. මොකද? බුද්ධ ශාසනයක් මනු ලොව පවතින කාලයේ අපේ උප්පත්තිය සිද්ධ වුණේ. ඒ නිසා යහපත් ගති ගුණ ඇති කරගෙන (ප්‍රයෝග සම්පත්තිය) අප හැමදෙනාට ම ලැබූ උතුම් මිනිස් දිවිය අයහපතට, නපුරට, අවැඩට ඉඩ නොදී ශාසනය තුළ බුදුවරු දේශනා කළ ආකාරයට , රහතුන් පෙන්වා වදාළ ආකාරයට, ඉතා හොඳ යහපත් ගුණ ධර්ම ඇති කරගෙන සෑම දෙනාටම සම්මා සම්බුද්ධ ශාසනය තුළදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා.